පීතරයින් සහ ජෝසප්වරුන් මීළඟ වටයට සුදුසුකම් ලබති!

194

සිංගර් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් අද (05) ක්‍රියාත්මක වූ අතර ඉන් ජය ලැබූ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය ඉන් ජයග්‍රහණ අත්පත් කර ගනිමින් මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබූහ. මේ හැරුණු කොට පළමු කාණ්ඩය නියෝජනය කරමින් අද පැවති දෙදින ටෙස්ට් තරගය අද නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි.

මහීෂ්ගේ පන්දු හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ සීමිත පන්දුවාර…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය

කොළඹ දී ක්‍රියාත්මක වුනු මෙම සීමිත පන්දුවාර තරගයේ ජයග්‍රාහකයින් බවට පත්වූයේ කොළඹ සාන්ත පීතර විද්‍යාලයයි. කාසියේ වාසිය ජය ගත් ධර්මපාල විද්‍යාලය මුලින් පන්දුවට පහර දුන් අතර සිතූ තරම් හොඳින් පිතිකරණයේ දක්ෂතා දැක්වීමට ඔවුන්ට හැකි වූයේ නැත. පන්දුවාර 48කට සීමා වූ මෙම තරගයේ මුල් ඉනිම අවසානයේ ඔවුන්ට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 202ක් පමණි. ඉනිමේ සාර්ථක වූ පිතිකරුවන් දෙදෙනා වන අවිශ්ක හසරින්ද අර්ධ ශතකයක් වාර්තා කර ගනිද්දී චමිඳු සමරසිංහ සිය අර්ධ ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටිය දී දැවී ගියේය.

මෙම පහසු ඉලක්කය හඹා ගිය සාන්ත පීතර විද්‍යාලය පන්දුවාර 43ක් සම්පූර්ණ වීමට මත්තෙන් ජය කණුව පසු කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ කඩුලු 3ක් පමණි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනිත් සංජුල ලකුණු 92ක් රැස් කළ ද ඔහු අද දිනයේ ශතක ලාභියෙකු වන්නට තරම් වාසනාවන්ත වූයේ නැත. සන්තුෂ් ගුණතිලක ලකුණු 65යි. මෙම සුපිරි ආරම්භයෙන් අනතුරුව නිපුනක ෆොන්සේකා සහ රන්මිත් ජයසේන නොදැවී සිටිමින් තම කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මේ ලැබූ කඩුලු 7ක ජයත් සමඟින් කොළඹ සාන්ත පීතර විද්‍යාලය මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබූහ.

ධර්මපාල විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 202 (පන්දුවාර 48)

අවිශ්ක හසරින්ද 56, චමිඳු සමරසිංහ 48, තාරික් සබූර් 2/25, කණිෂ්ක මධුවන්ත 2/34, වනුජ සහන් 2/43.

සාන්ත පීතර විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 203 (පන්දුවාර 42.5)

දිනිත් සංජුල 92, සන්තුෂ් ගුණතිලක 65, නිපුනක ෆොන්සේකා 22*, රන්මිත් ජයසේන 20*.

ආබාධයක් නිසා ඩි විලියර්ස්ට PSL මඟ හැරේ

හිටපු සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒබි ඩි විලියර්ස්ට මෙවර පාකිස්තාන සුපර් ලීග් විස්සයි…

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

කඩුලු 5ක පහසු ජයක් සමඟින් මෙම තරගය ජයගෙන මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ තරගය වෙනුවෙන් සත්කාරකත්වය ද දැරූ සාන්ත ජෝසප් විද්‍යාලයයි. කාසියේ වාසිය පවා අද ඔවුන්ට වාසනාව ගෙන ආ අතර ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ජෝසප් වාස් විද්‍යාලයට ලබා දුන්නේය. එම අභියෝගයට හොඳින් මුහුණ දිය නොහැකි වූ ජෝසප් වාස් ඉනිම ලකුණු 180කට නිමා වූයේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දීයි. මෙම ඉනිමේ එකම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ නිපුන් ධනංජය ලකුණු 74ක් රැස්කර ගත්තේය.

පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයට වටිනාකමක් එක්කළ සාන්ත ජෝසප් පිතිකරුවෝ පන්දුවාර 37ක් තුල දී විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වූහ. ඒ වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ දිලේශ් පෙරේරා ලකුණු 64 බැගින් රැස් කළහ. ජයග්‍රහණය ලබන විට සාන්ත ජෝසප් විද්‍යාලයේ බිඳ වැටී තිබුණේ කඩුලු 5ක් පමණි. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 5කින් ජයග්‍රහණය තහවුරු කරගෙන මීළඟ වටය සඳහා ඉඩකඩ විවර කර ගත්හ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 49.1)

නිපුන් ධනංජය 74, යොහාන් මධුවන්ත 27*, ලක්ෂාන් ගමගේ 2/21, අශේන් ඩැනියෙල් 2/31, අශාන් ද අල්විස් 2/41.

සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 182 (පන්දුවාර 37.1)

දුනිත් වෙල්ලාලගේ 64*, දිලේශ් පෙරේරා 64.

140 වැනි රාජකීය – සාන්ත තෝමස් ගැටුමට පෙර

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය…

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු මෙම තරගය අද නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි. කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයේ ඇරයුමට අනුව ධර්මාශෝක පිතිකරුවන් මුලින් පන්දුවට පහර දුන් අතර ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 219ක් පමණි. ඒ වෙනුවෙන් දිනුක දිල්ශාන් අර්ධ ශතකයක් වාර්තා කර ගනිද්දී කවිඳු නදීශාන් ලකුණු 42කින් ආධාර විය. මහින්ද විද්‍යාලය වෙනුවෙන් සුභානු රාජපක්ෂ කඩුලු 4ක් බිඳ හෙලද්දී අශේන් කණ්ඩම්බි කඩුලු 3ක් දවා ගත්තේය.

මෙම ලකුණු පුවරුව හඹාගිය මහින්ද විද්‍යාලයේ පිතිකරුවෝ තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 230ක් ලබාගෙන මුල් ඉනිමේ ඉදිරියක් ලබා ගැනීමට සමත් වූහ. ඒ වෙනුවෙන් නිපුන් මාලිංගගේ පිත්තෙන් ගලා ආ ලකුණු සංඛ්‍යාව 80කි. කෞෂිත කොඩිතුවක්කු ලකුණු 51යි. පන්දු යැවීමේ දී අරෝෂණ ද සොයිසා සහ දිනුක දිල්ශාන් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. අද සන්ධ්‍යා කාලයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මාශෝක ක්‍රීඩකයින් කඩුලු දෙකක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 133කි. ඒ වෙනුවෙන් කවිඳු නදීශාන් නොදැවී අර්ධ ශතකයක් රැස් කරමින් දස්කම් දැක්වීය.

ධර්මාශෝක විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 78.2)

දිනුක දිල්ශාන් 55, කවිඳු නදීශාන් 42, අරෝෂණ ද සොයිසා 26, සුභානු රාජපක්ෂ 4/39, අශේන් කණ්ඩම්බි 3/25.

මහින්ද විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 230 (පන්දුවාර 60.3)

නිපුන් මාලිංග 80, කෞෂිත කොඩිතුවක්කු 51, හංසික වැලිහිඳ 43, බිනුර දුල්සර 22, අරෝෂණ ද සොයිසා 3/46, දිනුක දිල්ශාන් 3/65.

ධර්මාශෝක විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 133 (පන්දුවාර 30)

කවිඳු නදීශාන් 50*, සේන දේශායි 41, සසිඳු මල්ශාන් 25*, සුභානු රාජපක්ෂ 2/41.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<