ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

1183

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට හෙට (27) තවත් සුවිශේෂී වාර්තාවක් එකතු වන්නේ දෙරට අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙය වීම නිසාවෙනි.

සිංහ පැටවු අවදි වී මහත්වරුන්ට හොඳ හැටි සංග්‍රහ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරග 5කින් ..

2006 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 8ක් පවත්වා ඇත. ඒ අතරින් එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව තරග 4 බැගින් ජයග්‍රහණය කරමින් සම තැනක පසුවේ.

තවද එංගලන්ත කණ්ඩායම මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති අතර මෙරට දී මේ කණ්ඩායම් දෙක මුණගැසී ඇත්තේ 2012 වසරේ පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පමණි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ජය ගත්තේය. තවද ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 4ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 3කම ජය තහවුරු කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්

තිසර පෙරේරා හා ඉයන් මෝර්ගන්

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක තිසර පෙරේරා හා 32 හැවිරිදි එංගලන්ත කණ්ඩායම් නායක ඉයන් මෝර්ගන් සිය කණ්ඩායම්වල මැදපෙළ සවිමත් කරන ප්‍රබල පිතිකරුවන් ලෙස හැඳින්වීමට හැකිය.

තිසර එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 6ක දී ඉනිම් 5කට පිතිකරණයෙන් දායක වෙමින් ලකුණු 125ක් ලබාගෙන ඇත. එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස වැඩිම ලකුණු ලෙස ලකුණු 49ක් ලබාගෙන ඇති තිසර පෙරේරා ලකුණු  63කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 4ක පිතිකරුගේ වගකීම තිසර විසින් බොහෝ දුරට මෙම තරගයේ දී ඉටු කරනු ඇත.

ඉයන් මෝර්ගන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පවත්වා ඇති විස්සයි විස්ස තරග අතරින් තරග 7ක දී ඉනිම් 7කට ක්‍රීඩා කරමින් එක් අර්ධ ශතකයක් ලබා ගෙන ඇත්තේ ලකුණු 190ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 57 සිය වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 38කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් එංගලන්තයට එරෙහිව පවත්වාගෙන ගෙන යමින් සිටියි.

දිල්මින් හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ කඩුලු දඩයමක

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පළමු පෙළ…

ඉසුරු උදාන හා ක්‍රිස් ජෝර්ඩ්න්

විස්සයි විස්ස විශේෂඥයින් දෙදෙනෙක් වන ඉසුරු උදාන හා ක්‍රිස් ජෝර්ඩ්න් එක්දින සංචිතයේ නොසිටි නමුත් එක් තරගයකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගය වෙනුවෙන් මේ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනා සංචිතවලට කඳවා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෑත කාලයේ බිහි වූ සාර්ථකම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඉසුරු උදානව හැඳින්වීමට පුළුවන්, ඒ බව මේ වසරේ මෙතෙක් පවත්වා තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග දත්ත පිරික්සා බැලූ විට හොඳින්ම පෙනේ. වමතින්  මද වේගපන්දු යවන උදාන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 17කට සහභාගී වෙමින් කඩුලු 15ක් දවාගෙන ඇත්තේ එංගලන්තය සමඟ විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා නොකරමිනි.

දකුණතින් වේගපන්දු යවන ජෝර්ඩ්න් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 34කට සහභාගී වෙමින් කඩුලු 38ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු 10ක් තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ක්‍රිකට් තරග 4ක් පමණි. එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ පසුපෙළ සවිමත් කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන උදාන හා ජෝර්ඩ්න්  පිතිකරුවන් ලෙස ද යම් පිබිදීමක් ඇති කිරීමට හැකි ක්‍රීඩකයින් වේ.

නිරෝෂන් දික්වැල්ල හා ජෝස් බට්ලර්

වමතින් පිත්ත හසුරුවන නිරෝෂන් දික්වැල්ල හා දකුණතින් පිත්ත හසුරුවන පිතිකරුවෙක් වන ජෝස් බට්ලර් යන දෙදෙනාම කඩුලු රකින්නන් ලෙස ද කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය දක්වනු ලැබේ.

බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව 58.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ඇත. ඔහු තරග 5ක දී ඉනිම 5කට සහභාගි වෙමින් ලකුණු 175ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.

දික්වැල්ල එංගලන්තය සමඟ කිසිදු විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොමැති අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ විස්සයි විස්ස ක්‍රිකට් තරග 13කට සහභාගී වී ලකුණු 249ක් ලබාගෙන ඇත්තේ එක් අර්ධ  ශතකයක් ද සමඟ ලකුණු 20කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

තවද පන්දු රැකීමෙන් ද යම් අකාරයක පීඩනයක් එල්ල කිරීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස දික්වැල්ල හා බට්ලර් කැපී පෙනෙන ක්‍රීඩකයින් වේ. පසුගිය දා නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි (ලකුණු 192).

චමිඳු, සඳුන් ආගන්තුකයින්ගේ ඉලක්කය තවත් ඉහළ දමයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස්..

එකම විස්සයි – විස්ස තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකා කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා (නායක), කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, ඉසුරු උදාන, කසුන් රාජිත, ලසිත් මාලිංග.

එංගලන්ත කණ්ඩායම: ජේසන් රෝයි, ඇලෙක්ස් හේල්ස්, ජෝස් බට්ලර්, ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් ජෝර්ඩ්න්, ටොම් කර්න්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්, ජෝ ඩෙන්ලි.

>> පස්වැනි එක්දින තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස මතකයන්

වසර 9ක විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කිසිදු විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් මෙතෙක් පවත්වා නොමැති අතර 2012 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් තරග දෙකකට සහභාගී වී ඉන් එක් තරගයක් ජයගෙන ඇත. ශ්‍රී ලංකාව මේ තණතීරුව මත විස්සයි විස්ස තරග 19කට සහභාගී වී ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.

ආර්. ප්‍රේමදාස තණතීරුව, කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණික තත්වය

මේ දිනවල කොළඹ අවට සෙල්සියස් අංශක 27ත් – 31ත් අතර උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය. මේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇති අතර මේ තරගය වෙනුවෙන් අතිරේක දිනයක් වෙන්කර නොමැත. ප්‍රේක්ෂකයින් 40,000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට දෙවනුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය දෙස බැලූ විට හා ශ්‍රේණිගත කිරීම්වලින් බැලූ විට එංගලන්තයට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 88ක් ලබාගෙන නවවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි තැන පසුවෙයි.

නමුත් ඒ කිසිවක් මේ තරගය  සඳහා අදාළ වන්නේ නැත තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කළොත් ඕනෑම තරගයක් ජයග්‍රහණය කිරීමට හැකිය. යම් ආකාරයකින් ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය කළහොත් එංගලන්තය විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පසුබසිනු ඇත.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (27) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ. එහි තොරතුරු, එසැණ තොරතුරු, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ පට හා සේයාරූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<