වැරදි අඩුවෙන්ම කළ දකුණු අප්‍රිකාවට පහසු ජයක්!

2304

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව අද (03) පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිළ ලැබූ පරාජය ප්‍රතිවාදීන්ගේ සුපිරි දක්ෂතාවයකට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සියතින් ගෙල සිඳ ගැනීමක් බඳු විය.

ටෙස්ට් තරගාවලියෙන් උපයා ගත් ගෞරවය දියකර හරිමින් අද ශ්‍රී ලංකාව තරගය පුරාවට වැරදි පිට වැරදි සිදු කළේ දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ඉතා පහසු ජයක් ලබා දෙමිනි. ශ්‍රී ලංකා පිළේ දුර්වලතාවලින්ම ප්‍රයෝජන ගත් නායක ෆැෆ් ඩු ප්ලෙසිස් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව යමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය

ටෙස්ට් වගේ වෙයි ද ODI?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු…

ශ්‍රී ලංකා පිළ අද තරගයට පිවිසී තිබුනේම බහුතර ප්‍රේක්ෂක මතයට පිටින් තේරීම් රැසක් සිදු කරමිනි. ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූ ආකාරයට අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් වැනි නවක ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වී තිබුණේ නැත. ඒ වෙනුවට තේරීම් කමිටුව කණ්ඩායමේ සිටි වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් ගැන විශ්වාසය තබමින් කණ්ඩායම නම් කර ඇති බවක් පෙනුණි. දකුණු අප්‍රිකානුවන්ට ඔවුන්ගේ රටේ දී ම මුහුණ දීම සඳහා දඟපන්දු යවන්නන් දෙදෙනෙකුම (අකිල සහ සඳකැන්) නම් කිරීම ද තේරීම් කමිටුවේ තවත් මතභේදාත්මක තීරණයකි.

අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වූයේ ද තේරීම් කමිටුවේ එක් තීරණයක් අභියෝගයට ලක් කරමිනි. ඒ දේශීය තරගවල දී ලකුණු අතරට පිවිසෙමින් පුහුණු තරගයේ දී පවා දස්කම් දැක්වූ අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාව අහිමි කරමින් උපුල් තරංගව අද තරගයට යොදා ගැනීමයි. තරංග (09) අද දැවී ගියේ ලුන්ගි නිගිඩි යැවූ කඩුල්ලෙන් ඉවත ඇදී යන පන්දුවක් බලෙන්ම කඩුල්ල වෙතට ඇද දමා ගනිමිනුයි. නිරෝෂන් දික්වැල්ල ද නිගිඩි යැවූ එතරම් තර්ජනාත්මක නොවන පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ කණ්ඩායමේ උප නායකයා සතු වගකීම පැහැර හරිමිනි. ඒ අනුව ලකුණු 23ක් වෙද්දී මුල් කඩුලු දෙකම බිඳ වැටුණු ශ්‍රී ලංකා පිළ දකුණු අප්‍රිකාවට තරගයේ පාලනය භාර කළේය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිළේ පිහිටට ආ මංගල තරගයට ක්‍රීඩා කරන ඕෂද ප්‍රනාන්දු මනා විශ්වාසයකින් යුතුව ක්‍රීඩා කරමින් ක්‍රම ක්‍රමයෙන් තම අර්ධ ශතකයට ළංවිය. ඔහුට සහාය වෙමින් කුසල් පෙරේරා අනෙක් අන්තයේ සිට ලකුණු 33ක් රැස් කළ ද ඉම්රාන් තහීර් අද දිනයේ ක්‍රියාත්මක කළ මුල්ම පන්දුවාරයේ දී ම දැවී ගියේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙමිනි. මෙය දැවී යාමක් බව විනිසුරු තබා පන්දු යවන්නාවත් නොදැන සිටිය ද කුසල් තීරණය දෙන තුරු පිටියේ රැඳී සිටියේ නැත. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර තහීර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වුවද DRS පිහිටෙන් ඉන් ගැලවීමට ඔහු සමත් විය.

