තුන්දින තරගය 20-20 තරගයක් වෙයි; ජය පානදුරට

486
SLC Premier League 2016/17 Tier B January 25th roundup

තියුණු තරගයකින් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද සමත් විය. ඒ කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. තරගය පසුගිය 23 වැනිදා ආරම්භ විය.

පානදුරේ ලසිත් ප්‍රනාන්දු නොදැවී 100*

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය ඊයේ (23) ආරම්භ වූයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරගයක් ලෙසිනි.

කඩුලු 2ක් දැවී ලකුණු 180ක් ලෙස පානදුර ක්‍රීඩා සමාජයේ පළමු ඉණිම දිස්වෙද්දී අද (25) දිනය සඳහා තරගය ආරම්භ විය.

පානදුර ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට ලකුණු 111ක් ලබා ගැනීමට ලසිත් ප්‍රනාන්දු සමත් වූ අතර, එම ඉණිමට 4 පහර 16ක් අන්තර්ගත විය. ඔහු සමඟින් ඉණිම ගොඩනැංවූ හසන්ත ප්‍රනාන්දු ලබා ගත් ලකුණු 92ට 4 පහර 13ක් හා ප්‍රේක්ෂකාගාරයට පතිත වූ 6 පහර 2ක් ඇතුළත් වේ. පන්දු යැවීමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවාලීමට රුචිර සිල්වා සමත් විය.

ලකුණු 33ක වාසියක් ලබාගෙන තම පළමු ඉණිම නිමා කල පානදුර ක්‍රීඩා සමාජයට එදිරිව තම දෙවන ඉණිම දියත් කල කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජයට ලබා ගැනීමට හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු 197ක් පමණි. එහිදි රසික ප්‍රනාන්දු 4 පහර 14ක් හා මනරම් 6 පහර 3ක් එල්ල කරමින් ලකුණු 98කට අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.

රසික තම සමාජයේ දෙවන ඉණිමට ලකුණු 98ක් තනිවම රැස්කලද, අන් සියලුම ක්‍රීඩකයින්ට  ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 97ක් පමණි. එහිදී ද ගයාන් සිරිසෝම ලකුණු 88කට කඩුලු 6ක් දවාලමින් පළමු පෙල කඩුලු 500 සමාජයට ඇතුලත් වීමට වරම් ලබා ගන්නා ලදි.

දිනය අවසන් වීමට තවත් පන්දුවාර 17ක් පමණ ඉතිරිව තිබියදී, ලකුණු 165ක් තම ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජයට අවශ්‍ය විය. එම ලකුණු ප්‍රමාණය හඹා යාමේ දී පෙරමුණ ගත් මාධව නිමේෂ් තුන්දින තරගය මිනිත්තු කිහිපයක් තුල 20-20 තරගයක් බවට පරිවර්තනය කරමින් පන්දු 25කදී 4 පහර 8ක් හා 6 පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 61ක් ලබාගෙන තම සමාජයේ ජය තහවුරු කරන ලදී.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 390 (පන්දුවාර 103): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 7/131, නිමේෂ් කාරියවසම් 2/74

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 423 (පන්දුවාර 68.3): ලසිත් ප්‍රනාන්දු 111, හසන්ත ප්‍රනාන්දු 92, මාධව නිමේෂ් 55, බුද්ධික ප්‍රනාන්දු 45, රැචිර සිල්වා 5/102

කළුතර ‍භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී 197 (පන්දුවාර 22.5): රසික ප්‍රනාන්දු 98, මනෝජ් දේශප්‍රිය 22, ගයාන් සිරිසෝම 6/88, ලසිත් ප්‍රනාන්දු 2/51

පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 7ක් ලකුණු 167 (පන්දුවාර 13.4): මාධව නිමේෂ් 61, නිසල් රන්දික 41, අරුණ ධර්මසේන 38, රැචිර සිල්වා 3/80

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට