ධනංජයගේ මංගල ශතකය ශ්‍රී ලංකාව ඔසවා තබයි

676

ඔස්ට්‍රේලියාව සමග අද ආරම්භ වූ 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ උදෑසන වරුව තුලදී මහා කඩා වැටීමකට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම චන්දිමාල්ගේ සහ ධනංජයගේ අගනා සබඳතාවයේ පිහිටෙන් අභියෝගාත්මක තත්ත්වයක් වෙත පිය නගන්නට සමත් විය. පන්දු යවන්නන්ගේ දිනයක් ලෙස ආරම්භවූ මෙම තරගයේ පළමු දිනය දිවා ආහාරයෙන් පසු සම්පූර්ණයෙන්ම පිතිකරුවන් ගේ තරගයක් බවට හරවා ගන්නට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත් විය.

පසුගිය ලිපි: අපරාජිකත්වය සමග ජය BMS ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ස්වර්ණමය අවස්තාව අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන කොළඹ SSC ක්‍රීඩාංගනයට අවතීර්ණ විය. මේ තරගාවලියේ තුන්වන වරටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තුන්වන වරටත් තෝරා ගත්තේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම විශ්ව ප්‍රනාන්දු වෙනුවට ආබාධයකින් සුවය ලැබූ සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබූ අතර ඔස්ට්‍රේලියාව තරගයට එක්වුණේ වෙනස්කම් 2ක් සමගයි.

ශ්‍රී ලංකා ආරම්භක සබඳතාවයේ නපුරු සිහිනය යලිත් වරක් සැබෑවක් බවට පත් වුණේ මෙම තරගයේදීත් තේරීම් කමිටුවේ අනුකම්පාව දිනාගත් කෞෂාල් සිල්වා ලකුණු ලබා ගැනීමට පෙර දැවී යාමත් සමගයි.  කණ්ඩායමේ තම ස්ථානය රැක ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වූ දිමුත් කරුණාරත්න පන්දු 34ක් පුරා පිතිකරණයේ යෙදෙමින් ලකුණු 7ක් ලබා ගත්  අතර පළමු සිසිල්පැන් විවේකයෙන් පසු පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියේ ඉනිම 5කදී 5වන වරටත් මිචෙල් ස්ටාක්ට ගොදුරු වෙමින්.

කුසල් ජනිත් ලකුණු 16 කටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 1කටත්, කුසල් මෙන්ඩිස් එක් ලකුණකටත් දැවී ගිය පසු ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට පත් විය. මේ අනුව ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවෙන් හරි අඩක් ලකුණු 26ක් වෙද්දී නරඹන්නන් බවට පත් කිරීමට ස්ටාක් සහ ලයන් සමත් විය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ලබා දුන්නේ දිනේෂ් චන්දිමාල් සමගින් එක්වූ ධනංජය ද සිල්වායි. ඔවුන් දෙදෙනා දිවා ආහාරය වනතෙක් කඩුල්ලේ රැඳී සිටින්නට සමත් විය. ධනංජය හතරේ පහර 4ක් සමග ලකුණු 23ක් සහ චන්දිමාල් ලකුණු 7ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටින ලදී.

මේ අනුව දිවා ආහාර විවේකය වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 5කට ලකුණු 55ක් ලෙසිනි.

දිවා ආහාරයෙන් පසු ඉනිම නැවත ගොඩනැගීමේ රාජකාරිය තවදුරටත් කරට ගත් ධනංජය සහ චන්දිමාල් ඉතා පරීක්ෂාකාරී ලෙස පිතිහරඹයේ යෙදෙනු දක්නට ලැබුණි. මෙම තරගාවලියේ පළමු වරට කඩුලු නොමැති තරග වාරයක් (session) වාර්තා කිරීමේ ගෞරවයද ඔවුන් දෙදෙනා සතු විය. චන්දිමාල් සහ ධනංජය එක්ව දිවා ආහාර විවේකය සහ තේ පානය අතර තරග වාරය තුල ලබාගත් ලකුණු සංඛ්‍යාව 88ක්.

