ශ්‍රී ලංකාවේ පාපන්දුවට නව සහය පුහුණුකරුවෙක්

359

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තේරීම් තරග සහ 2019 දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලි හට සහය වීම සඳහා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස මේ වන විට නේවි සී හෝක්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන ජානක සිල්වා පත්කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) කටයුතු කර ඇත.

31 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතය නම් කරයි

2021 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ…

මෙම පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වාර් උමාර් මහතා ප්‍රකාශ කර සිටියේ;

“මේක සහය පුහුණුකරු තනතුරක් නිසා ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලි වඩාත් කැමති වුනේ ඔහුට සහය දිය හැකි පුද්ගලයෙක් ඒ තනතුරට පත්කරනවාට. ඔහු මේ වන විටත් අදාළ සැලසුම් නිර්මාණය කරලා තියෙන නිසා ඒ තනතුරට ප්‍රමුඛ පෙළේ තවත් ප්‍රධාන පුහුණුකරුවෙක් පත්කරලා තේරුමක් නැහැ. මොකද ඔවුන්ට වෙනම අදහස් තියෙන්න පුළුවන්. ප්‍රධාන පුහුණුකරු මේ වන විට සූදානම් කිරීමේ කටයුතු වල අවසාන අදියරේ සිටින්නේ. ඒ නිසා අපිට ඔහුගේ සැලසුම් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ.”

ඒ අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරග යටතේ පළමුව මැකාවු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත අතර ඊට සමගාමීව මාසයක කාලයක් පුරාවට පවත්වනු ලබන සූදානම් කිරීමේ පුහුණු සංචාරය අභියස කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සිදු කර ඇති මෙම ජානක සිල්වාගේ පත්වීම එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන දකුණු ආසියානු තරගාවලියේ අවසානය දක්වා වලංගු වනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දුවේ නිල පන්දු සපයන්නාට අලුත් සන්නාමයක්

NIVIA Football, ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සන්නාමයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකා…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු 1995 වසරේ සිට 2014 වසර දක්වාම ‘Old Bens SC’, ‘Pettah United SC’ සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ‘A’ කාණ්ඩයේ පාපන්දු ක්‍රීඩාවේ නිරතව ඇත. තවදුරටත් ඔහු 2003/04 තරග වාරයේ ‘Hurriya SC’ කණ්ඩායමත්, 2007 වසරේ දී ‘Sosun SC’ කණ්ඩායමත් නියෝජනය කරමින් මාලදිවයිනේ පාපන්දු ලීගයේ ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ඇත.

එමෙන්ම ඔහු 2000 වසරේ සිට 2008 වසර දක්වා වසර 8ක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ද ක්‍රීඩා කරනු ලැබීය.

සිය ක්‍රීඩා දිවිය අවසානයේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු ආරම්භ කර ‘AFC B’ බලපත්‍රයකට හිමිකම් කියන ජානක මේ වනවිට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු ධූරය ද හොබවනු ලබයි. එමෙන්ම පසුගිය දා අවසන් වූ 2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දී නේවි සී හෝක්ස් කණ්ඩායමේ සහය පුහුණුකාර ධූරය දැරූ ඔහු, එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දැරූ දමදරන් චන්ද්‍රසිරි නොමැති විට කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ධූරය දරමින් තරග 6ක දී ජයග්‍රහණය 5ක් කරා කණ්ඩායම මෙහෙයවන්නට සමත් විය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<