මදුරංග සොයිසා ශතකයකින් දිනය වර්ණවත් කරයි

436

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරගයක් පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ලංකන් ක්‍රිකට් සමාජ හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර අද (26) ආරම්භ වූ අතර එහි කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පසුගිය ලිපි: තියුණු තරගයක ජය පොලිසියට

පළමු දිනය අවසන් වන විට ලංකන් ක්‍රිකට් සමාජය තම පළමු ඉණිමට කඩුලු 7ක් දැවී ලකුණු 364ක් ලබාගෙන ප්‍රබල තැනකට ගෙන ඒමට මදුරංග සොයිසා ඇතුළු ලංකන් ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් සමත් විය. මදුරංග සොයිසා විශිෂ්ට පිතිහරඹයක් දියත් කරමින් 4 පහර 16ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 127ක් ලබා ගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ තම අනසක පැතිරවූ ලක්ෂාන් රොද්‍රිගෝ 4 පහර 9ක් සමඟින් ලකුණු 68ක් ලකුණු පුවරුවට එකතු කරන ලදි. දිනයේ තවත් තීරණාත්මක පිතිකරුවකු ලෙස සැලකිය හැකි මදුසංක ප්‍රනාන්දු දිනය අවසානයේ නොදැවී ලකුණු 74ක් ලබාගෙන සිටින අතර, එම දැකුම්කළු ඉණිම 4 පහර 8කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය.

තවද ලංකන් ක්‍රිකට් සමාජයේ ලකුණු පුවරුව සවිබල ගැන්වූ හොඳම සබඳතාවය ලෙස මදුරංග සොයිසා (127) හා මදුසංක ප්‍රනාන්දු (74*) 6 වන කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 107ක සබඳතාවය දැක්විය හැකි අතර එය අඩිතාලමක් කොටගෙන තම ලකුණු පුවරුව ලකුණු 364ක් දක්වා ගෙනඑ්මට එම සමාජයට හැකිවිය.

තරිදු සිල්වා කළුතර සමාජය වෙනුවෙන් ලකුණු 89කට කඩුලු 3ක් දවාගනිද්දී, රමේශ් සෙල්වරාජ් ලකුණු 61කට කඩුලු 2ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 7ක් දැවී ලකුණු 364 (පන්දුවාර 90): මදුරංග සොයිසා 127, මදුසංක ප්‍රනාන්දු නොදැවී 74, ලක්ෂාන් රොද්‍රිගෝ 68, තරිදු සිල්වා 3/89, රමේශ් සෙල්වරාජ් 2/61

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට