ගිලිහුණු ගෞරවය යලි සොයා යන්නට ධර්මරාජ රග්බි හමුදාව සූදානම්

1811

අවාසනාවන්ත තරග වාරයකට පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායමට පසුගිය වසරේ නොසිතූ ලෙස B කාණ්ඩය දක්වා පසු බැසීමට සිදු විය. කෙසේ වෙතත් අමිහිරි මතක අමතක කොට 2013 වසරේ ශූරතාවය දිනූ පාසල් රග්බි පිටියේ ශූරයින්ට නැවතත් A කාණ්ඩයට පිවිසීමට හැකි වෙයි ද?

රග්බි පිටියේ රජවරු නැවතත් ඔටුන්න දිනා ගනී ද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් තිබෙනවා. ඉන් එක් ….

අතීතයෙන් බිඳක්

වසර 50ක අභිමානවත් රග්බි ඉතිහාසයකට හිමිකම් කියන ධර්මරාජ විද්‍යාලයීය රග්බි ක්‍රීඩාව 1970  වසරේ දී කර්නල් අමරනායක විසින් ආරම්භ කරනු ලැබීය. කෙසේ වෙතත් ධර්මරාජ විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සටහන් වන්නේ 2010 වසරෙන් පසුවයි.

මියුරු හේවාවසම්ගේ නායකත්වයෙන් සමස්ත ලංකා සිංගර් දස සාමාජික රග්බි ශූරතාව දිනූ ධර්මරාජ කණ්ඩයම, 2012 දී B කාණ්ඩයේ අපරාජිත ශූරයින් වන්නට ද සමත් විය. 2012 දී සමස්ත ලංකා අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ජය ගත් ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම එම වසරේ දී ම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ද සමත් විය.

B කාණ්ඩයේ පාසල් මෙන්ම A කාණ්ඩයේ පාසල් ද ධර්මරාජ රග්බි බලය ඉදිරියේ එකා පසුපස එකා ඇද වැටුණේ ධර්මරාජය 2013 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි ශූරයින් බවට පත් කරමිනි. රෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් හා සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක රධික හෙට්ටිආරච්චිගේ මග පෙන්වීමෙන් බලගැන්වුණු ධර්මරාජ විද්‍යාලයට වර්තමානයේ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයින් වන බුවනෙක උඩන්ගමුව හා තිළිණ විජේසිංහගේ ද දායකත්වය හිමි වූ අතර ඔවුන් සියල්ල එක්ව ධර්මරාජයේ ඉතිහාසය අලුතින් ලියන්නට සමත් විය.

කෙසේ වෙතත් ඉන් පසුව ධර්මාරාජයට උදා වුනේ එතරම් සුභදායී කාලයක් නොවේ. 2015, 16 යන වසරවල කණ්ඩායම කෙසේ හෝ A කාණ්ඩයේ රැඳී සිටියත් සැලකිය යුතු දස්කම් දක්වන්නට සමත් වුනේ නැහැ. 2016 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමට ඉතා අවාසනාවන්ත වසරක් වූයේ ජයග්‍රහණය පෙනී පෙනී තරග රැසක් ඔවුන්ගෙන් ඈතට ගිය නිසාවෙන්. කෙසේ වෙතත් ඔවුන් ඒ වසරේ දී පලඟ අනුශූරතාවය හා 2015, 2016 යන වසරවල මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟින් පැවැත්වෙන විලියම් වීරසිංහ අනුස්මරණ රග්බි ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුනා.

ධර්මරාජ රග්බි පිටියෙන් ජාතික තලයට දායාද වූ ක්‍රීඩකයෝ රැසකි. ශ්‍රී ලංකා රග්බි පිටියේ අමරණීය සලකුණක් තැබූ ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක, ජාතික කණ්ඩායමේ හා මහනුවර ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ රධික හෙට්ටිආරච්චි, දර්ශන ඇටිපොල ඒ අතර විශේෂයි. මේ දිනවල මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන තිළිණ විජේසිංහ හා බුවනෙක උඩන්ගමුව ද ලේක්වීව් කන්දේ පහස ලැබූවන්.

පසුගිය තරග වාරය

බවන්ත උඩන්ගමුවගේ නායකත්වයෙන් ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම පසුගිය වර තරග බිමට පිවිසුණේ බලාපොරොත්තු රැසක් සහිතවයි. කෙසේ වෙතත් නවකයින් රැසක් සමඟින් තරග කළ ධර්මරාජ කණ්ඩායමට ජය ගත හැකි වූයේ එක් තරගයක් පමණයි.

ඒ අනුව ඔවුන් A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා ඇද වැටුණු අතර මෙවර කණ්ඩායමට හිමිවන විශාලතම අභියෝගය යළිත් A කාණ්ඩයේ සිය අභිමානය සොයා යාමයි.

මෙවර තරග වාරය සඳහා සූදානම

ධර්මරාජ විදුහල ලීග් රග්බි ශූරතාවය දිනා ගත් 2013 වසරේ කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කළ ඩිලන්ත හියාරාපිටියගේ සොයුරු මනුක හියාරාපිටිය මෙවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

(මනුක (දකුණේ ) මෙවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.)

සිය සොහොයුරාගේ අඩිපාරේ යන ‘හුකර්’ ස්ථානයේ ක්‍රීඩා කරන මනුක මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවයි. පස්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන ඔහුගේ ප්‍රධාන වගකීම වනු ඇත්තේ ධර්මරාජය නැවතත් A කාණ්ඩය කර රැගෙන යාමයි.

පසුගිය වසරේ කණ්ඩායමේ කළ ක්‍රීඩකයින් රැසක් මෙවර කණ්ඩායමේ ද ක්‍රීඩා කිරීම කණ්ඩායමට අමතර වාසියක් වනු ඇත. මනුකගේ අගසව්වන් ලෙස තවත් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමේ උප නායකයින් ලෙස නම් කර ඇත්තේ සියලු දෙනාටම කණ්ඩයමේ ජයග්‍රහණයේ ලා වගකීමක් හිමිවන පරිද්දෙන්.

සුපිරිතම පසුපෙළක් සමඟින් රග්බි උරුමක්කාරයෝ සටනට

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා පිටියට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ රග්බි කණ්ඩායම…..

ප්‍රතිවාදීන් මර්දනය කර ඉදිරියට යාමට උපන් හපන් කම් දක්වන තරින්ද කපුවත්ත කණ්ඩායමේ ශක්තිය වනු ඇත. ඔහුගේ අගසව්වා ලෙස මලින්ත රාජපක්ෂ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ සිය නායකයාට අනගි සහයක් වෙමින්. කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයින් වන මොවුන් තිදෙනා කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයින් වනු ඇත.

(තරින්ද මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්)

මෙවර කණ්ඩායමට ඉතා හොඳ පන්දුවට පා පහර දෙන්නෙකුගේ සේවය හිමිව තිබේ. Wing ස්ථානයේ ක්‍රීඩා කරන ගෞරව අනෝජ් පන්දුවට පා පහර දෙන්නාගේ කටයුතු නිවැරදිව ඉටු කරද්දී සිය දෙටු සොහොයුරු බුවනෙක උඩන්ගමුවගේ අඩිපාරේ යන විසල් උඩන්ගමුව නොම්මර 8 ස්ථානයේ ප්‍රතිවාදීන් මර්දනය කරනු ඇත.

ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කරන චනිඳු අබේරත්න කණ්ඩායමට තවත් ශක්තියක් වෙද්දී දැවැන්ත හර්ෂ රොද්‍රිගෝ ප්‍රතිවාදීන් සුනුවිසුනු කරනු ඇත.

(ප්‍රධාන පුහුණුකරු සංජය අමුණුගම මහතා)

මෙවර කණ්ඩායමට පරිණත පුහුණුකරුවෙකුගේ සේවය ද හිමිව තිබේ. සාන්ත අන්තෝනි විද්‍යාලයේ හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ සංජය අමුණුගම මහතා මෙවර ධර්මරාජ කණ්ඩායමේ සුක්කානම අත දරයි.

නවක ජ්‍යෙෂ්ඨ සංකලනයෙන් ධර්මරාජ රග්බි කණ්ඩායමට ගිලිහුණු ගෞරවය නැවත ලේක්වීව් කන්දට ගෙන ඒමට හැකි වෙයි ද?

ධර්මරාජ විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම

  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – මාර්තු 3, බෝගම්බර
  • තර්ස්ටන් විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – මාර්තු 9, පල්ලෙකැලේ
  • මහානාම විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – මාර්තු 14
  • සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – මාර්තු 22
  • විද්‍යාර්ථ විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – මාර්තු 31, නිත්තවෙල

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<