ගෙවුනු දවස සැප්තැම්බර් 4 – සංචිතයට අලුත් මුහුණු

1330

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    රග්බි    

ටෙරන්ස් නැවතත් ඉසිපතනයට

Henry Terrance

ඉසිපතන විද්‍යාලයේ හිටපු රග්බි පුහුණුකරුවෙකු වන හෙන්රි ටෙරන්ස් මහතා මීළඟ රග්බි තරගාවලිය සඳහා නැවත වරක් ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට පැමිණ ඇත.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන මොහු, 2012/13 වර්ෂවල දී හැව්ලොක් රග්බි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය. පසුව ඔහු CR & FC, නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර අවසානයේ දී ඔහු නියෝජනය කළේ පොලිස් ක්‍රීඩා සමාජය යි.

සම්පූර්ණ වාර්තාව: ලීග් ශූරතා ජය ගත් පුහුණුකරු නැවතත් ඉසිපතනයට

    ක්‍රිකට්    

20-20 මුහුණ දෙන ශ්‍රී ලංකා සංචිතය

T20 squad

සනත් ජයසූරිය මහතා ප්‍රමුඛ වත්මන්  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවසන් නිළ රාජකාරි කටයුත්ත වශයෙන් ශ්‍රී ලංකා 20–20 සංචිතය තෝරා ගැනීම ඊයේ (4) සිදු කරන ලදි. මෙම සංචිතය නම් කරන ලද්දේ එළඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය 20–20 තරගය වෙනුවෙනි.

ලබන 6 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙන එකම 20–20 තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට 20–20 විශේෂඥයින් වන සීකුගේ ප්‍රසන්න, ඉසුරු උදාන හා දසුන් ශානක යන ක්‍රීඩකයින් නැවත වරක් සංචිතයට කැඳවා ඇත. මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

සීකුගේ ප්‍රසන්න නිමාවූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කළව ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ අතර, දැන් එයින් සම්පූර්ණ සුවය ලබා නැවතත් සංචිතයට එක්වී ඇත.

සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකා 20-20 සංචිතය නිකුත් වේ


පාකිස්තානයට යන මූලික සංචිතය

Squad

එළඹෙන සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගන්නා ලදි.

අත්දැකීම් සහිත වේගපන්දු යැවීමේ තුරුම්පුවක් වන ධම්මික ප්‍රසාද් කලකට පසු ශ්‍රී ලංකා සංචිතයකට කැඳවා තිබෙන්නේ ඔහුගේ උරහිසේ මතුව තිබූ ආබාධය සුව වීමත් සමඟයි. මේ අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා නායකයා ලෙස පත් කර සිටින උපුල් තරංග මාස 6ක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සීමිත පන්දුවාර ක්‍රිකට් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවසර ඉල්ලා ඇති බැවින් ඔහු මෙම සංචිතයට ඇතුළත් නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ට අත්දැකීම් සහිත රොෂේන් සිල්වා මෙන්ම මුල්පෙළ පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම සහ 20 හැවිරිදි යොවුන් පිතිකරණ බලාපොරොත්තුවක් වන චරිත් අසලංක ද මෙම මූලික සංචිතයට කැඳවුම් ලබා සිටියි.

සම්පූර්ණ සංචිතය: පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

දිනයක අවසානය