බෙංගාලි ව්‍යාඝ්‍රයෙකු තම නිල ලාංඡනය ලෙස භාවිත කරන බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් ලබා ගත්තේ මීට වසර 16 කට පෙරයි. ඔවුන් තම 100 වන ටෙස්ට් ගැටුම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති අතර මෙම සංචාරයට ටෙස්ට් තරග 2ක් එක්දින තරග 3ක් සහ T-20 තරග 2ක් ඇතුලත් වෙයි. මෙම තරගාවලියේ ආරම්භය සනිටුහන් කරන නිල මාධ්‍ය සාකච්ඡාව ඊයේ කොළඹ දී පවත්වන ලදි.

බංග්ලාදේශ තරගාවලියට පුෂ්පකුමාර, ගුණරත්න සහ දික්වැල්ල

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් එළඹෙන මාර්තු 7 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා..

මෙතෙක් බංගලාදේශය සහභාගී වූ ටෙස්ට් තරග 99 ඇතුළත ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කල තරග 16ක් ද ඇතුලත්. ඉන් 14 කම ජය හිමි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඉතිරි තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් විය. 2014 වසරේ අවසන් වරට බංගලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කල අවස්ථාවේ පැවති ටෙස්ට් තරග දෙකෙන් එකක් ශ්‍රී ලංකාව ජය ගත් අතර අනෙක් තරගය පරාජයෙන් බේරා ගන්නට සංචාරකයන් සමත් විය.  කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායම තම 100 වන ටෙස්ට් තරගයට පිවිසෙන්නේ වසර 16ක් තුල ඔවුන් සතුව සිටි සියලුම කණ්ඩායම් වලට වඩා දස්කම් අතර සිටින ක්‍රීඩකයන් රැසක් සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගෙන් යුත් පුහුණු කාර්ය මණ්ඩලයක් ද සමඟයි.

”අපි තරමක් අත්දැකීම් අඩු කණ්ඩායමක් තමයි. නමුත් අපි විශ්වාස කරනවා මේ දවස් 5 ඇතුලත අපි හොඳ තරගකාරී බවක් පෙන්නුම් කලොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග කරන්නට අපිට පුළුවන් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ උපරිම ශක්තියෙන් තරග කරලා ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කරන්න. එවිට අපිට සතුටුදායක ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා.” බංග්ලාදේශ ටෙස්ට් නායක මුෂ්ෆිකර් රහීම් පැවසීය.

ඔවුන්ට මෙම සංචාරයේ දී ජයග්‍රහණයක් පිළිබඳ සිතීම අසාධාරණ බලාපොරොත්තුවක් නොවන්නේ ඔවුන් මෑත කාලීනව එංගලන්ත කණ්ඩායම එංගලන්තයේදීම පරාජය කරන්නට ද සමත්ව සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් තම කණ්ඩායමේ ශක්තිය පිළිබඳව තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවයි දෙවන තරගාවලියක් සඳහාත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණු රංගන හේරත් පවසන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුලත් වන එකම පළමු කැඳවීම ලැබූ ක්‍රීඩකයා වන්නේ වමතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරයි. පළමු පෙළ තරග වල දී මෙන්ම පසුගිය දා අවසන් වූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති නිල නොවන ටෙස්ට් තරගාවලියේදී ද විශිෂ්ට දස්කම් අතර සිටි මාලින්ද හට මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතීම අපහසු වුවත් රංගන හේරත් සඳහා ආදේශකයක් තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට සහනයක් වනු ඇති.

සංචාරක කණ්ඩායමක පුහුණුකරුවකුගෙන් සිංහල බසින් ප්‍රශ්න ඇසීමේ දුර්ලභ අවස්ථාවක් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මෙරට වාර්තාකරුවන්ට හිමි විය. වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර, කලක් ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලයට ද ඇතුලත්ව සිටි වර්තමාන බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තම හඬ අවදි කළේ මෙලෙසින්..

2008-2009 කාල සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡායා පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහ සේවයෙන් පහ කිරීමට එවක ක්‍රිකට් අතුරු කමිටු සභාපති වරයෙකු වූ ඩී. එස්. ද සිල්වා කටයුතු කරණ ලදි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායමක අති සාර්ථක පුහුණුකරුවකු ලෙස කටයුතු කල හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායම ක්‍රිකට් කරළියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙස දියුණු කිරීමට ද විශාල සේවයක් ඉටු කර තිබේ. මීට වසර 7 කට පමණ පෙර මෙරට පරිපාලකයන් හමුවේ මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පිළිබඳවද මාධ්‍යවේදීන් හතුරුසිංහ ගෙන් ප්‍රශ්න කරන ලදී.

”මම ඒ සිදුවීම අමතක කරලා ගොඩක් කල් වෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය කිරීමට නොහැකි වීම මට තිබෙන කනගාටුවක්. කොහොම වුනත් මම දැන් කරන රාජකාරිය පිළබඳ මම තෘප්තිමත්.” ඔහු ඉතා සන්සුන්ව පැවසීය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට