ඉතා කෙටි සහ අතිශය තරගකාරී ඉසව්වක පහළම ශ්‍රේණිගත කිරීමේ සිටි කණ්ඩායම ශූරතාව වෙනුවෙන් පිරිනැමුණු ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික ත්‍යාග මුදල සිය රට ගෙන යාමේ සුරංගනා කතාව සිහිනයක් නොව සැබෑවක් බව දැන් කෙමෙන් කෙමෙන් ක්‍රිකට් කරළිය තේරුම් ගනිමින් සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තිකයන් අවශ්‍ය කර තිබේ

ඔහුගේ සිරුර පෙර මෙන් සවිමත් නැත. ආබාධ හේතුවෙන් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි කාලයේ සිරුරට එක්වූ තරබාරු ගතිය…

ශ්‍රී ලාංකිස්තානුවන් ?

ලෝක කුසලාන එක්දින, පන්දුවාර 20 ලෝක කුසලාන සහ ශූරයින්ගේ කුසලාන යන ICC ඉසව් ත්‍රිත්වයම ජය ගෙන ඇති 4 වන රට බවට පත් වූ පාකිස්තානයට පසුගියදා පැවති අවසන් තරගයේ දී සියලුම ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ගේම පාහේ සහය හිමි වූ බව නොරහසකි.

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාගේ ෆේස්බුක් පිටු පුරාවටම ‘පාකිස්තාන් සින්දාබාද්’ නැතහොත් ‘පාකිස්තානයට ජය වේවා’ යනුවෙන් ලියවී තිබූ වාර ගණන අනුව දේශ සීමා හරහා එම සහය ලාහෝර් හෝ කරච්චි නුවර ක්‍රීඩාලෝලීන්ට නොදැනුනා නම් එය පුදුමයට කරුණකි.

ශූරයින්ගේ කුසලාන අර්ධ අවසන් වටය මග හැරුණු එකම ආසියානු රට බවට පත් වීම පිළිබඳ මෙරට ක්‍රීඩාලෝලීන් තුල විශාල කනගාටුවක් ඇති කළ කරුණක් වුවද, හදවත් පතුලෙන්ම ඔවුන්ගේ බලාපොරොත්තුව වුනේ එංගලන්තය සහ ඉන්දියාව පරදා පාකිස්තානය පෙරට යනු දැකීමයි. පොදු සතුරා වන ඉන්දියාව දැකීම සඳහා දින කිහිපයකට පාකිස්තානුවන් වීමට මෙරට ක්‍රීඩාලෝලීන් අකමැති නැත. පාකිස්තානුවන්? නැතිනම් ශ්‍රී ලාංකිස්තානුවන් ද?

අවශ්‍යතාවයේ දී පිහිට වන්නා සැබෑ මිතුරෙකි.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරයක නිරතව සිටිය දී කණ්ඩායම් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනේ පාකිස්තානයේ දී යි. එවක් පටන් තවමත් ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් කිසිවක් එරට සංචාරයෙන් වැළකී සිටිය ද ශ්‍රී ලංකා කණ්ඩායම තුල පාකිස්තානය කෙරෙහි කිසිදු වෛරී හැඟීමක් නොමැත. විශේෂයෙන්ම ඔවුන් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන විට.

වැදගත්ම ගැටලුව වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යනවා වෙනුවට  ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයට තරග සංචාර සඳහා යා යුතු ද යන්නයි. නිසි ආරක්ෂක සංවිධාන සමඟින් ලාහෝර් හෝ කරච්චි නුවර තුලට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පැමිණීම කළ නොහැක්කක් නොවීමටද හැකියාව පවතී.

ජයග්‍රහණයෙන් උදාම වූ පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් පැවසුවේ ද ඒ සඳහා කාලය පැමිණ ඇති බවයි. ”මම හිතනවා මේ ජයග්‍රහණය පිළිබඳ අද, හෙට විතරක් නෙමෙයි බොහෝ කලක් මතකයේ රැඳී පවතියි කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ ජයග්‍රහණය පාකිස්තානු ක්‍රිකට් ඉහළට ඔසවා තැබීමට හේතුවක් වීම සමඟ අනෙකුත් රටාවක් පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට පැමිණෙයි කියලාත්.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිහිප වරක්ම ඉන්දියා – පාකිස්තාන තරගාවලි සඳහා සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත් වී ඇති අතර පාකිස්තානය 2015 වසරේ දී එරට තරගාවලියකට පැමිණෙන ලෙසට ශ්‍රී ලංකාවට ආරාධනා කරන ලදි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඒකාබද්ධ ලෝක කණ්ඩායමක් සහ පාකිස්තානය අතර පන්දුවාර 20 තරග 3කින් යතු තරගාවලියක් සංවිධානය කරමින් සිටින්නේ, නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි පාකිස්තානයට ගෙන ඒමේ මූලික පියවරක් ලෙසයි. එම උත්සාහය සාර්ථක වුවහොත් හොඳ මිතුරෙකු ලෙසට පාකිස්තානයේ සංචාරයක නිරත වීම සඳහා සලකා බැලීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට පවතියි.

වඩාත්ම විශ්වාස කළ නොහැකි කණ්ඩායම

විශ්වාස කළ නොහැකි පාකිස්තායේ ශූරයින්ගේ කුසලාන ජයග්‍රහණය විශිෂ්ටතම නැවත නැගී සිටීම් අතර ඉහළම ස්ථානයක වැජඹෙනු ඇත්තේ මේ ඉන්දීය කණ්ඩායම හමුවේම, තරගාවලියේ පළමු වටයට අදාළව බර්මින්හැම් හීදී පාකිස්තානය ලද දැවැන්ත පරාජය හේතුවෙනුයි.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගයක දී දකුණු අප්‍රිකාව පරාජය කරන්නට සමත් වුවත්, පාකිස්තානයේ යලි පිබිදීම සඳහා ප්‍රබලම උත්ප්‍රේරණය ලැබුණේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී ලද අතිශය සටන්කාමී සහ තියුණු ජයග්‍රහණයයි.

අතීතය පුරාවටම පාකිස්තානය හැඳින්වුණේ විශ්වාසය තැබිය නොහැකි කණ්ඩායමක් ලෙසටයි. දිනෙක ඔවුන් ලොව හොඳම කණ්ඩායම ලෙස ක්‍රීඩා කළ ද, ඊළඟ තරගයේ දී අතිශය ප්‍රාථමික ක්‍රීඩා විලාශයක් දැක ගැනීමට ලැබී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඇතැම් තරගවල ජයග්‍රහණය පෙනෙන මානයේ සිට කිසිවකුට සිතා ගත නොහැකි අයුරින් පරාජය වීම ද පාකිස්තානය උරුම කර ගත් ගුණාංගයකි. එම සිදුවීම් මෙම තරගාවලියට ද පොදු විය.

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පරිසරයට හුරු වීම සඳහා පාකිස්තානයට තරගයක් ගත විය. ඉන්දියාව හමුවේ ලද එම දැවැන්ත පරාජයට පසු සැවොම විමතියට පත් කරමින් ඔවුන් නැගී සිටියේ දැවී ගිය අළු මතින් නැවත පණ ලබන ෆීනික්ස් පක්ෂියෙකු මෙනි.

ඔබේ හැකියාවන්ට අනුව ක්‍රීඩා කරන්න නැතිනම් ගෙදර යන්න.

පාකිස්තානය මෙවර තරගාවලිය තුල ඔවුන්ට අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබූ තරග 4 තුල දී ම සිදු කළේ, තමන්ට හොඳින්ම කළ හැකි දේ නිවැරදිව කිරීමයි. වැරදි නොකිරීම, පළමු සැලසුම නිවැරදිවම ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිවාදීන්ගේ දුර්වලතා හඳුනා ගැනීම ඒ අතරින් ප්‍රධාන විය.

ශ්‍රී ලංකාව සමග තරගයේ දී සාමාන්‍ය දක්ෂතා අතර සිටි ෆහීම් අෂ්රෆ් වෙනුවට පා දඟ පන්දු යවන නවක ක්‍රීඩක ශාදබ් ඛාන් එංගලන්තය සමග තරගයට කැඳවීම සඳහා ඔවුන් පසුබට නොවීය.

නිසි ශාරීරික යෝග්‍යතාව නොමැති බැවින් ඔවුන් තරගාවලියට පෙර උමාර් අක්මාල් කණ්ඩායමෙන් ඉවත් කරන ලදි.

ඔවුන් සෆ්රාස් අහමඩ් පිතිකරණ ලැයිස්තුවේ පහතට ගෙනෙමින් මුල් පෙළ පිතිකරණය වේගවත් ෆාකර් සාමාන් හට පවරන ලදි.

ඔවුන් හසන් අලී යොදා ගනිමින් මැද පන්දුවාර තුල දී ප්‍රතිවාදී පිතිකරණය විනාශ කරන ලදි.

පාකිස්තානය මෙම උපක්‍රම මගින් සාර්ථකත්වය අත් විඳින විට, ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිටත් වීමට පෙර ‘තුරුම්පු ආසියා’ ලෙස හැඳින්වූ ලක්ෂාන් සඳකැන් එක තරගයක් සඳහා යොදා ගැනීමට තරම් හෝ අවදානමක් ගැනීමට කටයුතු කළේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණේ කොතැන දැයි සලකා බැලිය හැකි නමුත්, දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී දිනේෂ් චන්දිමාල්ගේ දුවද්දී දැවී යාමත්, පාකිස්තාන තරගයේ දී තිසරගෙන් ගිලිහුණු උඩපන්දුවත් එම තරග කණපිට හැරවූ අවස්ථා ලෙස අවිවාදිතව හැඳින්විය හැක.

පාකිස්තානු කණ්ඩායමේ පැහැදිලි මානසිකත්වය සහ  තීරණාත්මක අවස්ථාවල පවත්වාගත් සටන්කාමී ආකල්ප ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වූ අතර එවන් ඇතැම් ගුණාංග ශ්‍රී ලංකා කණ්ඩායම තුලින් දක්නයට ලැබුණේ නැත. නමුත් චාමර කපුගෙදර ආබාධයට ලක්වූ සැනින් ධනුෂ්ක ගුණතිලක සංචිතයට ගෙන ඒම, ඉන්දියාව සමඟ තරගයේ දී කුසල් ජනිත් අංක 4 ස්ථානයේ පිතිකරණයේ යෙදවීම වැනි ධනාත්මක තීරණ කිහිපයක් මෙම තරගාවලිය තුල ශ්‍රී ලංකා කඳවුරෙන් ද දැක ගන්නට ලැබුණි.

අනවශ්‍ය දකුණු අප්‍රිකානුවන් හමුවේ ලද පරාජයක්, අසල්වාසීන්ට ලබා දුන් කලකට අමතක නොවන සංග්‍රහයක් සහ  අවසානයේ ශූරයන් වූ පාකිස්තානය හමුවේ ලද පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ශූරයින්ගේ කුසලාන තරගාවලි අත්දැකීම් බවට පත් විය.

තරග දිනවන පන්දු යන්ත්‍ර.

පාකිස්තානය අතීතයේ සිටම පන්දු යවන්නන් බිහි කරන තෝතැන්නකි. මෙම තරගාවලිය තුල ද එහි වෙනසක් දක්නට නොලැබුණු අතර හසන් අලී, මොහොමඩ් ආමීර්, ජුනයිඩ් ඛාන් සහ රූමන් රායිස් සිය වේග පන්දුවෙන් පාකිස්තාන ශූරතා ගමන සවිමත් කරන්නට සමත් විය. මෙම වමත් වේගපන්දු බල ඇණියෙන් එක සෙබළෙකු හෝ තමන් සතු වූවා නම් යයි ලංකා කණ්ඩායම ද සිතුවාට සැක නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රධාන වේග පන්දු තුරුම්පු වන ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් සිය උපරිම ශක්තිය කණ්ඩායම වෙනුවෙන් යෙදු අතර එහි උපරිමය දක්නට ලැබුණු පාකිස්තාන තරගයේ දී සිදු වූ පන්දු රැකීමේ අඩුපාඩු නොවන්නට ශූරයින්ගේ කුසලාන ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

නුවන් ප්‍රදීප් එක්දින තරග සඳහා පමණක් නොව පන්දුවාර 20 සහ ටෙස්ට් තරග සඳහා ද ඉදිරි වසර කිහිපය පුරාවටම රැක ගත යුතු සම්පතකි. මෙම තිදෙනාගෙන් මෙම තරගාවලිය තුල අඩුම දස්කම් දැක්වූ සුරංග ලක්මාල් පවා අවශ්‍ය විටක කඩුල්ලකින් දායකත්වය ලබා දුනි. ලසිත් මාලිංගට කළ හැකි දේ පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඔහු ද 2019 තෙක් ශාරීරික යෝග්‍යතාවය පවත්වාගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

අප පාකිස්තානයෙන් උගත යුතු ප්‍රධාන කරුණ වන්නේ ඉනිමේ මැද පන්දුවාර තුල දී කඩුලු දවා ගන්නා ආකාරයයි. පාකිස්තානය ජයග්‍රහණය කළ අවසන් තරග හතරේ දී,11 වන සහ 40 වන පන්දුවාර අතර කාල සීමාවේ කඩුලු 23ක් දවා ගෙන තිබේ. එනම් එක තරගයක දී කඩුලු 6කට ආසන්න සාමාන්‍යයකි. එම දක්ෂතාව තරග ජයග්‍රහණය සඳහා රන් මෙන් වටී.

ශ්‍රී ලංකාව තරග 3 තුල දී දවා ගෙන ඇත්තේ කඩුලු 19ක් පමණක් වන අතර එක් අවස්ථාවක දී හෝ ප්‍රතිවාදී කඩුලු සියල්ල දවා ගැනීමට අපොහොසත් විය. පාකිස්තානය ප්‍රතිවාදීන් සියල්ලන් දවා ගත් තරග සංඛ්‍යාව 3 කි.

සතුටුදායක අවසානයක්.

ඉන්දියාව සමතලා කර දැමූ පාකිස්තානුවන් ශූරයින්ගේ කුසලානය සතුටින් සිය රටට ගෙන ගිය අතර, ශ්‍රී ලංකා කණ්ඩායම යලි මෙරටට පැමිණියේ ඉන්දියාවට එරෙහිව සම්පූර්ණ කළ විශිෂ්ට ලකුණු හඹා යාමක සතුට පමණක් උරුම කරගෙනයි. කෙසේ වෙතත් දෙරටේ ක්‍රීඩාලෝලීන් හට නම් මෙය සිය පොදු සතුරා විනාශ කිරීමේ සතුට එක්ව විඳ ගත හැකි වූ සතුටුදායක තරගාවලියක් ලෙස මතකයේ රැඳෙනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට