පාසල් රග්බි ලීගයේ දෙවන සතියට උණුසුම් අවසානයක් ගෙන ආ සාන්ත ජෝසප් විද්‍යාලයත් ඉසිපතන විද්‍යාලයත් අතර තරගයෙන් 39-32ක් වශයෙන් ජය හිමි වූයේ ඉසිපතන විද්‍යාලයටයි.

රාජකීය ආරක්ෂණය ජය ගනිද්දී, ත්‍රිත්වයින්ගෙන් බිහිසුණු ප්‍රහාරයක්

සිංගර් පාසල් රග්බි ලීගය තුළ ත්‍රිත්ව විදුහල සහ විද්‍යා විදුහල අතර රග්බි සටන පෙරේදා (03) පැවැත්වුණු අතර රාජකීය – පීතර ගැටුම පැවැත්වුණේ ඊයේ (04) දිනයේ දීයි..

තරගයට ඉක්මනින් මුසු වූයේ සාන්ත ජෝසප් ක්‍රීඩකයන් ය. එනමුත් යම් කාලයක් ගතවීමත් සමඟ මැනවින් තරගයට අවතීර්ණ වූ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ඩෙවින් ගුණරත්න, චමෝද් ප්‍රනාන්දු, එන්. චමින්ද උත්සාහක දිනුම් තුනක් වාර්තා කළේ කිසිවෙකුට සිතා ගත නොහැකි වන පරිදිය. බණ්ඩාරගේ ප්‍රවර්තනයන්ගෙන් එකක් පමණක් සාර්ථක වූ අතර පිටියේ දෙකෙළවරින් එල්ල කළ අනෙක් ප්‍රවර්තනයන් අසාර්ථක විය. (ඉසිපතන 17-00 ජෝසප්).

ජෝසප් විද්‍යාලයීය අංක 8 ක්‍රීඩක ගිහාන් පෙරේරා මහත් පරිශ්‍රමයක් දරා ජෝසප් විද්‍යාලයට උත්සාහක දිනුමක් එක්කළේය. චරිත් සෙනවිරත්නගේ පාදයෙන් එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් ජෝසප් විද්‍යාලය වෙනුවෙන් මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේ ඔහුය. එයට අතිරේක ලකුණු 2ද එක් කළ ඔහු තරගයේ පරතරය ලකුණු 5ක් දක්වා අඩු කරගත්තේය. (ඉසිපතන 17-12 ජෝසප්).

පළමු අර්ධය අවසානයට පෙර දඬුවම් පහරක් ද සාර්ථක කර ගන්නට චරිත් සමත් වූ අතර ඉසිපතනයට ෆුල් බැක් ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දුගේ සේවය අහිමි වූයේ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ප්‍රථම අර්ධය: ඉසිපතන විද්‍යාලය 17 (3T 1C) – 15 (2T 2C 1P) සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ගෙන එමින් ශෙවෝන් ග්‍රෙගරි සහ ගැමුණු චේතිය යන දෙදෙනාම ජෝසප්වරුන් වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේය. (ඉසිපතන 17-29 ජෝසප්).

පසුව රැන්ඩි සිල්වා සිය පෞද්ගලික දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. බණ්ඩාරගේ ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 24-29 ජෝසප්).

අනතුරුව ක්‍රියාත්මක වූ එන්. චමින්ද, පිටියේ දෙකෙළවරින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ඒවායේ ප්‍රවර්තනයන් අසාර්ථක විය. (ඉසිපතන 34-29 ජෝසප්).

චරිත් සෙනවිරත්න විසින් සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟින් ජෝසප් ක්‍රීඩකයන් ද ඉදිරියට එන්නට විය. කරට කර තරගයක උණුසුම වර්ධනය වූයේ එබැවිනි. (ඉසිපතන 34-32 ජෝසප්).

උද්වේගකර අවසානයක සේයා පිටිය තුළ මතුවෙද්දී චමෝද් ප්‍රනාන්දු ඉසිපතනය ස්ථාවර කළේය. ඔහු විසින් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය බණ්ඩාරගේ පාදයෙන් ගිලිහිණි. (ඉසිපතන 39-32 ජෝසප්). පසුව සියලු වැර යොදා ආක්‍රමණයේ යෙදුණත් ජෝසප් කණ්ඩායම නවතාලන්නට ඉසිපතන ආරක්ෂකයින් සමත් විය.

සම්පූර්ණ කාලය: ඉසිපතන විද්‍යාලය 39 (7T 2C) – 32 (4T 3C 2P) සාන්ත ජෝසප් විද්‍යාලය.

ThePapare.com තරගයේ වීරයා: චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්.

  • සාන්ත ජෝසප් – ගිහාන් පෙරේරා 1T, චතුර සෙනවිරත්න 1T 3C 2P, ශෙවෝන් ග්‍රෙගරි1T, ගැමුණු චේතිය 1T.
  • ඉසිපතන විද්‍යාලය – ඩෙවින් ගුණරත්න 1T, චමෝද් ප්‍රනාන්දු 2T, එන්. චමින්ද 3T, රැන්ඩි සිල්වා 1T, බණ්ඩාර 2C. 
 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<