දිමුත්ගේ සහ ඇන්ජලෝගේ මහන්සිය ෆෙලුක්වායෝ අපතේ යවයි

300
Andile Phehlukwayo

ෆෆ් ඩු ප්ලෙසිස් සහ හෂීම් අම්ලාගේ අර්ධ ශතකවලින් හැඩවුනු දකුණු අප්‍රිකා ලකුණු පුවරුව පසුකර යෑමට දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ගත් උත්සාහයන් ඇන්ඩිල් ෆෙලුක්වායෝගේ පන්දු යැවීම ඉදිරියේ ව්‍යර්ථ වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 87කින් පරාජයට පත්වූහ.

අභියෝගයට අභියෝග කරන්නට දිමුත් සූදානම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස…

අද (24) දින කාඩිෆ් හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ සියල දෙනා දැවී ලකුණු 251ක් පමණි. එම ඉනිමේදී දකුණතින් මඳ වේග පන්දු යැවූ ඇන්ඩිල් ෆෙලුක්වායෝ පෙරමුණ ගැනීම කැපී පෙණුනි.

ප්‍රතිවාදී දැවැන්ත ඉනිම ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ කුසල් පෙරේරා සහ නායක දිමුත් කරුණාරත්න ය. සියලු බලාපොරොත්තු සුං කරමින් කුසල් පෙරේරා ඉනිමේ දෙවැනි පන්දුවේදීම තම ඉනිම අතහැර ගියේ කිසිඳු ලකුණුක් නොලබාය. ඉනිමේ දෙවැනි කඩුල්ලද ලකුණු 10 වනවිට දැවී ගියේ ලහිරු තිරිමාන්න ලකුණු 10කට දැවී යාමත් සමඟය.

සෝදා පාළුවී යමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම යම් තරමකට හෝ ගොඩ නැගීමට පෙරමුණ ගත්තේ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කළහ. ඒ සඳහා ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 66ක් පමණි. කුසල් මෙන්ඩිස් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියදී ඉනිම අතහැර යමින් එම කඩුල්ලේ සබඳතාව අවසන් කළේය.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සබඳතාවක් එක් කළේ ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ නළලත රැළි ගන්වමිනි.

නමුත් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170ක්ව තිබියදී දවා ගනිමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගය තමන් දෙසට හරවා ගත්හ. ඒ වනවිට දිමුත් කරුණාරත්න පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියේය.

දිමුත් හා සමාන ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළේය. නමුත් පසුපෙළ පිතිකරුවන්ගේ සහයෝගය නොමැති වීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අදාළ ඉලක්කය වෙත ළඟා වීමට තවත් පන්දු 45ක් ඉතිරිව තිබිය දී පරාජය වීමට සිදුවිය.

පසුපෙළ පිතිකරුවන් අතුරින් ජීවන් මෙන්ඩිස් පන්දු 12කට මුහණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබාගත් අතර අනෙකුත් පිතිකරුවන් වූ ධනංජය සිරිවර්ධන (5), මිලින්ද සිරිවර්ධන (5), තිසර පෙරේරා (8*), ජෙෆ්රි වැන්ඩර්සේ (3) සහ සුරංග ලක්මාල් (1) අඩු ලකුණුවලට සීමා වූහ.

පන්දු යැවීමේදී ඇන්ඩිල් ෆෙලුක්වායෝ ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. ඊට අමතරව ආරම්භක වේගපන්දු යැවූ ලුන්ගි න්ගිඩි පන්දු වාර 6ක් පමණක් යවමින් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තේය.

ක්‍රීඩකයෙක් සුවය ලබා පිටියට එද්දී තවත් අයෙක්ට ආබාධයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සඳහා සහභාගී වන අතර එහි දකුණු අප්‍රිකාව…

තරගයේ කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා මේ තරගයේදී ද විවේක ගන්වමිනි. පුහුණු තරගයක උපරිම වාසිය ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නැගූහ.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි හෂීම් අම්ලා සහ එයිඩන් මාක්‍රම් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවක් ගොඩ නැගුවේ පන්දු 38ක් පමණක් උපයෝගී කර ගනිමිනි. එයිඩන් මාක්‍රම්, සුරංග ලක්මාල් ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් එම කඩුල්ලේ සබඳතාව නිමා කළේය. ඒ වනවිට ඔහු පන්දු 15කට මුහුණදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියේය.

එතැන් සිට දකුණු අප්‍රිකානු ඉනිම සක්‍රීය කිරීමට නායක ෆෆ් ඩු ප්ලෙසිස් සහ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා සමත් වූහ. මෙම දකුණත් පිතිකරුවන් පන්දු 105කදී ලකුණු 128ක් දකුණු අප්‍රිකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනාගේ කරදරකාරී සබඳතාව නිමා කිරීමට නායක දිමුත් කරුණාරත්න වේගපන්දු යවන්නෝ සිව්දෙනෙකු සහ දඟපන්දු යවන්නන් තිදෙනෙක් වරින් වර උපයෝගී කර ගත්තේය. එහෙත් අවසානයේ සාර්ථක වන්නේ ජීවන් මෙන්ඩිස් ය.

හෂීම් අම්ලා පන්දු 61ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 65ක් ලබා ගනිමින් ඉනිම හැර යද්දී ඊට පසුව යැවූ තෙවැනි පන්දුවේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් ද ඉනිම හැර ගියේය. ඒ වනවිට ඔහු පන්දු 69කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියේය.

අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ලකුණු 40ක් ලබා ගැනීමට රසි වෑන් ඩර් ඩසන් සමත් විය. ඔහුගේ ඉනිම පන්දු 41කින් යුක්ත වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඇන්ඩිල් ෆෙලුක්වායෝ ද පන්දු 34කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළේය.

දකුණු අප්‍රිකා ඉනිම අවසන් වනවිට ඩ්වේන් ප්‍රටෝරියස් (25) සහ ක්‍රිස් මොරිස් (26) නොදැවී පිටියේ රැඳී සිටියහ. ඔවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 52කි. ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 25ක් පමණි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 63කට කඩුලු 2ක්ද, නුවන් ප්‍රදීප් ලකුණු 77කට කඩුලු 2ක්ද දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූහ. ඊට අමතරව ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

දකුණු අප්‍රිකාව: කඩුලු 7ක් දැවී 338 (50) හෂීම් අම්ලා 65, එයිඩන් මාක්‍රම් 21, ෆෆ් ඩු ප්ලෙසිස් 88, රසි වෑන් ඩර් ඩසන් 40, ජේ. පී. ඩුමිනි 22, ඇන්ඩිල් ෆෙලුක්වායෝ 35, ඩ්වේන් ප්‍රටෝරියස් නොදැවී 25, ක්‍රිස් මොරිස් නොදැවී 26, සුරංග ලක්මාල් 2/63, නුවන් ප්‍රදීප් 2/77.

ශ්‍රී ලංකාව: සියලු දෙනා දැවී 251 (42.3) දිමුත් කරුණාරත්න 87, කුසල් මෙන්ඩිස් 37, ඇන්ජලෝ මැතිව්ස් 64, ජීවන් මෙන්ඩිස් 18, ලුන්ගි න්ගිඩි 2/12, ඇන්ඩිල් ෆිලොක්වායෝ 4/36.ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි පුහුණු තරගය මෙම මස (මැයි) 27 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.

මාලිංග නොමැතිව ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකාව සමග අද (24) කාඩිෆ් හිදී….

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි පුහුණු තරගය මෙම මස (මැයි) 27 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<