මාස 9කට පසු ICCයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පුරා දින හයක් පුරා පැවැත්වූ විශේෂ රැස්වීමක් ඊයේ (02) ඩුබායි හිදී අවසන් විය. එහි දී විශේෂ සහ ප්‍රමුඛ…

කෙසේ වෙතත් අද ලකුණු 49ක් ලබා මංගල අර්ධ ශතකයට පියවරක් මෙපිටින් සිටි ඕෂදට මංගල එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට දෛවය හරස් විය. ඒ නිවැරදි සන්නිවේදනයකින් තොරව ඉක්මන් ලකුණක් කරා දුව යෑමට ගත් උත්සාහයේ දී ඔහුව දවා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වීම නිසයි. ඉන් අනතුරුව මෙන්ඩිස් සහ ධනංජය අතරේ ලකුණු 94ක සබඳතාවයක් වර්ධනය වුවද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් උදා නොවුනි. ඒ ඔවුන් දෙදෙනා ලකුණු වේගය වැඩි කල යුතු අවස්ථාවේ දීම දැවී ගිය බැවිනි. ධනංජය ලකුණු 39 දී දැවී ගියේ 50ට 50 අවස්ථාව තිබූ ස්ටම්ප් අවස්ථාවක් තෙවැනි විනිසුරු පන්දු රකින පිළේ වාසියට තීරණය ලබාදී මත් සමඟයි.

මෙන්ඩිස් අද තම 13 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 60ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ඔහු දැවී ගියේ තහීර්ගේ පන්දුවකට වේගවත් පහරක් එල්ල කරන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඔහු තහීර්ගේ පන්දුවාර 10 අවසන් වනතුරු මදක් ඉවසා සිට, ඉතිරි පන්දුවාර දහයේ දී ලකුණු වේගය වැඩි කරන්නට උත්සාහයක් ගත්තා නම් ශ්‍රී ලංකාවට ලකුණු 250කට වඩා රැස් කිරීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබුණි. නමුත් මෙන්ඩිස් එම අවස්ථාව අහිමි කර ගත්තේ තහීර්ට තෙවැනි කඩුල්ලත් හිමිකර දෙමිනි.

Photos: Sri Lanka Vs South Africa -1st ODI

මෙවන් වටපිටාවක් යටතේ තිසර පෙරේරාගෙන් යම් දායකත්වයක් ශ්‍රී ලංකා පිළ අපේක්ෂා කළ ද ඔහු ලකුණු 7කට දැවී ගියේය. අද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6ම බිඳ වැටුණේ ලකුණු 36ක් තුල දීයි. ඒ අනුව තවත් පන්දුවාර 3ක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 231කට සීමා විය. තණතිල්ලේ යම් මන්දගාමී ගතියක් තිබුණ ද ශ්‍රී ලංකා පිතිකරුවන් මීට වඩා වගකීමකින් ක්‍රීඩා කළා නම් ලකුණු 280කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට තිබූ බව පැහැදිලිය. පන්දු යැවීමේ දී ලුන්ගි නිගිඩි සහ ඉම්රාන් තහීර් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු අතරට ඉතාමත් ප්‍රාථමික මට්ටමේ දුවද්දී දැවී යාම් දෙකක් ද අන්තර්ගත වීම කනගාටුවට කරුණකි.

දකුණු අප්‍රිකානු පිළේ හඹා යාම ගැන පැවසීමට දීර්ඝ විස්තරයක් නොමැත්තේ රීසා හෙන්රික්ස් ඉනිම ආරම්භයේ දීම එක් ලකුණකට දැවී යාමෙන් පසු තරගය සම්පූර්ණයෙන්ම අලස මුහුණුවරක් ගත් බැවිනි. දකුණු අප්‍රිකානුවන් පරීක්ෂාකාරීව පිතිකරණයේ යෙදීම මෙන්ම ශ්‍රී ලංකා පිළේ තර්ජනයක් නොමැති පන්දුකරණය ද ඊට බලපෑවේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ප්ලෙසිස් සහ කඩුලු රකින පිතිකරු ඩි කොක් අතරේ ලකුණු 136ක සබඳතාවයක් ගොඩ නැගීමත් සමඟ තරගය ගැන ශ්‍රී ලංකා පිළ තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් බොඳවී ගියේය.

ක්‍රිකට් ජීවිතයේ ගත් සංවේදී තීරණයක් ගැන තරංග හෙළි කරයි!

අත්දැකීම් සහිත ආරම්භක පිතිකරු උපුල් තරංග ඊයේ දිනයේ (28) හොඳින් පිත්ත හසුරුවමින් පන්දු 34ක් තුල ලකුණු 45ක් රැස්කර…

මෙම සබඳතාවය වේලාසනින් නිමා කිරීමට ලකුණු 32ක් ලබා සිටි ප්ලෙසිස් ඉතාමත් පහසු උඩපන්දුවක් ලබා දුන්න ද එය ලක්ෂාන් සඳකැන් බිම අත් හැරියේ අඬන්නට ආසන්න වී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ ඇසට ඇඟිල්ලෙන් අනිමිනි. ඉන් ප්‍රයෝජන ගත් ප්ලෙසිස් අවසානයේ සඳකැන්ට ස්තුති කළේ ශතකයක් ලබාගෙන තරගයත් දිනා ගනිමිනි. අකිල ධනංජය ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස සිටිය දී දස්කම් අතර නොසිටින සඳකැනුත් අද කණ්ඩායමට ඇතුළු වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවකි. ප්ලෙසිස්ට නොදෙවෙනි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩි කොක් ලකුණු 81ක් ලබා සිටිය දී දැවී ගියේ ධනංජයගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනුයි. ඒ වන විට ඔහු හතරේ පහර 11ක් තම ඉනිමට එක්කාසු කරගෙන තිබුණි.

අවසානයේ පන්දුවාර 40ක් ගත වන්නටත් පෙර දකුණු අප්‍රිකානුවන් ජය තහවුරු කර ගත්තේ කඩුලු 8කිනි. ඇත්ත වශයෙන්ම කණ්ඩායම තේරීමේ සිටම සිදු කළ අදූරදර්ශී තීරණ, දුවද්දී දැවී යාම්, උඩපන්දු අත්හැරීම් සමඟින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තා නම් අප පුදුම විය යුතුය. ලෝක කුසලානය අත ළඟ තබාගෙන කරන මේ සෙල්ලම් වල ඵල විපාක ඉතාමත් දරුණු විය හැක්කේ අවසානයේ 2015 දී මෙන් තරගාවලිය අතරේදීත් කණ්ඩායමේ වෙනස්කම් කරමින් අනාථ වීමෙන් වන්නට ඉඩ තිබේ. දැන්වත් වර්තමානය තුල ජීවත් වෙමින් මේ දිනවල දස්කම් අතරේ සිටින ක්‍රීඩකයින්ට අවස්ථා ලබා දී ඔවුන්ට තමන් ගැන විශ්වාසයක් ගොඩ නැගීමට ඉඩ නොදුන්නොත් 2019 ලෝක කුසලානයත් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමක් හා සමාන වනු ඇත.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 231 (පන්දුවාර 47)

කුසල් මෙන්ඩිස් 60, ඕෂද ප්‍රනාන්දු 49, ධනංජය ද සිල්වා 39, ලසිත් මාලිංග 15, උපුල් තරංග 9, ඉම්රාන් තහීර් 3/26, ලුන්ගි නිගිඩි 3/60, අන්රික් නොට්ජේ 1/33, කාගිසෝ රබාඩා 1/48.

දකුණු අප්‍රිකාව – කඩුලු 2ක් දැවී ලකුණු 232 (පන්දුවාර 38.5)

ෆැෆ් ඩු ප්ලෙසිස් 112*, ක්වින්ටන් ඩි කොක් 81, වෑන් ඩර් ඩුසේන් 32*, විශ්ව ප්‍රනාන්දු 1/43, අකිල ධනංජය 1/52.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<