පන්දුව පළුදු කළා යැයි චන්දිමාල්ට චෝදනා

907

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාන්ත ලුසියා හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සිදු වුනා යැයි පැවසෙන පන්දුව පළුදු කිරීමේ සිද්ධියට අදළාව Twitter සමාජ ජාලය හරහා පණිවිඩයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් එම සිදුවීම සම්බන්ධයෙන් චෝදනාකරුවෙකු යැයි ප්‍රකාශ කර ඇත.

ධනංජය පන්දුව පළුදු කළා ද?

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ…

දෙවන ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ අලිම් ඩාර් (පාකිස්තානය) සහ ඉයන් ගුල් (එංගලන්තය) විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව පළුදු කළේ යැයි කරනු ලැබූ චෝදනාවට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (16) නියමිත වේලාවට පිටියට නොපැමිණි අතර ඒ නිසාවෙන් තරගාරම්භය පැය 2කින් පමණ පමාවිය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පිටියේ විනිසුරුවන් සමඟින් පිටියට පිවිස මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ආකාරයක් ද දිස්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයේ 2.2.9 දරන වගන්තිය කඩ කිරීම එනම්, පන්දුවේ හැඩය වෙනස් කිරීමේ/ පන්දුව පළුදු කිරීම යන චෝදනාවට ICC විසින් චන්දිමාල්ට චෝදනා ගොනු කර ඇති අතර මෙතෙක් ඔහුට ලබා දෙන දඬුවම පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව ද ICC විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ නමුත් සිද්ධිය යම්තාක් මට්ටමකට සමනය වූ පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ පන්දු රැකීම සඳහා සූදානම් වුවත් තරග තීරකවරුන් විසින් කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දී පන්දුව ද මාරු කර තිබීම නිසා (කොදෙව් පිතිකරුවන්ට නව පන්දුවක් තෝරා ගැනීමට අවස්ථාව දෙන ලදි – ICC නීති සංග්‍රහය 41.3ට අනුව) නැවත වතාවක් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හා පිටියේ විනිසුරුවරුන් දෙදෙනා අතර සංවාදයක් ඇති විය. එම නිසා තරගය තවදුරටත් ප්‍රමාද වන්නට විය.

පන්දුව පළුදු කිරීමේ සිදුවීම ගැන SLC ප්‍රකාශයක් නිකුත් කරයි

සාන්ත ලුසියා හි දෙවන කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට පෙර …

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තත්වය පිළිබඳ සොයා බලනවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි සහ රජයෙන් පත් කළ බලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා.” යැයි ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් විය.

එසේම එම ප්‍රකාශයේ දී පිටියේ විනිසුරුවරුන් විසින් එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්‍ෂේප කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිම නීති විරෝධි කටයුත්තක් සඳහා සම්බන්ධ නොවූ බවත් කණ්ඩායම් කළමනාකාරිත්වය SLC වෙත දැනුම් දුන්නා යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ධනංජය ද සිල්වා ඊයේ ‘බැන්ඩේජ්’ පටිවලින් වෙලා තිබුණු දෑතින් පන්දුව පිරිමදිනු රූපවාහිනී දර්ශනවලට හසු වූ අතර තරගය අතරතුර දී විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරික්ෂා කරන වළලු වලින් පන්දුව පරික්ෂා කරන ආකාරය සහ ඉන්පසු නායක දිනේෂ් චන්දිමාල් හා සංවාදයක නිරත වනු රූපවාහිනී කැමරාවලට හසුව තිබුණි. නමුත් මෙතෙක් ඒ පිළිබඳව නිල මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවක් සම්බන්ධයෙන් ICC පවසා නැත.

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ද Sky Sports නාලිකාව සමඟ පැවති හමුවක දී මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත චෝදනාවක්; කොදෙව්වෝ Overtake කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර…

“මටත් එය එක පාරටම හිතා ගන්න බැරි වුනා. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා තරගයේ දී ද වුනේ මේ වගේම දෙයක්. සමහර විට ක්‍රීඩා කරන කොට පන්දුවේ ස්වභාවය වෙනස් වීමට ද යම් ඉඩකඩක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට එක් වරම මෙහි වරද පටවන්න බෑ. මේකට විධිමත් පරීක්ෂණයක් තියන්න වෙයි.”

මේ වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර කේප්ටවුන් හි පැවතී තරගයක දී ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්, කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් හා ඩේවිඩ් වෝනර් පන්දුව වැලි කඩදාසියක් ගෙන පිරිමදිමින් පන්දුවේ හැඩය වෙනස් කිරීම නිසා දැඩි අප්‍රසාදයට ලක්විය. එක තරගයක් රැක ගැනීමට ගොස් ක්‍රිකට් දිවියෙන් පවා වන්දි ගෙවන්නට ඔවුන්ට අවසානයේ සිදු විය. එම නිසා පන්දුවේ හැඩය සිතාමතා වෙනස් කිරීම යනු විශාල වරදකි.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<