මැතිව්ගේ ගෙලට රන් 7ක් සහ රිදී පදක්කමක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පිහිනුම්

190

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (9) දිනයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ පිහිනුම් ඉසව්වන් 8ක් ක්‍රියාත්මක විය. 

තවත් වාර්තාවක් බිඳ වැටේ; පිහිනුම්වලින් නව පදක්කම් 6ක්

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා….

එහි දී ශ්‍රී ලංකා පදක්කම් සටහනට රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් එකතු කරන්නට ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය. ඊට අමතරව තවත් ශ්‍රී ලංකා වාර්තාවන් හතරක් ද අද දිනයේ දී බිඳ වැටුණි. 

දිනය ආරම්භ කරමින් පැවති පළමු තරග ඉසව්ව වූ පිරිමි මීටර 200 IM තරග ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූරයා වන මැතිව් අබේසිංහ මිනිත්තු 2:01.66ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් 2014 වසරේ පැවති ලෝක පිහිනුම් තරගාවලියේ දී ඔහුගේ සොහොයුරෙක් වන කයිල් අබේසිංහ විසින් (මිනිත්තු 2:04.17 – Short Course) තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මෙහි දී බිඳ දමන ලදි. එහි කාන්තා ඉසව්ව සඳහා තරග කළ ශස්නා මහීර් හට පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව උදා වූයේ නැත.

පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්ව සඳහා තරග කළ මැතිව් අබේසිංහ තත්පර 49.27කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගන්නා විට, තත්පර 50.53කින් සිය ඉසව්ව අවසන් කළ අකලංක පීරිස් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

එහි කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ සන්දු සවින්දි තත්පර 28.93කින් සිය ඉසව්ව අවසන් කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්නේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.

රන් නැතත් ශ්‍රී ලංකා වාර්තාවන් දෙකක් බිඳ වැටුණු දිනයක්

13 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ වූ….

මීටර 100 පිරිමි IM සහය පිහිනුම් ඉසව්වේ දී (මැතිව් අබේසිංහ, අකලංක පීරිස්, කිරන් ජාසිංහ සහ සඳෙව් සේනාරත්න) යම් කිසි ක්‍රීඩකයෙකුගේ අතින් සිදුව තිබෙන අතපසුවීමක් නිසාවෙන් එහි රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. 

එහි කාන්තා තරග ඉසව්ව මිනිත්තු 4:24.66කින් අවසන් කළ ගංගා සෙනෙවිරත්න, රමුදි සමරකෝන්, අනීකා ගෆූර්, භක්ති කරුණාසේන ඇතුළු කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන ලදි.

ඒ සමඟින් දෙසැම්බර් 5 වැනිදා සිට දින පහක් පුරාවට පැවති මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සියල්ල අද නිමාවට පත්වූයේ රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 18ක් සමඟින් පදක්කම් 36ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමිනි. ඊට අමතරව නව ශ්‍රී ලංකා වාර්තා 9ක් මෙවර තරගාවලිය තුල දී බිඳ හෙල්ලනට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

2016 දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම් කණ්ඩායමයි. ඔවුන් එහි දී රන් පදක්කම් 12ක්, ලෝකඩ පදක්කම් 11ක්, රිදී පදක්කම් 16ක් ඇතුළු සමස්ත පදක්කම් 39ක් දිනා ගන්නා ලදි. 

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මෙන්ම මේ වසරේ දී ද මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් ගණනක් දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වූයේ රන් පදක්කම් හතක් හා රිදී පදක්කම් දෙකක් දිනා ගනිමිනි. 

කෙසේ නමුත් මීටර 100 පිරිමි IM සහය පිහිනුම් ඉසව්වේ සිදු වූ අතපසුවීමක් නිසාවෙන් එක් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. ඒ නිසාවෙන් ගියවර ලබා ගත් පදක්කම් ප්‍රමාණය සම කිරීමට මැතිව් හට අවස්ථාව නොලැබුනත් ගියවර ලබා ගත් රන් පදක්කම් ගණන මෙවරත් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 80ක් සහ ලෝකඩ පදක්කම් 108ක් සමඟින් පදක්කම් 227ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<