2017 තරග වාරය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිත 51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයට ඇත්තේ තවත් සති දෙකකටත් වඩා අඩු කාලයකි. කණ්ඩායම් 46ක් අංශ 2ක් යටතේ කාණ්ඩ තුනකට යටත්ව පැසිපන්දු පිටියේ තම ආදිපත්‍ය පැතිරවීමට ඇඟිලි ගනිමින් සිටියි.

ගියවර පැවති අවසන් තරගයේදී ලැබූ අමිහිරි මතකයන් තුලින් මෙවර ශූරතාවය දිනා ගැනීමට සටන් වදින ගුවන් හමුදා පිරිමි කණ්ඩායම මෙන්ම ගියවර ලද තෙවන ස්ථානය පසෙකින් තබා මෙවර ශූරතාවය ලබා ගැනීමට සටන් වදින ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පිලිබදව කාගේත් අවදානය යොමුව තිබේ.

ගුවන් හමුදා පිරිමි කණ්ඩායම

තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිටින කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටින ගුවන් හමුදා ක්‍රීඩකයින් ගියවර ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයෙහි අවසන් තරගයට සුදුසුකම් ලැබූවද, වෙළඳසේවා කණ්ඩායම හමුවේ පරාජයට පත්වන්නට සිදුවිය. මෙය ඔවුන් ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලද තෙවන අවස්ථාව වන අතර 1987 වසරේදී පළමු වරට අවසන් තරගයට සුදුසුකම් ලද අවස්ථාවේදීම ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් විය. ඉන් වසර 23කට පසු එනම් 2011 වසරේදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූවද ශූරතාවය දිනා ගැනීමට ඔවුන්ට නොහැකිවිය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team…

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනකුගේ සේවය කණ්ඩායමට අහිමිවූවත්, නවක ක්‍රීඩකයින් රැසකගේ දායකත්වයද ඇතිව තරගාවලියට පිවිසෙන ගුවන් හමුදා කණ්ඩායම 2016 වසරේ අවසන් කාර්තුවේ පැවතී ආරක්ෂක සේවා පැසිපන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

අප වෙත අදහස් දක්වූ ගුවන් හමුදා කාණ්ඩයමේ පුහුණුකරු සුසිල් උඩුකුඹුර මහතා ප්‍රකාශ කර සිටියේ, තම කණ්ඩායමේ ප්‍රධානතම අරමුණ වනුයේ ප්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම සිමා කරමින් අනෙක් අන්තයෙන් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීම මගින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීම බවයි.

කණ්ඩායම මෙහෙයවීමේ කාර්යය පැවරී ඇති ප්‍රබල ක්‍රීඩකයෙකු වන රවී දොඩන්ගොඩ  අදහස් දක්වමින් අප වෙත පවසා සිටියේ තම කණ්ඩායම අවසන් කාර්තුවේදී ඉතා හොඳින් තරගයට අවතීරණය වී ඇති බව සහ නවක ක්‍රීඩකයින්ගේ දායකත්වය තමා අගය කරන බවත්ය.

පන්දුව නැවත හැරවීම් (Turnovers) වැඩි වශයෙන් සිදුකිරීම හා අත්දැකීම් අඩුවීම කණ්ඩායමට අවාසි සහගත වනු නොඅනුමානය. නමුත් නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා නොඅඩුව ලැබීම හා වේගයෙන් ලකුණු රැස්කිරීම ගුවන් හමුදා කණ්ඩායමට වැඩි වාසි ලබා දීමට සමත් වී ඇත.

ඔසද උමයංග හා ඇන්තනි වෙනිටෝ යන ක්‍රීඩකයින්ගේ ලකුණු ලබා ගැනීම ගුවන් හමුදා කණ්ඩායමේ ජයග්‍රහණයන් සඳහා ප්‍රධාන ලෙසම බලපායි.

ගුවන් හමුදා පිරිමි  කණ්ඩායමේ  ඡායාරූප ඇල්බමය

කණ්ඩායමේ ක්‍රීඩකයින් පහත පරිදි වේ

රවී දොඩන්ගොඩ (නායක), ග්‍රේෂන් ඇන්තනි (උප නායක), ශ්‍රීතශාන් ශ්‍රී, නිශේන් සවිඳු, ඉන්දික මහේෂ්, ඇන්තනි වෙනිටෝ, යෝගරසා අරුන්, රංග පෙරේරා, පුබුදු දිල්ෂාන්, ගවී කුරේ, ඔසඳ උමයංග, අශාන් චාමික, සුසිල් උඩුකුඹුර (ප්‍රධාන පුහුණුකරු), රන්පත් පෙරේරා (සහය පුහුණුකරු)

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම

ගියවර තෙවන ස්ථානයෙන් ඔවුන්ට සැහීමකට පත් වීමට සිදු වූ අතර ආරක්ෂක සේවා තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් විය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමේ නායිකා එරන්දි ගාල්ලගේ අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම කණ්ඩායම ගියවර තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වුවද මෙවර ශූරතාවය දිනා ගැනීමට හොඳ මානසික මට්ටමකින් පසුවන බවත්, ඉදිරි පෙළ ක්‍රීඩිකාවන්ගෙන් සිදුවන අඩුපාඩු ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව තුලින් ඉවත් කිරීමට හැකිවන බවත්ය.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ  ඡායාරූප ඇල්බමය

තරගාවලියට සහභාගී වන කාන්තා කණ්ඩායම මෙසේය.

එරන්දි ගාල්ලගේ (නායිකා), හඳුනි මුණසිංහ (උප නායිකා), දිලිනි මහේෂා, තුෂාන්ති ජීවදසන්, සිතාරි සිල්වා, යශිකා පෙරේරා, සුලෝචන ඉද්දමල්ගොඩ, ඔමලි ද මෙල්, රුවන්තිකා මදුෂානි, දිලුක්ෂි මල්ෂා, චමෝදි කුරේ, සුසිල් උඩුකුඹුර (ප්‍රධාන පුහුණුකරු), රන්පත් පෙරේරා (සහය පුහුණුකරු)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<