තේ පානයෙන් අනතුරුව තම අගනා පිතිහරඹය නොවෙනස්ව දියත් කල චන්දිමාල් – ධනංජය ද්විත්වය ඉදිරියට ඇදුනේ තම ටෙස්ට් දිවියේ වැදගත් කඩඉම් ද පසු කරමිනුයි. චන්දිමාල් සිය ටෙස්ට් තරග දිවියේ 11වන අර්ධ ශතකය වාර්තා කරන්නට අද සමත් විය.

ධනංජය ද සිල්වා තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කලේ ස්ටීවන් ස්මිත් ගේ පන්දුවක් හමුවේ දර්ශනීය පහරක් එල්ල කරමිනුයි. ඔහු තම ශතකයට හතරේ පහර 15ක් ඇතුලත් කර තිබිණි. සිය මංගල ටෙස්ට් තරගයේ සිටම ඉනිමෙන් ඉනිම තම පෞද්ගලික ඉහලම ලකුණු සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහල දමාගනිමින් පැහැබර අනාගතයක පෙර ලකුණු පෙන්වූ ධනංජයගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා වූයේ ඔහුගේ 5 වන ටෙස්ට් ඉනිමේ දීයි.

දෙවන නව පන්දුව ලබාගැනීමෙන් පසු පන්දුවාර 3ක් යනතෙක් යම් තර්ජනයක් එල්ල කිරීමට ස්ටාක් සහ හෙසල්වුඩ් සමත් වුවද ඉන් අනතුරුව යලිත් තරගයේ පාලනය සියතට ගත්තේ ශ්‍රී ලංකා අංක 6-7 පිතිකරු යුගලයයි. දිනයේ අවසන් තරග වාරය තුළදීත් කඩුල්ලක් ලබා නොදී ලකුණු 73ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

මේ අනුව දිනය නිමා වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වූයේ 214/5ක් ලෙසිනුයි. ධනංජය ද සිල්වා ලකුණු 116ක් ලබාගෙන සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 64ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

ලකුණු 188ක නොබිඳුණු සබඳතාව ඉදිරියට ගෙන යමින් හෙට දිනයේදීත් පිත්තේ ආධිපත්‍ය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුවහොත් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක (Whitewash) බලාපොරොත්තු තවදුරටත් වර්ධනය කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇති.

ලකුණු පුවරුව :

ශ්‍රී ලංකා පළමු ඉනිම –  214/5 (90)  – ධනංජය ද සිල්වා – 116*, දිනේෂ් චන්දිමාල් – 64*, කුසල් ජනිත් – 16, මිචෙල් ස්ටාක් – 3/47, නේතන් ලයන් – 2/72

හෙට තරගයේ දෙවන දිනයයි.

Sri Lanka (1st Innings)

Batsmen Dismissal Runs Balls
Kaushal Silva  c Smith b Starc 0 15
Dimuth Karunarathne   b Starc 7 34
Kusal Janith Perera c Smith b Lyon 16 32
Kusal Mendis c Smith b Starc 1 12
Angelo Mathews  c Starc b Lyon 1 4
Dinesh Chandimal  Not Out 64 204
Dhananjaya De Silva Not Out 116 240
Dilruwan Perera
Rangana Herath
Lakshan Sandakan
Suranga Lakmal
Extras (9) TOTAL 214/5 (90 overs)

Fall of wickets :  1-2 (Silva, 4.4 ov), 2-21 (MDKJ Perera, 11.6 ov), 3-23 (Karunaratne, 14.1 ov), 4-24 (Mathews, 15.1 ov), 5-26 (Mendis, 16.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  18 7 47 3
Josh Hazelwood 11 3 27 1
Nathan Lyon 34 9 72 2
Jon Holland 21 5 34 0
Mitchell Marsh 5 0 20 0
Steve Smith 1 0 5 0


තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට