‘පේරා’ පළවාහරිමින් ‘මෝරා’ ශූරතාවය ජයග්‍රහණය කරයි

550
Sri Lanka University Rugby 2018

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (9) පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය අතර කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති අතර ලකුණු 40-24ක් ලෙස පේරාදෙණිය ක්‍රීඩකයින් පරාජය කරමින් මොරටුව විශ්ව විද්‍යාලය 2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

“විස්විදු” කිරුළේ අයිතිය මොරටුවටද, කන්ද උඩරටට ද?

2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ වන විට එහි අවසන් මහා තරගය දක්වා පැමිණ අවසන්…

මේ අතර මෙම තරගයට පෙර තරගාවලියේ තෙවන ස්ථානය සඳහා කොළඹ විශ්ව විද්‍යාලය හා කැළණිය විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර කැළණිය පරාජය කළ කොළඹ විශ්ව විද්‍යාලය තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අවසන් මහා තරගයේ කණ්ඩායම් දෙකම ආරම්භක මිනිත්තු කිහිපය තුල දී ප්‍රබල ක්‍රීඩා විලාශයක නිරත වූ අතර පේරාදෙණිය ක්‍රීඩකයෝ මොරටුව අර්ධයට ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේ 11 වන මිනිත්තුවේ දී ඩ්‍රොප් ගෝලයක් මගින් පේරාදෙණිය ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. ඊ. එම් .එච්. ඊ. බී ඒකනායක ස්ථානෝචිතව මැනවින් පන්දුව ගෝල කණු අතරින් යැවීමට සමත් විය. (පේරාදෙණිය 03-00 මොරටුව)

පේරාදෙණියේ ප්‍රහාරයට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ මොරටු ක්‍රීඩකයෝ 14 වන මිනිත්තුවේ දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ටී. ලක්මාල්ගේ සුරතිනි. ඒ. වී වීරකෝන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (පේරාදෙණිය 03-07 මොරටුව)

කණ්ඩායම් දෙකම එකිනෙකා පරයා උත්සාහක දිනුමක් කරා යාමට ප්‍රබල උත්සාහයක නිරත වූ අතර මොරටු ක්‍රීඩකයෝ ඉතා අඩුවෙන් අතපසු කිරීම් කරමින් පන්දුව තමන් වෙතම තබාගෙන ක්‍රීඩා කිරීමට උත්සහ ගත්හ.

“මෝරා” සමඟින් “පේරා” අවසන් සටනට

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට…

18 වන මිනිත්තුවේ දී පේරාදෙණිය වෙනුවෙන් ඒකනායක පළමු උත්සාහක දිනුම වාර්තා කළේ නැවත තරගයේ පෙරමුණ ගනිමිනි. එහි ප්‍රවර්තනය ඔහුම සාර්ථක කර ගත්තේ ලකුණු තත්වය 10-07ක් බවට පත් කරමිනි.

තරගයේ 26 වන මිනිත්තුව ගතවෙද්දී පේරාදෙණිය ක්‍රීඩකයින් දෙදෙනෙක් නොමග යවමින් මොරටුවේ එස්. එස්. ජයරත්න සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ පේරාදෙණි ක්‍රීඩකයින්ගෙන් තරගය උදුරා ගනිමින් බව ඔහු දැන සිටියේ නැත. ටී. ලක්මාල් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ නැත. (පේරාදෙණිය 10-12 මොරටුව)

අනතුරුව පේරාදෙණිය ක්‍රීඩකයින් නැවත වරක් අමාරුවේ දමමින් පළමු අර්ධය නිමා වීමට පෙර මොරටුව නායක සචින් නිස්සංක ආරච්චි තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ පේරාදෙණිය අර්ධයේ ලැබුණු ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන ක්ෂණිකව උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමිනි. වීරකෝන් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (පේරාදෙණිය 10-19 මොරටුව)

පළමු අර්ධය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 10 – 19 මොරටුව විශ්ව විද්‍යාලය         

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු අටක් ගතවෙද්දී මොරටු ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ පේරාදෙණි ක්‍රීඩකයින් දැඩි අර්බුදයකට ඇද දමමිනි. ඩී. දුල්ශාන් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර වීරකෝන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (පේරාදෙණිය 10-26 මොරටුව)

47 වන මිනිත්තුවේ දී පේරාදෙණි කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් මොරටුව ක්‍රීඩකයෙකු පන්දුවට පා පහරක් දෙමින් පන්දුව ඉදිරියට යොමු කළ අතර ඒ පන්දුව හඹා ගිය තවත් මොරටු ක්‍රීඩකයෙකු ක්ෂණයකින් පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිට සලකුණු කළේ පස්වැනි උත්සාහක දිනුම ලෙසයි. ජයරත්න එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නා ලදි. (පේරාදෙණිය 10-33 මොරටුව)

අනතුරුව පේරාදෙණි ක්‍රීඩකයින් ද ප්‍රබල ලෙස ආක්‍රමණයේ යෙදුණේ තරගය ඔවුන්ගෙන් ගිලිහි යමින් තිබුණු බව වටහා ගෙනයි. එස් විශ්වජිත් එම උත්සාහක දිනුම වාර්තා කළේ ‘පේරා’ බලාපොරොත්තු මඳකට දල්වමිනි. ඔහුම එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (පේරාදෙණිය 17-33 මොරටුව)                

තරගයේ 55 වන මිනිත්තුවේ පේරාදෙණි ක්‍රීඩකයින්ට අනගි අවස්ථාවක් හිමි වූ අතර පන්දුව යොමු කිරීමේ දී ඔවුන් කළ දෝෂයක් නිසා උත්සාහක දිනුම් සීමාව පෙනී පෙනී ඔවුන්ට එම අවස්ථාව අහිමි වී ගියේ ඔවුන්ගේම අවාසනාවටය.

ජ’පුරේ ජයග්‍රහණය ගෝල කණුව අවහිර කරද්දී කොළඹට පහසු ජයක්

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (25) කොළඹ විශ්ව විද්‍යාලයීය..

කෙසේ වෙතත් උත්සාහය අත්නොහරී පේරාදෙණි ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මෙවර පන්දුව සීමාවෙන් එපිටට රැගෙන ගියේ පේරාදෙණි නායක සසංක වීරකෝන් ය. ඔහුගේ එම උත්සාහය විශ්වජිත් ප්‍රවර්තනය කළේ අමතර ලකුණු එකතු කරමිනි. (පේරාදෙණිය 24-33 මොරටුව)    

පේරාදෙණි බලාපොරොත්තු මදකට දැල්වුනත් පේරාදෙණියෙන් අන්තර් විශ්ව විද්‍යාලය රග්බි ශූරතාව උදුරා ගනිමින් අවසන් මොහොතේ මොරටු ඉදිරිපෙළ ක්‍රීඩකයෝ  සීමාවෙන් එපිට ගිය පන්දුව දිනාගෙන ‘Rolling Maul’ ආකාරයට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ තරගයේ මොරටු ජය තහවුරු කරමිනි. ජයරත්න එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (පේරාදෙණිය 24-40 මොරටුව)

අවසන් ලකුණු තත්වය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 24 (3T, 1DG, 3C) – 40 (6T,5C) මොරටුව විශ්ව විද්‍යාලය 

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • පේරාදෙණිය විශ්ව විද්‍යාලය – ඊ. බී. ඒකනායක (1T, 1DG, 1C), විශ්වජිත් (1T,2C), සසංක වීරකෝන් (1T)
  • මොරටුව විශ්ව විද්‍යාලය – ටී. ලක්මාල් (1T,1C), ඒ. වී. වීරකෝන් (3C), එස්. එස්. ජයරත්න (1T, 1C), සචින් ආරච්චි (1T), ඩී. දුල්ශාන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<