ආනන්දයට තවත් අවස්ථාවක්

1811

ඉකුත් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර අවසන් මහා තරගය දින 14කින් කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයට සිදු වූයේ ආනන්ද විද්‍යාලය විසින් ගෙන එන ආ වාරණ නියෝගයක් හේතුවෙනි.

ආනන්ද විදුහල වෙත එල්ල වූ “අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමේ” චෝදනාවට, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ විමර්ශනවලින් ඔවුන් වැරදිකරුවන් වීම හේතුවෙන් එම පාසල තරගාවලියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය තීරණය කර තිබුණි.

තර්ස්ටන් ලුම්බිණි අවසන් තරගයට උසාවි නියෝගයක්!

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ අද (19) පැවැත්වීමට නියමිතව තිබූ තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර අවසන් මහා තරගය දින 14කින් කල්…

පසුගිය 26 වැනිදා, සිකුරාදා මෙම නඩුව අධිකරණයේ දී විභාගයට ගැනුණ අතර එහි දී සිදු වූ දේ පිළිබඳව ThePapare.com ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර චන්ද්‍රසේකර මහතාගෙන් විමසූ අවස්ථාවේ, 

“පසුගිය සිකුරාදා මෙම නඩුව විභාගයට ගැනුණා, එහි දී අපගේ නීතිඥවරයා ඉදිරිපත් කළ වාර්තා විනිසුරුතුමන් විසින් පිළිගත්තා. එසේම ආනන්ද විදුහලට අවස්ථාවක් ලබා දුන්නා ලබන 7 වැනි බදාදා දිනට පෙර ආනන්ද විදුහල වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගය අසමත් යයි සැලකෙන ක්‍රීඩකයාට ක්‍රීඩා මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට සුදුසුකම් තිබෙනවා ද නැති ද යන්න ඔප්පු කිරීමට” යනුවෙන් පැවසීය. 

කෙසේ වුවත් අවසන් තරගයට ආනන්ද විදුහල විසින් වාරණ නියෝගයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට පෙර පැවැත්වූ පරීක්ෂණ පිළිබඳව ජුලි මස 19 වැනිදා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ThePapare.com වෙත පවසා තිබුණේ මෙවැන්නක්.

“ආනන්ද විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය අතර පැවති තරගයේ දී ආනන්ද විදුහලට ලුම්බිණි විදුහල විසින් විරෝධතාවයක් ඉදිරිපත් කළා. එම විරෝධතාවය හරහා ඔවුන් පවසා සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් ක්‍රීඩකයෙකු එම කණ්ඩායමට ක්‍රීඩා කරන බවත්, ඔහු මෙම තරගය ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලබා නොමැති බවත් ය.”

Video – ආනන්දය අපට විභාග ප්‍රතිඵල ලබා දුන්නේ නෑ – රංජිත් චන්ද්‍රසේකර

මයිලෝ අගමැති කුසලානය කල් යෑමට හේතුව රංජිත් චන්ද්‍රසේකර පැහැදිලි කරයි…

“අපි ඒ පැමිණිල්ල විභාග කළා, අපි වාර තුනක දී ආනන්ද විදුහල විනය පරීක්ෂණයකට කැඳෙව්වා, අප ඉල්ලා සිටියා ඔවුන්ගෙන් එම ක්‍රීඩකයා සාමාන්‍ය පෙළ සමත් නම් එම විභාග ප්‍රතිඵල ඉදිරිපත් කරන ලෙස, ඔවුන් කියා සිටියා ඔවුන්ගේ විද්‍යාලය වෘත්තීය විෂය මාලාවන් සඳහා තෝරා ගත් විද්‍යාලයක් ලෙස. අපි ඉල්ලා සිටියා ආනන්ද විද්‍යාලයෙන් එසේ නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් එම ස්ථීර ලිපිය අප වෙත ඉදිරිපත් කරන ලෙස, නමුත් ආනන්ද විදුහල වාර තුනේ දී ම අපොහොසත් වුනා එම සහතික ඉදිරිපත් කරන්නට. ඉන්පසුව අපේ විනය මණ්ඩලය තීරණය කළා ආනන්ද විදුහලට එරෙහිව තිබූ පැමිණිල්ලට එරෙහිව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් නොකළ නිසා ඔවුන් විසින් ලබා ගත් එම ජයග්‍රහණය ලුම්බිණි විදුහලට පිරිනමන්න.”

ආනන්ද විදුහලට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දෙමින් ලබන 7 වැනිදා, බදාදා දක්වා මෙම නඩුව කල් දැමීමට විනිසුරුතුමන් තීරණය කර ඇත. මෙම නඩුව නැවත 7 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<