කෝල්ට්ස් ඉනිමට ශක්තියක් වෙමින් සදීර සමරවික්‍රම සුපිරි පිතිකරණයක

1184

දේශීය ක්‍රිකට් පිටියට වසන්තය රැගෙන එන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් නව තරග 6ක් අද (28) ආරම්භ විය. නමුත් අද පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම කිසිදු තරගයක පන්දුවාර 90ම ක්‍රීඩා කිරීමට හැකි නොවීය. දිනයේ සාර්ථකම පිතිකරුවන් දෙදෙනා බවට පත්වූ සදීර සමරවික්‍රම සහ සඳුන් වීරක්කොඩි ශතක වාර්තා කරමින් තම ක්‍රීඩා සමාජ වල ලකුණු තත්වය ඉහළ නැංවූහ.

පසුගිය ලිපි: ලංකන් ක්‍රිකට් සමාජයට ඉණිමක ජයක්

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

අද උදෑසන මුවර්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් සැරසන්ස් නායක‍යා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 179ක් රැස් කරගෙන සිටියි. සැරසන්ස් පිළ වෙනුවෙන් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉරෝෂ් සමරසූරිය හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 85ක් රැස් කළේය. මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රමෝද් මදුවන්ත ලකුණු 44කට කඩුලු 2ක් බිඳ හෙලීය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 179 (පන්දුවාර 48): ඉරෝෂ් සමරසූරිය 85, මිලින්ද සිරිවර්ධන 50, සංගීත් කුරේ 22, ප්‍රමෝද් මදුවන්ත 2/44.


ගාලු ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

කොළඹ NCC පිටියේදී අද ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගාලු ක්‍රිකට් සමාජයේ නායක සජීව වීරකෝන් සමත් විය. ඔහුගේ ඇරයුමට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි NCC පිතිකරුවෝ දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 237ක් රැස් කළහ. NCC ඉනිමේ බර කරට ගත් වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 110ක් රැස් කළේය. ඔහුගේ වේගවත් ඉනිමට වැය වූයේ පන්දු 104ක් පමණි. දකුණත් පිතිකරු ඇන්ජෙලෝ පෙරේරා මේ වන විට නොදැවී ලකුණු 63ක් ලබාගෙන සිටියි. ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වුනු ශාලික කරුණානායක සහ රොෂාන් ජයතිස්ස කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

NCC – කඩුලු 7ක් දැවී ලකුණු 237 (පන්දුවාර 54.2): සඳුන් වීරක්කොඩි 110, ඇන්ජෙලෝ පෙරේරා 63*, ශාලික කරුණානායක 3/53, රොෂාන් ජයතිස්ස 3/96.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

අද කොළඹදී ආරම්භ වුනු තවත් තරගයක් වන මෙහි කාසියේ වාසිය හිමිවූයේ BRC කණ්ඩායමටයි. ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට හිමිකර දුන්නේය. ඒ අනුව ඉනිම ඇරඹූ කෝල්ට්ස් පිතිකරුවන් දිනය නිමාවෙද්දී සාර්ථක පිතිකරණයක යෙදෙමින් කඩුලු 2කට ලකුණු 228ක් රැස් කළේය. කෝල්ට්ස් ඉනිම මනරම් ශතකයකින් සැරසූ කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 119ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට දැකුම්කළු හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ඔහු තවමත් 21වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩකයෙකු වීමද විශේෂත්වයකි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 228 (පන්දුවාර 63): සදීර සමරවික්‍රම 119*, හෂාන් දුමිඳු 72, කාංචන ගුණවර්ධන 24.


සිංහල ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

සිංහල ක්‍රීඩා සමාජය සත්කාරකත්වය දරන මෙම තරගයේ කාසියේ වාසිය ද හිමිවූයේ සිංහල ක්‍රීඩා සමාජයටයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඔවුන් ප්‍රථම දිනය නිමාවෙද්දී කඩුලු 3ක් වැය කරමින් ලකුණු 200ක් රැස් කිරීමට සමත් විය. SSC ඉනිමට මනා සවියක්ව සිටින ශම්මු අශාන් මේ වන විට නොදැවී ලකුණු 80ක් ලබාගෙන සිටියි. එසේම චරිත් අසලංක අද SSC පිළ වෙනුවෙන් වාර්තා වූ අනෙක් අර්ධ ශතකයට හිමිකම් කීවේය. පන්දු යැවීමේදී අලංකාර අසංක බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 2ක් බිඳ හෙලීය.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 200 (පන්දුවාර 53): චරිත් අසලංක 66, ශම්මු අශාන් 80*, මිනෝද් භානුක 21, අලංකාර අසංක 2/70.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදී අද ආරම්භ වුනු තවත් තරගයක් වන මෙහි කාසියේ වාසිය හිමිවූයේ ප්‍රබල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයටයි. ඒ අනුව ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමට තීරණය කල ඔවුන් අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 188ක් ලබා සිටියි. ටැමිල් යූනියන් ප්‍රථම ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ මනෝජ් සරත්චන්ද්‍ර හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 57ක් රැස් කළේය. සිතාර ගිම්හාන් ලකුණු 46යි. මේ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින තරංග පරණවිතාන ලකුණු 41ක් සහ කිත්රුවන් විතානගේ ලකුණු 17ක් ලබාගෙන සිටිති.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 188 (පන්දුවාර 49.3): මනෝජ් සරත්චන්ද්‍ර 57, සිතාර ගිම්හාන් 46, තරංග පරණවිතාන 41*, ජීවන් මෙන්ඩිස් 24.


රාගම ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

අද කළුතරදී ආ‍රම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ ක්‍රීඩා සමාජයේ නායක අශාන් ප්‍රියන්ජන් දිනා ගත්තේය. ඒ අනුව මුලින් පන්දු යැවීම තෝරාගත් ඔවුන් ප්‍රථම දිනය නිමාවන විට ලකුණු 124කට රාගම කඩුලු 2ක් බිඳ හෙලූහ. රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් ප්‍රථම දිනයේ අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර ඒවායේ හිමිකරුවන් බවට පත්වන්නට ලහිරු මිලන්ත (64) සහ උදාර ජයසුන්දර (50) සමත් වූහ. බිඳ වැටුනු කඩුලු දෙකම කොළඹ ක්‍රීඩා සමාජයේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේට හිමිවිය.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 124 (පන්දුවාර 37.5)} ලහිරු මිලන්ත 64, උදාර ජයසුන්දර 50, ලහිරු ගමගේ 2/44

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට