සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා කාන්තාවන් කැන්ගරුවන් පරාජය කරයි

120

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වූ පුහුණු තරගය අද (27) ඕස්ට්‍රේලියාවේ Hurstville හිදී නිමා වූයේ ඒ ඕස්ට්‍රේලියා කාන්තා දෙවන පෙළ කණ්ඩායම සමඟයි.

එම තරගය ඉතාමත් තියුණු තරගයක් වූ අතර සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව ලබා දුන් සුපිරි සටන නිසා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.  

අවසන් තරගාවලියට ගිය ක්‍රීඩිකාවන් තිදෙනෙකුට සංචිතයේ දොර වැසේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ……

දිවා තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබා ගන්නා ලදි. 

නායිකා අතපත්තු හා යශෝධා මෙන්ඩිස් පළමු පන්දුවාර කිහිපය තුල ඉතාමත් හොඳින් ලකුණු රැස්කරගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 37ක වේගවත් සබඳතාවයක් එකතු කරන ලදි. කෙසේ නමුත් හීතර් ග්‍රැහැම් එවූ පන්දුවක් හමුවේ ලකුණු 24ක් ලබා මෙන්ඩිස් දැවී යාමත් සමඟ එම සබඳතාවය බිඳ වැටුණි. 

අතපත්තු, හර්ශිතා සමරවික්‍රම හා ශෂිකලා සිරිවර්ධන ඇතුළු ශ්‍රී ලාංකික පිතිකාරිනියන් සියලුම දෙනා පාහේ යම් ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන වේගවත්ව ලකුණු රැස්කර ගනිමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සිය අණසක පතුරුවන ලදි. වයස අවුරුදු 21ක් වන සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත්වෙමින් පන්දු 30ක් තුල ලකුණු 34ක් වාර්තා කරගත්තේය. එම ඉනිමට 4 පහර 5ක් ඇතුළත් විය. කෙසේ නමුත් මෙය පුහුණු තරගයක් වන නිසාවෙන් ඇය එම ලකුණු ප්‍රමාණය රැස්කරගෙන පිටියෙන්  ඉවත්ව ගියේය. 

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන හීතර් ග්‍රැහැම් ලකුණු 14ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 133ට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි ඕස්ට්‍රේලියා දෙවන පෙළ කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වන ටහිලා මැග්‍රාත් හා ජූසි ඩූලි පන්දුවාර 8කුත් පන්දු 2ක් අවසානයේ වේගවත් ලකුණු 59ක සබඳතාවයක් ගොඩනැංවූ අතර සිරිවර්ධන විසින් එම අගනා සබඳතාවය බිඳ දමමින් ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ කළාය. 

“ආරක්ෂාවට වඩා ක්‍රිකට් ගැන ලොකු අවධානයක් දෙනවා” – තිරිමාන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන ……

එම පන්දුවාරයට පසුව ක්‍රියාත්මක කළ පන්දුවාරයේ දී ද සිරිවර්ධන විසින් ලකුණු 38ක් ලබා සිටි මැග්‍රාත්ගේ කඩුල්ල ද දවා ගත්තේ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය හිමිකර දෙමිනි. 

කෙසේ නමුත් වයස අවුරුදු 17ක් වන ඇනබෙලා සදර්ලන්ඩ් දියත් කළ සටන්කාමි පිතිකරණය නිසා ශ්‍රී ලංකාවෙන් එම තරගය ගිලිහී යන මට්ටමකට පැමිණියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අවසන්  පන්දුවාරය තුල ලකුණු 7ක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර නායිකා අතපත්තු එම තීරණාත්මක පන්දුවාරය ක්‍රියාත්මක කරමින් එම පන්දුවාරය ලකුණු 6කට සීමා කළේය. 

ඒ නිසාවෙන් තරගය ලකුණු සමවීමෙන් නිමා වූයේ සුපිරි පන්දුවාරයක් තරගයක් දක්වා තරගය රැගෙන යමිනි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ සදර්ලන්ඩ් පන්දු 38ක් තුල නොදැවී ලකුණු 48*ක් වාර්තා කරගනිමින් දස්කම් දැක්වූ නමුත් ජයග්‍රහණය දක්වා සිය කණ්ඩායම රැගෙන යාමට ඇයට අවස්ථාව ලැබුණේ නොමැත. 

සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතපත්තු විසින් ක්‍රියාත්මක කළ පන්දුවාරය හමුවේ කඩුල්ලක් දැවී ලකුණු 8ක් රැස්කර ගන්නා ලදි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පැමිණි අතපත්තු හා නිලක්ෂි දමයන්ති පන්දු 5ක් අවසානයේ ලකුණු 9ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට සහය වූයේ සුපිරි තරගයක නිමාවක් සටහන් කරමිනි. එහි දී අතපත්තු පන්දු 4ක් තුල ලකුණු 8ක් ලබාගත්තේය. 

ශ්‍රී ලංකාව – 133/8 (20): හර්ශිතා සමරවික්‍රම 34, චමරි අතපත්තු 28, යශෝධා මෙන්ඩිස් 24, හීතර් ග්‍රැහැම් 3/14.

ඕස්ට්‍රේලියාව – 133/5 (20): ඇනබෙලා සදර්ලන්ඩ් 48*, ටහිලා මැග්‍රාත් 38, ශෂිකලා සිරිවර්ධන 2/25, සුගන්ධිකා කුමාර් 2/31.

සුපිරි පන්දුවාරය

  • ඕස්ට්‍රේලියාව – 8/1 (1)
  • ශ්‍රී ලංකාව – 9/0 (0.5)

තරග කාලසටහන,

  • සැප්තැම්බර් 29 – පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය – සිඩ්නි (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට) 
  • සැප්තැම්බර් 30 – දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය (දිවා/රාත්‍රි) – සිඩ්නි (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට) 
  • ඔක්තෝබර් 2 – තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය – සිඩ්නි (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට)
  • ඔක්තෝබර් 5 – පළමු එක්දින ක්‍රිකට් තරගය (ICC එක්දින ක්‍රිකට් ශූරතාවය) –  බ්‍රිස්බේන් – (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට)
  • ඔක්තෝබර් 7 – දෙවන එක්දින ක්‍රිකට් තරගය (ICC එක්දින ක්‍රිකට් ශූරතාවය) – (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට)
  • ඔක්තෝබර් 9 – තෙවැනි එක්දින ක්‍රිකට් තරගය (ICC එක්දින ක්‍රිකට් ශූරතාවය) – (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට)

මේ තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<