SLC Premier League -Tier A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වෙන තවත් තරග හයක් අද (29) වර්ෂාවේ බාධා කිරීම් හමුවේ දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය. ගෙවී ගිය දිනයන් දෙකේදී දක්වන ලද දක්ෂතාවයන්ට අනුව NCC, SSC, සැරසන්ස් සහ ටැමිල් යූනියන් යන ක්‍රීඩා සමාජ හතරට මෙම තරගවල වැඩි වාසි හිමිව තිබේ.

පසුගිය ලිපි: කෝල්ට්ස් ඉනිමට ශක්තියක් වෙමින් සදීර සමරවික්‍රම සුපිරි පිතිකරණයක

සිංහල ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

සිංහල ක්‍රීඩා සමාජය රැස් කළ ලකුණු 347ක ඉලක්කය සපුරා ගැනීම සඳහා උත්සාහ දැරූ බදුරලිය පිතිකරුවන්ගේ ප්‍රථම ඉනිම අද ලකුණු 143කට සීමා විය. ඒ හේතුවෙන් ඔවුන්ට සිදුවූයේ තම දෙවැනි ඉනිමද SSC ප්‍රථම ඉනිම හඹායාම වෙනුවෙන් භාවිතා කිරීමටයි. අද අපර භාගයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 4කට මුහුණදුන් ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 32ක් රැස් කරන්නට සමත් විය.

SSC ප්‍රථම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ සුපිරි තරු දෙකක් වන ශම්මු අශාන් සහ චරිත් අසලංක වැඩිම ලකුණු රැස් කිරීමට සමත් විය. අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ තවමත් 18 වැනි වියේ පසුවන ශම්මු අශාන් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 95ක් රැස් කළේය. වර්තමාන වනවිට පිතිකරණයෙන් යම් දියුණුවක් පෙන්නුම් කරන සචිත්‍ර සේනානායක අද ලකුණු 62ක් රැස් කළේය. බදුරලිය ඉනිම බිඳ දැමීමේදී ප්‍රමුඛත්වය ගත් ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 126ට කඩුලු 6ක් දවාලීය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 92.5) ශම්මු අශාන් 95, චරිත් අසලංක 66, සචිත්‍ර සේනානායක 62, කවිඳු කුලසේකර 52, අසංක සිල්වා 6/126

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 38.5) ශිරාන් රත්නායක 51, ජෙෆ්රි වැන්ඩර්සේ 6/44

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 32 (පන්දුවාර 4)


ගාලු ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

මෙම තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට වැඩි වාසිය NCC කණ්ඩායම සතු වී තිබේ. හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 139ක් රැස් කළ ඇන්ජෙලෝ පෙරේරාගේ සුපිරි ඉනිම ඒ සඳහා වැඩි වශයෙන් ආධාර විය. මීට අමතරව සඳුන් වීරක්කොඩි ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ වාර්තා කළ ශතකය නිසා NCC පසුපෙළ පිතිකරුවන්ට නිදහසේ පිත්ත හැසිරවීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය විය. පන්දු යැවීමේදී ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් ශාලික සහ රොෂාන් කඩුලු 4 බැගින් බිඳ හෙලීය.

NCC කණ්ඩායම නිර්මාණය කළ දැවැන්ත ලකුණු පුවරුවේ පීඩනයත් සමගින් පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගාලු පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන අසීරු තත්වයකට පත්ව සිටියි. ඔවුන් මේ වනවිට සිටින්නේ NCC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 208ක් පසුපසිනි.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 83.5) ඇන්ජෙලෝ පෙරේරා 139*, සඳුන් වීරක්කොඩි 110, තරිඳු කෞෂාල් 43, ශාලික කරුණානායක 4/74, රොෂාන් ජයතිස්ස 4/117.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 162 (පන්දුවාර 58) දමිත හුණුකුඹුර 66, යශෝද ලංකා 43, චතුරංග ද සිල්වා 4/66.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

ප්‍රබල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 314ක දැවැන්ත ඉලක්කය හඹාගිය බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිම අද ලකුණු 115කට සීමා විය. ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් සියලු දෙනාම පාහේ ලකුණු අතරට පිවිසි අතර තරංග පරණවිතාන සහ මනෝජ් සරත්චන්ද්‍ර අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. අසාර්ථක බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිම වෙනුවෙන් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් රැස් නොකල අතර රමිත් රඹුල්වැල්ල කඩුලු 4ක් දවාලමින් ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම් කොටස ඉෂ්ට කළේය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 314 (පන්දුවාර 87.3) තරංග පරණවිතාන 60, මනෝජ් සරත්චන්ද්‍ර 57, දිනුක් වික්‍රමනායක 49*, කිත්රුවන් විතානගේ 49, සිතාර ගිම්හාන් 46, ශශ්‍රීක පුස්සෙගොල්ල 5/102, මලිත් ද සිල්වා 4/66.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 37.2) නිසල් ෆ්‍රැන්සිස්කෝ 45, රමිත් රඹුල්වැල්ල 4/36, ජීවන් මෙන්ඩිස් 2/09, චරිත් ජයම්පති 2/12.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ලකුණු 292ක සැරසන්ස් ප්‍රථම ඉනිම හඹායන මුවර්ස් පිතිකරුවන් දෙවැනි දිනය අවසන් වනවිට ලකුණු 175කට කඩුලු 8ක් බිඳ වැටී අසීරු තත්වයක පසුවෙයි. මේ වනවිට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලෙස පෙනීයන සැරසන්ස් ප්‍රථම ඉනිමට වැඩි දායකත්වයක් දැක්වූයේ ලකුණු 85ක් රැස් කළ ඉරෝෂ් සමරසූරියයි. මීට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු මැදපෙළ පිතිකරු මිලින්ද සිරිවර්ධන ද අර්ධ ශතකයක් රැස් කළේය. බිඳ වැටුනු මුවර්ස් ඉනිම වෙනුවෙන් පබසර වඩුගේ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 292 (පන්දුවාර 80) ඉරෝෂ් සමරසූරිය 85, මිලින්ද සිරිවර්ධන 50, හර්ෂ කුරේ 35, සචිත්‍ර පෙරේරා 3/59, ප්‍රමෝද් මධුවන්ත 3/88.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 175 (පන්දුවාර 54) පබසර වඩුගේ 52, ප්‍රිමෝශ් පෙරේරා 36, චතුර රන්දුනු 3/37, මිලින්ද සිරිවර්ධවාර්තා 11, සුරාජ් රන්දිව් 2/51.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම ඊයේ දිනයේදී වාර්තා කළ ශතකයෙන් සවිමත් වුනු කෝල්ට්ස් ප්‍රථම ඉනිම අද ලකුණු 360ක් දක්වා වර්ධනය විය. මීට අමතරව තවත් තරුණ ක්‍රීඩකයෙකු වන හෂාන් දුමිඳු කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 72ක් රැස්කල අතර BRC පිළ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ 40 වියැති දඟ පන්දු යවන ක්‍රීඩක දිනුක හෙට්ටිආරච්චි කඩුලු 6ක් බිඳ හෙලීය.

කෝල්ට්ස් ඉනිම හඹායමින් සිටින BRC පිතිකරුවන් දෙවැනි දිනය නිමා වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා සිටියි. එබැවින් ඔවුන් ප්‍රතිවාදී කෝල්ට්ස් ඉනිම පසුකර යාමට නම් තවත් ලකුණු 220ක් ලබාගත යුතුවේ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 360 (පන්දුවාර 116.3) සදීර සමරවික්‍රම 119, හෂාන් දුමිඳු 72, දිනුක හෙට්ටිආරච්චි 6/115, ටී. එම්. සම්පත් 3/89.

BRC – කඩුලු 5ක් දැවී ලකුණු 141 (පන්දුවාර 38.4) ලසිත් ලක්ෂාන් 48, භානුක රාජපක්ෂ 39, ප්‍රභාත් ජයසූරිය 2/35, අකිල ධනංජය 2/47.


රාගම ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

මෙම තරගයේ දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දිනයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 36ක් පමණි. මේ වනවිට කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජයේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන රාගම ක්‍රිකට් සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබා සිටියි. රාගම කණ්ඩායම වෙනුවෙන් ලහිරු මිලන්ත සහ උදාර ජයසුන්දර ඊයේ අර්ධ ශතක දෙකක් වාර්තා කළ අතර ලහිරු තිරිමාන්න සහ රොෂේන් සිල්වා මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ඉනිම තවදුරටත් ගොඩ නැංවීමේ නිරත වෙයි.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 209 (පන්දුවාර 74) ලහිරු මිලන්ත 64, උදාර ජයසුන්දර 50, ලහිරු තිරිමාන්න 38*, රොෂේන් සිල්වා 30*, ලහිරු ගමගේ 2/48.

මෙම සියලුම තරග හෙට තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට