SAG – ජූඩ් සුමන් අවසන් මොහොතේ තරගය උණුසුම් කරයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පාපන්දු

102

නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (04) තම දෙවන තරගය සඳහා සත්කාරක නේපාලය සමඟ තරග වැදුණි. එහි දී ගෝල 1-1ක් ලෙස සම තත්වයෙන් තරගය නිමාව දුටුවේය.

SAG2019 – ශ්‍රී ලංකා – මාලදිවයින් තරගය ජය පරාජයෙන් තොරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී…

නේපාල කණ්ඩායම විසින් ආරම්භ කරන ලද තරගයේ පළමු අර්ධයේ මුල් මිනිත්තු 30 තුළ දී කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීම සඳහා වෙහෙසුණ ද, එම උත්සාහයන් ව්‍යර්ථ වූයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම යම් යම් ආබාධවලට ලක්වෙමිනි.

තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ඩක්සන් පියුස්ලස් විසින් දඬුවම් ප්‍රදේශය තුළ දී අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් ප්‍රධාන විනිසුරුවරයා නේපාල කණ්ඩායමට දඬුවම් පහරක් පිරිනැමීය. හිමි වූ දඬුවම් පහර ගෝලයක් බවට සාර්ථකව පරිවර්තනය කිරීමට නේපාල කණ්ඩායමේ නායක සුජාල් ශ්‍රෙස්තා සමත් විය. (ශ්‍රී ලංකාව 0 – 1 නේපාලය) 

තරගයේ 41 වැනි මිනිත්තුවේ දී නැවත වරක් නේපාල කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වූ නමුත් එය ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල සමත් විය. 

පළමු අර්ධය සඳහා නියමිත කාලය (මිනිත්තු 45) අවසන් වූ පසු ප්‍රධාන විනිසුරුවරයා විසින් අමතර මිනිත්තු 8ක් තරගයට එකතු කළ අතර එම කාලය තුළ දී ද කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට නොහැකි විය. 

තරගයේ පළමු අර්ධය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඩක්සන් පියුස්ලස් ප්‍රධාන විනිසුරුවරයා සමඟ ඇතිකර ගත් බහින්බස් වීම හේතුවෙන් ප්‍රධාන විනිසුරුවරයා විසින් පියුස්ලස් හට කහ කාඩ්පතක් පිරිනැමීය. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 01 නේපාලය 

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආරම්භ කරන ලද තරගයේ දෙවන අර්ධයේ 48 වැනි මිනිත්තුවේ දී නේපාල කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වූ නමුත් එය සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත. 

තරගයේ 54 වැනි මිනිත්තුවේ දී අනාරක්ෂිත ලෙස ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් නේපාල කණ්ඩායමේ අභිසෙක් රිජාල් හට කහ කාඩ්පතක් පිරිනැමීමට ප්‍රධාන විනිසුරුවරයා තීරණය කළේය. එම මිනිත්තුවේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝලයක් රැස්කර ගැනීමට හිමි වූ අවස්ථාව නිවැරදි එල්ලය නොමැති වීම හේතුවෙන් අහිමි විය. 

කාන්තා පාපන්දු කණ්ඩායමෙන් අසාර්ථක ආරම්භයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග පසුගිය දා ආරම්භ විය. එම තරගාවලියේ ශ්‍රී ලංකා…

කණ්ඩායම් දෙක තුළ දෝලනය වූ පන්දුව තමන් සතුකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 66 වැනි මිනිත්තුවේ දී නැවත වරක් ගෝලයක් රැස්කිරීමට උත්සාහ දැරුව ද එය ද ව්‍යර්ථ විය. 

අනාරක්ෂිත ලෙස ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් තරගයේ 78 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් හට කහ කාඩ්පතක් පිරිනැමීමට ප්‍රධාන විනිසුරුවරයා තීරණය කළේය. 

තරගයේ 84 වැනි මිනිත්තුවේ දී නේපාල කණ්ඩායමට හිමි වූ පැති පහර නිවැරදිව ස්ථාන ගතවූ නමුත් එය ගෝලයකට පරිවර්තනය කරගැනීමට ඔවුන් අසමත් විය. 

තරගය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ චමෝද් දිල්ෂාන් හට තරගයේ 88 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් හිමි විය. 

තරගයේ නියමිත කාලය (මිනිත්තු 90) අවසන් වූ පසු ප්‍රධාන විනිසුරුවරයා අමතර මිනිත්තු 4ක් එක්කළ අතර 90+1 මිනිත්තුවේ දී හිමි වූ නිදහස් පහරක් සාර්ථකව ගෝලය තුළට එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩ් සුමන් සමත් විය. (ශ්‍රී ලංකාව 1 – 1 නේපාලය) 

SAG2019 – විදූෂාට ආඩම්බරයක් වෙමින් සාරංගී රන් පදක්කමට

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණය උණුසුම් කරමින්, 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා…

ඉන්පසු කණ්ඩායම් දෙකටම එකඳු ගෝලයක් හෝ රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. 

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 01 – 01 නේපාලය 

ගෝල රැස්කළ ක්‍රීඩකයින් 

  • ශ්‍රී ලංකාව – ජූඩ් සුමන් (90+1) 
  • නේපාලය – සුජාල් ශ්‍රෙස්තා (37) 

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ සහ තවත් බොහෝ දෑ දැන ගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සමඟින්ම. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<