ශ්‍රී ලංකා පිළ නොකඩවා ලබා ගත් පස්වන ටෙස්ට් ජයග්‍රහණය සමරයි

3394
Sri Lanka v Zimbabwe
AFP PHOT

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 257කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස විශිෂ්ට අයුරින් නිමා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: තවත් ටෙස්ට් ජයක සිහිනය හෙට දිනයේ සැබෑවන ලකුණු!

පසුගිය 6 වැනිදා උදෑසන තරගයේ කාසියේ වාසිය තමන් සතු කරගත් සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට ආරාධනා කලත් ඉන් නිසි ඵල නෙලා ගන්නට ඔවුන්ට අවස්ථාවක් උදා නොවීය.

ඒ ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 504ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කල බැවිනි. මුල් පෙළ කඩුලු කිහිපයක් තරමක් අඩු ලකුණු ගණනකට බිඳ වැටෙද්දී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය සිල්වා ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ලකුණු 127ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් විය. පීඩනය යටතේ ගොඩ නැගුණු විශිෂ්ට ඉනිමක් ලෙස සඳහන් කල හැකි එයට හතරේ පහර 14ක් ඇතුලත් විය. තම දෙවැනි තරගයට ක්‍රීඩා කරන අසේල ගුණරත්න ශ්‍රී ලංකා පිළේ මෑතකාලීන හොඳම ආයෝජනය බවට පත්වෙමින් ලකුණු 116ක් රැස් කළේය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ඩොනල්ඩ් තිරිපානෝ සහ ග්‍රැහැම් ක්‍රීමර් කඩුලු 3 බැගින් බිඳ හෙලීය.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 272ක් පමණි. බ්‍රයන් චාරී, ක්‍රේග් අර්වයින් සහ ශෝන් විලියම්ස් අර්ධ ශතක වාර්තා කලත් කිසිම පිතිකරුවෙකුට දැවැන්ත ඉනිමක් කරා යාමට නොහැකි වූ බැවින් සිම්බාබ්වේ ප්‍රථම ඉනිමේ නිමාව සනිටුහන් වූයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 232ක් පිටුපසිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ වගකීම අකුරටම ඉටු කල රංගන හේරත් ලකුණු 89ට සිම්බාබ්වේ පිතිකරුවන් පස් දෙනෙකුම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. ඒ අනුව ඔහු ලොව සියලුම ටෙස්ට් කණ්ඩායම් වලට එරෙහිව ඉනිමකදී කඩුලු 5 බැගින් බිඳ හෙලූ පන්දු යවන්නන් අතරට එක්විය. මීට පෙර මෙවන් ගෞරවයකට හිමිකම් කීවේ මුත්තයියා මුරලිදරන් සහ ඩේල් ස්ටේන් පමණි.

ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ පිළ නැවත පිතිකරණය සඳහා කැඳවිය හැකිව තිබුනත් රංගන හේරත් ඒ සඳහා උනන්දුවක් නොදැක්වීය. නවක පිතිකරුවන් රැසක් සමගින් සිව්වන ඉනිමේ පන්දුවට පහර දීම අසීරු වීමේ ඉඩකඩක් පැවතීම ඊට හේතු වූවා විය හැක. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 114ක් තුල බිඳ දමමින් යම් තරමක තර්ජනයක් ඇති කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් විය.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වීමට ඉඩ නොතැබූ දිමුත් කරුණාරත්න හතරේ පහර 8ක් සමගින් ලකුණු 88ක් ලබා ගනිමින් සුවිශිෂ්ට දස්කම් දැක්වීය. ඔහු මෙම තරගාවලිය පුරාවටම පිත්තෙන් දස්කම් දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් සුබවාදී කරුණක් බවට පත්ව තිබේ. කුසල් පෙරේරා ඉනිමේ අවසන් භාගයේදී පිටියට පිවිස හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 62ක් වාර්තා කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 258ක් ලෙස සටහන් වෙද්දී ඉනිම අත්හිටුවා සිම්බාබ්වේ කණ්ඩායම නැවත පන්දුවට පහර දීමට යෙදවීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගත්තේය.

ලකුණු 491ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට දෙවැනි ඉනිමේදී ද සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි නොවීය. වමත් පිතිකරු ක්‍රේග් අර්වයින් පමණක් ලකුණු 75ක් රැස් කිරීමට සමත් වූ අතර අන් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට හැකි නොවීය. සිම්බාබ්වේ දෙවැනි ඉනිම අන්ත අසරණ කල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ අරුණලු උදාකල රංගන හේරත් ලකුණු 63කට කඩුලු 8ක් බිඳ හෙලීමට සමත් විය. ඔහුගේ පන්දුවක් හමුවේ සිම්බාබ්වේ අවසන් පිතිකරු ක්‍රිස්ටෝපර් ම්පොෆු පිටියෙන් ඉවත් වෙද්දී සිම්බාබ්වේ ඉනිම දැක්වූයේ ලකුණු 233ක් ලෙසයි. රංගන හේරත් මෙම තරගය අතරතුර මෙම වසර තුලදී ටෙස්ට් කඩුලු 50 සීමාවට ලඟාවූ ලොව ප්‍රථම පන්දු යවන්නා බවටද පත්විය.

ඒ අනුව ප්‍රථම තරගය ලකුණු 225කින් සහ දෙවැනි තරගය ලකුණු 257කින් ජයගත් ශ්‍රී ලංකා පිළ මෙම ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස නිමා කිරීමට සමත් විය. මෙය ශ්‍රී ලංකාව නොකඩවා ජයගත් පස්වන ටෙස්ට් තරගයයි. තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම පාහේ ලකුණු අතරට පැමිණීමට සමත්කම් දක්වද්දී පන්දුවෙන් විස්මිත දස්කම් දැක්වූ රංගන හේරත් තම කුළුදුල් නායකත්ව වගකීමද අකුරටම ඉටු කිරීමට සමත්විය. එසේම මෙම තරගයේදී ලකුණු 152ට කඩුලු 13ක් බිඳ හෙලූ ඔහු තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කීවේය.

නිමාවුනු ටෙස්ට් තරග දෙකේදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කල දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ සමගම සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේ නිමාව සනිටුහන් වන අතර එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද එක්කොට ගනිමින් පැවති තුන්කොන් එක්දින තරගාවලියක ආරම්භය ද වේ. එහි ප්‍රථම තරගය ලබන 14 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හරාරේ නුවරදීම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4)‍: ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 82.1): බ්‍රයන් චාරි 80, ක්‍රේග් අර්වයින් 64, රංගන හේරත් 5/89, දිල්රුවන් පෙරේරා 3/51.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 81.4): දිමුත් කරුණාරත්න 88, කුසල් පෙරේරා 62, ග්‍රැහැම් ක්‍රීමර් 4/91, කාල් මුම්බා 3/67.

සිම්බාබ්වේ (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 58): ක්‍රේග් අර්වයින් 72, ශෝන් විලියම්ස් 45, රංගන හේරත් 8/63.