බම්බලපිටියෙන් ත්‍රිත්වයන්ට දරුණු සංග්‍රහයක්

202

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටය පසුගිය දා ආරම්භ විය. දෙවන වටයේ කුසලාන ශූරතාවයේ තවත් උද්වේගකර තරගයක් අද (08) මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ප්‍රබල සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ලකුණු 32-08ක් ලෙසිනි.

මෙම ජයග්‍රහණයත් සමඟින් වාර්ෂික ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා කුසලානය පිට පිට පස්වැනි වතාවටත් තමන් යටතේ තබා ගැනීමට පීතරයින් සමත් විය.

සාන්තුවරුන්ගේ ගැටුමෙන් මරදානට ජයග්‍රහණය

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ කුසලාන….

තරගය සාන්ත පීතර කණ්ඩායමේ දිල්ශාන් මදුශංක විසින් ආරම්භ කළ අතර තරගයේ මුල් මිනිත්තු කීපය තුලම පීතර ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් ලබා දීමට ත්‍රිත්ව ක්‍රීඩකයන් ක්‍රියා කළේය. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් තේනුක නානායක්කාර පන්දුව ගෝල කනු අතරින් යවමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. (සාන්ත පීතර 03 – 00 ත්‍රිත්ව)

ඉන් මිනිත්තු කීපයකට පසුව තේනුක නානායක්කාර ලබා දුන් අනගි back hand පන්දු පිරිනැමීමක් සාර්ථක උත්සාහක දිනුමක් බවට පත් කිරීමට වේගවත් රවීන් ප්‍රනාන්දු සමත් වූයේ ත්‍රිත්ව ආරක්ෂක ක්‍රීඩකයන් අන්ද මන්ද කරමිනි. ප්‍රවර්තනය ද සාර්ථක කරයි. (සාන්ත පීතර 10 – 00 ත්‍රිත්ව)

ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් කීපයක් ලැබුණු අතර වෙනදා මෙන් සාර්ථක ඉදිරිපෙළ දායකත්වයක් නොලැබීම නිසා එම අවස්ථාවන් උත්සාහක දිනුම් බවට පත් කිරීමට නොහැකි විය. පන්දුව පාලනය කිරීමේ දුර්වලතා නිසා පන්දුව නැවත සාන්ත පීතර කණ්ඩායමට ලැබුණි. ත්‍රිත්ව විද්‍යාලයට දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කිරීමේ අවස්ථාවක් හිමි වූ අතර තමුදිත දොඩම්වත්තගේ පා පහර පන්දුව ගෝල කනු අතරින් යැවීමට අපොහොසත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ප්‍රතිවාදීන්ගේ දුර්වලතා මනාව ප්‍රයෝජනයට ගත් පීතරයින් rolling maul අවස්ථාවක් මගින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය ජනිඳු ප්‍රනාන්දුගේ නම ඉදිරියේ සටහන් විය. (සාන්ත පීතර 15 – 00 ත්‍රිත්ව)

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කීපය ඉතා උද්වේගකර වූ අතර සීමා ඉර ආසන්නයේ පන්දුව තබා ගනිමින් ප්‍රබල උත්සාහයක නිරත වූ සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට නිස්‍රාන් නිලාන් සමත් විය. ඒ සමඟින් සාන්ත පීතර කණ්ඩායම තම ලකුණු තත්වය ලකුණු 20 ක් දක්වා ‍රැගෙන ආහ. (සාන්ත පීතර 20 – 00 ත්‍රිත්ව)

ත්‍රිත්ව ක්‍රීඩකයින් අසරණ කරමින් පළමු අර්ධය එසේ නිමා විය.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 20 (3T,1C,1P) – 00 ත්‍රිත්ව විද්‍යාලය

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා දීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය. තමන් පළමු අර්ධයේ දී ලබා ගත් පන්නරය සමඟින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ඔවුන් සමත් විය. පීතර කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වින්ග් ක්‍රීඩක ඉශාන් ප්‍රනාන්දු විසින් වාර්තා කළ අතර එය සාන්ත පීතර කණ්ඩායමට බෝනස් ලකුණක් එක් කළේය. ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තේනුක නානායක්කාර සමත් විය. (සාන්ත පීතර 27 – 00 ත්‍රිත්ව)

වෙස්ලි නිල් අකුණු සැරය ඉසිපතනය දවා අළු කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත්….

දෙවන අර්ධයේ දී සාන්ත පීතර කණ්ඩායම විසින් දඬුවම් පහර කීපයක්ම ලබා දුන් අතර නායක බිලාල් හිල්මි හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේ ඔහුට අවවාද කිරීමෙන් අනතුරුවය. ඒ සමඟින් මිනිත්තු 10ක් ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි විය.

ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය හිමිකරගත් මෙකාන් යශ්වන්ත ත්‍රිත්ව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. ප්‍රවර්තනය සාර්ථක කර ගත් තමුදිත දොඩම්වත්ත ලකුණු 7ක් දක්වා ලකුණු පුවරුව ඉහල දැම්මේය. (සාන්ත පීතර 27 – 07 ත්‍රිත්ව)

ත්‍රිත්ව විද්‍යාලයට තවත් අවාසනාව කැඳවමින් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක කෝජන කුලතුංගට කහ කාඩ්පතක් හිමි වූ අතර එයින් ප්‍රයෝජනය ගත් පීතර කණ්ඩායම තම පස්වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය. ඒ තේනුක නානායක්කාර විසිනි. එම උත්සාහක දිනුමත් සමඟින් සාන්ත පීතර ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ඉහල ගියේය.

තරගයේ නියමිත කාලය අවසන් වන තුරු දෙපිලම නැවත ලකුණු ලබාගැනීමට සමත් වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර කණ්ඩායම 32 (5T,2C,1P) – 07 (1T,1C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – රවීන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

සාන්ත පීතර විද්‍යාලය: ‍රවීන් ප්‍රනාන්දු (1T), ජනිඳු ප්‍රනාන්දු (1T), නිස්‍රාන් නිලාර් (1T), තේනුක නානායක්කාර (1T, 2C, 1P), ඉශාන් ප්‍රනාන්දු (1T)

ත්‍රිත්ව විද්‍යාලය: මෙකෑන් යශ්වන්ත (1T), තමුදිත දොඩම්වත්ත (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<