ශ්‍රී ලංකාවට A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය

492

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව හෙට (24) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ශ්‍රී ලංකාව, හොං කොං කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

දෙවන අදියරේදීත් ශ්‍රී ලංකාව ගිරි දුර්ගයක් හමුවට

ආසියානු සත් සාමාජික රග්බි කිරුළ හිමි කර ගැනීමේ ශ්‍රී ලංකා සිහිනය පළමු අදියරේ දී සිදුවූවාක් මෙන්ම තවත් උස් ගිරි ශිඛර පාමුලකට පැමිණ තිබේ. ඒ අනුව තරගාවලියේ දෙවන…

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ දී සහභාගී වූ 3 වන සහ අවසාන තරගය චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති අතර ඊට පෙර පැවති චීනය සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා A කාණ්ඩයේ පළමු ස්ථාන 2 අතරට පැමිණීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගය ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සිදු විය.

මෙම තරගයට ද ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ දෙවන මිනිත්තුවේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට ධනුෂ්ක රංජන් සමත් විය. ඊට වහාම පිළිතුරු ලබා දුන් චීන තායිපේ කණ්ඩායමේ හුවෑන්ග් පොං සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි.

තරගය ඉදිරියට යද්දී තරගයට හොඳින් අවතීර්ණ වන්නට චීන තායිපේ ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට විය. කෙසේ නමුත් නැවතත් තරගයේ වාසිය තමන් දෙසට යොමුකර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූයේ උත්සාහක දිනුමක් සමඟින් එහි  දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනිමිනි. එම උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් වූයේ ජේසන් දිසානායක ය. නමුත් පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ දී තරගයේ ලකුණු තත්වය නැවතත් සම කරමින් චීන තායිපේ කණ්ඩායමේ චෙන්ග් චියා උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 12 – 12 චීන තායිපේ

තරගයේ දෙවැනි අර්ධයට ද ඉතා සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට සමත් විය. මෙවර එම උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ රත්වත්තේ විසිනි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තරගයේ ඉදිරියට පැමිණි සෑම අවස්ථාවක දීම ඊට පිළිතුරු ලබා දෙමින් තරගයේ ලකුණු තත්වය නැවතත් සම කරන්නට චීන තායිපේ ක්‍රීඩකයින් සමත් විය. මෙවර ද ඒ අයුරින් හුවෑන්ග් ටේ ලුන්ග් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී ශ්‍රීනාත් සූරියබණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. එහි දී පන්දුව ලබාගත් ඔහු චීන තායිපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනාම පසුකරමින් සාර්ථකව පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය තමන් සතු බව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිතුවත් චීන තායිපේ කණ්ඩායමේ සින් කෙයි විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ නැවතත් තරගයේ ලකුණු තත්වය සම කිරීමට ආසන්නයට රැගෙන එමිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් අපොහොසත් වීම නිසා තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු විය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 26 – 24 චීන තායිපේ


චීනය සමඟ තරගය ජය පරාජයකින් තොරව අවසන් වෙයි

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය චීනය සමඟ පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කරන්නට ඉතා ආසන්නයට ගියත් නියමිත කාලය අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සමස්ත කාලය අවසානයේ ලකුණු සටහන: චීනය 26 – 26 ශ්‍රී ලංකාව

සියලු දෙනා බලාපොරොත්තු වූ පරිදි මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන මිනිත්තුවේ දී ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එය ධනුෂ්ක රංජන් විසින් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ නැත.

ඊට පිළිතුරු වශයෙන් චීන කණ්ඩායමේ මා චොන් සිය කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී උත්සාහක දිනුම වාර්තා කර ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කර ගනු ලැබුවේ චීන කණ්ඩායමේ ගාවෝ විසිනි.

තවත් මිනිත්තුවක කාලයක් ගතවද්දී චීන කණ්ඩායම වෙනුවෙන් චෙන් යොන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ තම කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන යමිනි. එම අවස්ථාවේ දී ද පන්දුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පසුකරමින් දිවයමින් උත්සාහක දිනුම වාර්තා කර ගන්නට අවස්ථාව සකසනු ලැබුවේ ගාවෝ විසිනි. තරගයේ පළමු අර්ධය නිමාවන්නට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී උත්සාහක දිනුමක් වාර්තා කර ගත් ජේසන් දිසානායක තරගයේ ලකුණු තත්වය නැවතත් සම කරන්නට සමත් විය.

පළමු අර්ධය: චීනය 12 – 12 ශ්‍රී ලංකාව

තරගයේ දෙවන අර්ධය ද පළමු අර්ධය මෙන් ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. දෙවන අර්ධය ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජේසන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව රත්වත්තේ විසින් සාර්ථක කර ගන්නා ලදි. එහි දී ජේසන් තරගාවලියේ වාර්තා කර ගත් 3 වන උත්සාහක දිනුමයි. ඊට නැවතත් පිළිතුරු ලබා දුන් චීන කණ්ඩායම ද උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට සමත් විය. එහි දී එම උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ ෂැන් චෑන් විසිනි.

තරගයේ මිනිත්තු 3කටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. එහි දී සූරියබණ්ඩාර පන්දුව රැගෙන ගොස් ධනුෂ්ක රංජන් හට බාර කළ අතර ඔහු සාර්ථකව පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ධනුෂ්කගේ වේගය සහ ශක්තිය හමුවේ චීන කණ්ඩායමට ඔහුව වළකාලන්නට හැකි වූයේ නැත. ඒ අනුව ලකුණු 7ක වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුවත් චීන කණ්ඩායම තරගය අතහැර දැමුවේ නැත. තරගය අවසානයට පෙර හූ සෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගත්තේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.

සම්පූර්ණ කාලය: චීනය 26 – 26 ශ්‍රී ලංකාව


ප්‍රබල ජපානය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ අද (23) ආරම්භ වූ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය, තරගාවලියේ පළමු අදියරේ ප්‍රථම ස්ථානය දිනාගත් ජපාන කණ්ඩායම සමඟ පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයකට මුහුණ දීමට සිදු විය.

සමස්ත කාලය අවසානයේ ලකුණු සටහන: ශ්‍රී ලංකාව 05 – ජපානය 47

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට අසමත් වූ අතර ඒ අනුව තරගය පුරාවට පන්දුව තමන්ගේ භාරයේ තබා ගැනීමට ඔවුන් අපොහොසත් විය. අනෙක් පසින් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ජපාන කණ්ඩායම ඉතා පහසුවෙන් උත්සාහක දිනුම් රැස්කර ගන්නට විය.

SL vs Japanආබාධයක් නිසා තරගාවලියේ පළමු අදියරට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ධනුෂ්ක රංජන් මෙම තරගයට ක්‍රීඩා කළ අතර එහි දී තරගය ආරම්භයේ දී ම ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කරමින් ඔහු උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. නමුත් අවාසනාවන්ත ලෙස තරගය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කර ගැනීමට සමත් වූයේ එම උත්සාහක දිනුම පමණි.

තරගයේ නියමිත මිනිත්තු 14ක කාලය තුළ ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ජපාන කණ්ඩායම උත්සාහක දිනුම් 7ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර ඉන් අවස්ථා 6ක දී ඔවුන්ට ලැබුණු ප්‍රවර්තන අවස්ථා ද සාර්ථක කර ගන්නට සමත් විය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හැර දැමූ ස්වභාවයක් දිස්වූ අතර ඒ හරහා ජපාන කණ්ඩායමට පහසුවෙන් ලකුණු රැස්කර ගැනීමට අවස්ථාව සැලසුණි. ඒ අනුව තරගය අවසානය වන විට ජපාන කණ්ඩායම ලකුණු 47ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අද පෙ.ව. 10.32ට චීන කණ්ඩායම සමඟ පැවැත්වේ.

ලකුණු සටහන: ශ්‍රී ලංකාව 05 (1T) – ජපානය 47 (7T 6C)

උත්සාහක දිනුම්

  • ශ්‍රී ලංකාව – ධනුෂ්ක රංජන් – 1T
  • ජපානය – කොසූකේ හශීනෝ – 2T 6C, ඩලාස් ටටානා – 1T, මසහීරෝ නකානෝ – 2T, නඕකි මොටොමූරා – 1T, සියෝසිෆා ලිසාලා – 1T

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට