නව බලාපොරොත්තු රැසක් සමඟින් සහිරා කණ්ඩායම යුධ පිටියට

669

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම වරෙක ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් බවට පත්ව සිටියා. වසර කිහිපයක පසුබෑමකට පසු 2017 වසරේ දී නැවත A කාණ්ඩයට පිවිසුණු ඔවුන් අඛණ්ඩව වසර තුනක් A කාණ්ඩයේ රැඳී සිටින්නට සමත් වූයේ සැලකිය යුතු දක්ෂතා ද සමඟිනි.

රාජකීය සුළි සුළඟ තවත් වසරක් කලඹන්නට සූදානම්

සියලු පාසල් කණ්ඩායම් සුනුවිසුනු කරමින් රාජකීය ….

අතීතයෙන් බිඳක්

සහිරා විද්‍යාලය රග්බි පිටියට පා තබන්නේ 1924 වසරේ දීයි. කෙමෙන් කෙමන් පාසල් රග්බි පිටියේ ප්‍රබලයින් බිය වැද්දූ ඔවුන් 1932 වසර පාසල් රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසර සනිටුහන් කරන්නේ අපරාජිතව අන්තර් පාසල් ලීග් කුසලානයක් මරදානට ගෙන යමින්.  

  1. H. A සමාඩ්ගේ නායකත්වය යටතේ එවකට ප්‍රබල කණ්ඩායමක් වූ මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළ ප්‍රථම කණ්ඩායම බවට පත් වන්නට ඔවුන් සමත් වුනා. ප්‍රබල රාජකීය, සාන්ත පීතර කණ්ඩායම්වලට ද එම ඉරණම ම අත්කර දෙමින් අපරාජිත පාසල් ලීග් ශූරයින් ලෙස අභිසෙස් ලබන්නට ඔවුන් සමත් වුනා.
(පසුගිය වසරේ දී මංගල R. I. T අලස් කුසලානය දිනා ගැනීමට සහිරා කණ්ඩායම සමත් විය.)

අනතුරුව ගත වූ වසර කිහිපය කණ්ඩායමට එතරම් සුබ වූයේ නැහැ. කෙසේ වෙතත් පරාජයේ අළු මතින් නැවත නැගී සිටි ඔවුන් 1998 වසරේ දී ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාව දිනා ගන්නේ සහිරා නාමය පාසල් රග්බි පිටියේ නොමැකෙන නාමයක් බවට පත් කරමින්.  

සාන්ත අන්තෝනිවරු රග්බි පිටියේ ගොදුරු සොයා යන්නට සැරසේ

පාසල් රග්බි පිටියේ සාර්ථක ඉතිහාසයකට හිමිකම් කියන කටුගස්තොට ….

1998 වසරෙන් පසුව වරක් ප්‍රබලතම කණ්ඩායමක්ව සිටි සහිරා කණ්ඩායම පහළ තරග කාණ්ඩවලට ඇද වැටුණු අතර වසර ගණනක උත්සාහයෙන් පසු වසර තුනකට පෙර රාම්සාන් අමිත්ගේ නායකත්වය යටතේ නැවතත් A කාණ්ඩයේ ගෞරවය දිනා ගන්නට සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

මරදාන සහිරා විදුහල ජාතික රග්බි පිටියට සුවිශේෂ ක්‍රීඩකයින් ගණනාවක් දායාද කරන්නට සමත් වුනා. විශිෂ්ට ක්‍රීඩකයින් වූ හිශාම් ආබ්දීන්, රිසාන් සල්ඩින් හා මුෂ්ටාක් ජිෆ්රි ද ඒ අතර සිටිනවා.

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරයේ සහිරාවන්ට එතරම්ම දක්ෂතා අතරට පිවිසීමට හැකි නොවුනත් ඔවුන් ඉතා වැදගත් සන්ධිස්ථානයන් කිහිපයක් පසු කරන්නට සමත් වුනා. මුහම්මර් ඩින්ගේ නායකත්වයෙන් තරග වැදුණු කණ්ඩායම සහභාගී වූ තරග නවයෙන් ජය ගත්තේ තරග දෙකක් පමණයි. ඒ අනුව ඔවුන්ට ලීග් ලකුණු සටහනේ හිමි වූයේ අටවැනි ස්ථානයයි.

පසුගිය තරග වාරයේ දී ඔවුන්ගේ ඉහළම දක්ෂතාවය ලෙස සටහන් වන්නේ මංගල R. I. T අලස් අනුස්මරණ රග්බි ශූරතාවය දිනා ගැනීමයි. ප්‍රබල D. S සේනානායක රග්බි කණ්ඩායම පරාජය කරමින් ඔවුන් මෙම දක්ෂතාව දක්වන්නට සමත් වුනා.

වේගවත් ක්‍රීඩා රටාව සහිරා විද්‍යාලයට හඳුන්වා දුන් පුහුණුකරු ශම්ලි නවාස්ගේ මග පෙන්වීම යටතේ සහිරා කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් කිහිපයක්ම  පරාජයේ මුවදොර අසලටම ගෙන එන්නට සමත් විය.

මෙවර තරග වාරය

වසර පහකට ආසන්න කාලයක් සහිරා පුහුණුකරු ලෙස කටයුතු කළ ප්‍රවීණ පුහුණුකරු ශම්ලි නවාස්ගේ සේවය මේ වසරේ දී කණ්ඩායමට නොලැබෙනු ඇත.

සුපුරුදු පුහුණුකරු අහිමි වීමේ අභියෝගය කරපින්නා ගෙන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තුවාන් සයිඩ් තාජුදීන් හටයි.    

(‘චීනා’ කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවයි.)

2016 වසරේ A කණ්ඩායමේ වරම් දිනා ගැනීමේ සිටම කණ්ඩායමේ ක්‍රීඩා කළ ‘චීනා’ හෙවත් තාජුදින් කණ්ඩායමේ ප්‍රධානතම ඉදිරිපෙළ තුරුම්පුවයි. ප්‍රතිවාදීන්ගෙන් පන්දුව උදුරා ගැනීමේ ශූරයෙකු වන ඔහු මෙවර තරග වාරයේදීත් ප්‍රතිවාදීන්ට  මහත් හිසරදයක් වනු ඇත.

තාජුදින්ගේ අගසව් ලෙස මෙවර කණ්ඩායමේ උපනායක ධූරයේ කටයුතු කරන්නේ ශමහිල් සොවෙයිටෝ. සහිරා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ඔහු මේ වසරේ කණ්ඩායමේ වටිනාම තුරුම්පුවයි. සෙන්ටර් ස්ථානයේ වේගවත් පාද සමඟින් ක්‍රීඩා කරන ඔහුගේ සේවය මෙවර කණ්ඩායමට අත්‍යවශ්‍යම වනුයේ මෙවර යොවුන් ක්‍රීඩකයින් රැසක් ද කණ්ඩායමේ සිටින බැවිනි.  

ඉදිරිපෙළ සිය ප්‍රධානතම අවිය කරගෙන සහිරාවන් මෙවර තරගාවලියට පිවිසෙද්දී අතීක් අලහුද්දීන් හා ශමිම් නසර් කණ්ඩායමේ පළමු පෙළ සවිමත් කිරීමේ වගකීම දරනු ඇත.

අක්මාල් මීඩින් කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයා ලෙස කටයුතු කරන්නේ ඉදිරිපෙළ හා පසුපෙළ සබඳතාව දක්ෂ ලෙස සම්බන්ධීකරණය කරමිනි.

ප්‍රවීණ පුහුණුකරු ශම්ලි නවාස් ගෙන් හිස් වූ පුහුණුකරු ධූරයේ මෙවර කටයුතු කරන්නේ තවත් ප්‍රවීණ පුහුණුකරුවෙකු වන කොලින් ඩේනිෂ්.

නවක යොවුන් සංකලනයෙන් සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායමට නැවතත් වසන්තය උදා කිරීමට හැකි වෙයි ද?

සහිරා විද්‍යාලයේ පළමු වටයේ තරග සැකැස්ම මෙසේය.

  • ත්‍රිත්ව විද්‍යාලය හා සහිරා විද්‍යාලය – මාර්තු 2, සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • විද්‍යා විද්‍යාලය හා සහිරා විද්‍යාලය – මාර්තු 9, විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • සාන්ත ජෝසප් විද්‍යාලය හා සහිරා විද්‍යාලය – මාර්තු 16, ලොන්ඩන් පෙදෙස
  • ඉසිපතන විද්‍යාලය හා සහිරා විද්‍යාලය – මාර්තු 23, හැව්ලොක් පාක්
  • සාන්ත අන්තෝනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය – මාර්තු 30, සහිරා ක්‍රීඩාංගණය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<