ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ

4807

ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය අද (5) නිල වශයෙන්  නම් කරන ලදි.

වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් ක්‍රිකට් තරග 3කින් සමන්විත කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන්…..

කොදෙව් දේශයේ පැවති දෙවන ටෙස්ට් තරගයේ පන්දු රැකීමට නොපැමිණ පැය දෙකකට ආසන්න කාලයක් අපතේ යැවීමේ වරදට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙතෙක් නිල වශයෙන් දඬුවමක් පනවා නොමැති නිසා දිනේෂ් චන්දිමාල් වෙත මේ සංචිතයේ නායකත්වය ලබා දී ඇත.

එසේම දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දු රැකීමට පිටියට නොපැමිණීමේ වරද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ හා නායක චන්දිමාල් විසින් පිළිගන්නා ලදි. එම වරද ICC විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදක් බැවින් ඔවුන් තිදෙනා හටම අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක තරග තහනමක් ලබා දෙනු ඇත. එම දඬුවමේ ප්‍රමාණය පිළිබඳ අවසන් තීන්දුව ජූලි මස 10 වැනිදා ICC විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව යම් හෙයකින් චන්දිමාල් හට දඬුවමක් ලෙස තරග තහනමක් ලැබුණහොත් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙත නායකත්ව වගකීම් ලබා දෙනු ඇත. පසුගිය 27 වැනිදා නිමා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී සිදු වූවා යැයි පැවසෙන පන්දුව පළුදු කිරීමේ සිද්ධියට අදාලව ICC විසින් එම තරග සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගය නායක දිනේෂ් චන්දිමාල්ට තහනම් කරන ලදි.

චන්දිමාල් හට තරග තහනමක් පැනවීම නිසා තෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස සුරංග ලක්මාල් ක්‍රීඩා කරන ලදි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය කඩුලු 4කින් ජයගෙන තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ නායකත්වයත් ලක්මාල්ට?

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හට කොදෙව් තරග සංචාරය අහිමිව ගියේ ආබාධයකට ලක්වීම නිසාවෙනි. නමුත් එයින් සුවය ලැබූ කරුණාරත්න ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය ගෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා පිටත්ව ගිය අතර එම තරගාවලියේ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දී ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලැබුණි. ඒ හේතුව නිසාවෙන් කොදෙව් තරග සංචාරය සිය මංගල ටෙස්ට් තරග සංචාරයට බවට පත් කර ගත් මහේල උඩවත්තව අද ඉදිරිපත් කළ මේ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇත. උඩවත්ත එම තරග සංචාරයේ ඉනිම 4කදී ලබා ගත්තේ ලකුණු 23ක් පමණි.

විනය විරෝධී හැසිරීම නිසා කොදෙව් තරගාවලිය අතරතුර නැවතත් දිවයිනට හරවා එවූ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් නැවතත් සංචිතයේ සිය ස්ථානය වෙන්කරගෙන ඇත.

වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් පෙරේරා හා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය මත ඔවුන්ගේ සහභාගීත්වය තීරණය වෙනු ඇත. කුසල් ජනිත් කොදෙව් තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටිය දී 4 සීමාව ආසන්නයේ රඳවා ඇති වෙළඳ දැන්වීම් පුවරුවක ගැටී යම් ආබාධයකට ලක්වූ නමුත් අනතුරව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා පිතිකරුවෙක් ලෙස සිය උපරිම දායකත්වය ලබා දීමට සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දනුෂ්ක ගුණතිලක , රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වෙත ඉදිරිපත් කර ඇත) , රංගන හේරත් (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වෙත ඉදිරිපත් කර ඇත), දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ලහිරු කුමාර, කසුන් රාජිත.

අතිරේක ක්‍රීඩකයින් – අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, මලින්ද පුෂ්පකුමාර, ෂෙහාන් ජයසූරිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<