2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි දිනය වූ අදත් (22) ලෝක කුසලාන රග්බි පිටිය ඉතා උණුසුම් වුනා. එංගලන්තය හමුවේ ටොංගා කණ්ඩායමත්, අයර්ලන්තය හමුවේ ස්කොට්ලන්තයත් පරාජය වෙද්දී, ඉතාලිය ප්‍රබල සටනකින් අනතුරුව නැමීබියාව පරාජය කළා.

  • වැරදි රැසක් මැද එංගලන්ත බලය තහවුරු කරයි

එංගලන්ත ක්‍රීඩක Manu Tuilagiගේ සුපිරි උත්සාහක දිනුම් ද්විත්වයෙන් ප්‍රබල එංගලන්තය ලකුණු 35-03ක් ලෙස ටොංගා කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. Tuilagiගේ උත්සාහක දිනුම් ද්විත්වය වාර්තා වූයේ මිනිත්තු හතක් තුළ දී වීම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලයෙන් මිනිත්තු හතරක් ඉක්ම යද්දී Luke Cowan-Dickie අමතර ප්‍රසාද ලකුණත් එංගලන්ත කණ්ඩායමට දිනා දුන්නේ ඉදිරි තරගවලට අමතර වාසියක් රැගෙන යමින්.

ටොංගා කණ්ඩායම තරගය පුරා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීමට සමත් වූයේ නැහැ. එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස්ගේ දැඩි කනස්සල්ලට හේතුවෙමින් එංගලන්ත ක්‍රීඩකයින් අවස්ථා රැසක දී පන්දුව බිම අතහැර ගත්තේ පහසු අවස්ථා තමන් විසින්ම ඉතා අපහසු තත්වයට පත් කර ගනිමින්.

2019 රග්බි ලෝක කුසලානයේ අනෙක් තරගවල දී මෙන් මේ තරගයේ මුල් භාගයේ දී කිසිදු කණ්ඩායමක් ලකුණු රැස් කර ගැනීමට සමත් වූයේ නැහැ. කෙසේ වෙතත් ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන Billy Vunipola හා flanker ක්‍රීඩක Zane Kapeli හොඳ සටනක් දක්නට ලැබුණා. 

All Blacks සහ Springboks ගැටුම විසඳේ!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද (21) දිනයේ දී පැවති මූලික වටයේ…………….

23 වැනි මිනිත්තුව වන විට කණ්ඩායම් දෙකම ලකුණු 3-3ක් බැගින් රැස් කර ගෙන සම තත්වයේ සිටිද්දී ක්‍රියාත්මක වුණු Tuilagi මිනිත්තු කිහිපයක් ඇතුළත තරගය සම්පූර්ණයෙන්ම එංගලන්තය දෙසට හරවන්නට සමත් වුනා. 

10 වැනි මිනිත්තුවේ දී Owen Farrell එංගලන්තය වෙනුවෙන් දඬුවම් පහරකින් ලකුණු රැස් කළ අතර ඊට මිනිත්තු 4කට පසුව Sonatane Takulua ඉතා අපහසු ස්ථානයක සිට ලකුණු රැස් කරමින් තරගයේ ලකුණු සම කළා. 

ටොංගා නායක Siale Piutauගේ දක්ෂ ක්‍රීඩා විලාශය නිසා එංගලන්ත ක්‍රීඩක  Richard Underhill උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් එංගලන්තය සාර්ථක වන්නට හැකි වුනේ නැහැ. ඒ විනිසුරු රූපවාහිනී විනිසුරු ආධාරයෙන් එම අවස්ථාවේ දී පන්දුව බිම ස්පර්ශ නොවූ බව තීරණය කළ නිසයි. 

කෙසේ වෙතත් ඊට මිනිත්තුවකට පසුව Tuilagi පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට රැගෙන ගිය අතර මෙවර නම් TMO හා පිටියේ විනිසුරු තීරණය කළේ එය උත්සාහක දිනුමක් බවයි. 

මිනිත්තු 30 දී Jonny Mayගේ අලංකාර පන්දු යොමු කිරීමක් Tuilagi පවනට බඳු වේගයෙන් ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියේ සිය දෙවන උත්සාහක දිනුම ලෙසයි. Farrell එහි අමතර ලකුණු එකතු කළ අතර පළමු අර්ධයට පෙර තවත් දඬුවම් පහරක් ද ඔහුගේ පාදයෙන් ගුවන්ගත වුනේ පළමු අර්ධය නිමා වන විට එංගලන්තය ලකුණු 18-03ක් ලෙස ඉදිරියට රැගෙන යමින්.

පළමු අර්ධය: එංගලන්තය 18 – 03 ටොංගා   

දෙවන අර්ධයේ පළමු මිනිත්තු 15 තුළ Farrell තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම සාර්ථක ලෙස සංවිධානය වනන්ට මද වෙලාවක් ගත වුනා. Lineout අවස්ථාවක් ගුවනේ දී රැක ගත් එංගලන්ත ක්‍රීඩකයෝ Jamie Georgeගේ සුරතින් තෙවැනි වතාවටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ Rolling maul අවස්ථාවක් මනාව ප්‍රයෝජනයට ගනිමින්.   

තරගය නිමා වීමට මොහොතකට පෙර එංගලන්තය වෙනුවෙන් අනගි අවස්ථාවක් නිර්මාණය කිරීමට පසුපෙළ සමත් වූ නමුත් Henry Sladeගේ පන්දු හුවමාරුව කෙළින්ම පිටියෙන් ඉවතට ගියේ ඔහුගේ පසුපසින් කිසිදු ක්‍රීඩකයෙකු නොසිටි නිසාවෙන්.

අතපසුවීම් රාශියකට පසුව එංගලන්තය වෙනුවෙන් Jamie Joseph ටොංගා ආරක්ෂක වළල්ල ඉක්මවා ගිය අතර Cowan-Dickie විසින් ප්‍රේක්ෂකයින් සෑහෙන වෙලා බලා සිටි උත්සාහක දිනුමක් එංගලන්තයට රැගෙන එන ලදි.  

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 35 (4T,3C,3P) – 03 (1P) ටොංගා

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • එංගලන්තය – Manu Tuilagi(2T), Jamie George, Luke Cowan-Dickie(1T), Owen Farrell (3C,3P)
  • ටොංගා – Sonatane Takulua (1P)

සටන්කාමී අයර්ලන්තයෙන් සහෝදරයින්ට දරුණු ප්‍රහාරයක්

අමතර ප්‍රසාද ලකුණක් සමඟින් සිය ලෝක කුසලාන සංග්‍රාමය අරඹන්නට ප්‍රබල අයර්ලන්තය අද සමත් වුනා. ඒ ස්කොට්ලන්තය ලකුණු 27-03ක් ලෙස පරාජය කරමින්.

වර්ෂාව මධ්‍යයේ සුපිරි ආරම්භයක් ලබා ගත් අයර්ලන්ත ක්‍රීඩකයින් මිනිත්තු 25ක් තුළ උත්සාහක දිනුම් තුනක් තමන්ගේ නමට ලියා ගත්තේ තමන් මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායමක් බවට අනෙක් රටවල් සියල්ලටම ප්‍රබල පණිවිඩයක් එකතු කරමින්.

අයර්ලන්තය සිය පළමු උත්සාහක දිනුම රැස් කළේ 7 වැනි මිනිත්තුවේ දීයි. ඒ දෙවන පෙළ ක්‍රීඩක James Ryanගේ සුරතින්. ප්‍රබල ස්කොට්ලන්ත ආරක්ෂක වළල්ල පසු පසට ඇද දමමින් වාර්තා වූ එම උත්සාහක දිනුමට Johnny Sexton අමතර ලකුණු ද එකතු කරන්නට සමත් වුනා.  

13 වැනි මිනිත්තුවේ දී අයර්ලන්ත නායක Rory Best දෙවන අයර්ලන්ත උත්සාහක දිනුම රැස් කළා. Rolling Maul අවස්ථාවකින් පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන යමින්. ඊට මිනිත්තු කිහිපයකට පසුව Greig Laidlaw දඬුවම් පහරක් මගින් ස්කොට්ලන්තයට ලකුණු තුනක් එකතු කළ අතර ඒ ස්කොට්ලන්ත ලකුණු පුවරුව දිනය පුරාවට ක්‍රියාත්මක වූ එකම අවස්ථාවයි.  

අයර්ලන්ත ආක්‍රමණය හමුවේ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් සිය අර්ධයටම සීමා වූ අතර 26 වැනි මිනිත්තුවේ දී Tadhg Furlong දැඩි උත්සහයකින් පසුව ධවල රේඛාව ඉක්මවා යන්නට සමත් වුනා. Conor Murray එම අවස්ථාවේ දී ප්‍රවර්තනය ලබා ගත් අතර ඔහු අයර්ලන්ත පෙරමුණ ලකුණු 16ක් දක්වා ඉදිරියට රැගෙන ගියා. 

පළමු අර්ධය: අයර්ලන්තය 19 – 03 ස්කොට්ලන්තය

ස්කොට්ලන්ත ක්‍රීඩකයින්ට දෙවන අර්ධයේදීත් තරගයට පිවිසෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. Wing ක්‍රීඩක Andrew Conway අයර්ලන්තය වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම රැස් කළ අතර 55 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන්නට නම් ඔවුන්ට හැකි වුනේ නැහැ.

තරගය අවසන් වීමට මිනිත්තු 12ක් තිබිය දී අයර්ලන්තය අවසන් වරට ලකුණු වාර්තා කළේ Jack Cartyගේ දඬුවම් පහරක් මගින්. 

පසුව අයර්ලන්ත ක්‍රීඩක Tadhg Beirne හට කහ කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කරන්නට විනිසුරු ක්‍රියා කළ නමුත් ලැබුණු වාසියෙන් කිසිදු ප්‍රයෝජනයක් ගන්නට ස්කොට්ලන්තයට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: අයර්ලන්තය 27 (4T,2C,1P) – 03 (1P) ස්කොට්ලන්තය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • අයර්ලන්තය – James Ryan (1T), Rory Best (1T), Tadhg Furlong (1T), Andrew Conway (1T),Johnny Sexton (1C), Conor Murray (1C), Jack Carty (1P)
  • ස්කොට්ලන්තය – Greig Laidlaw (1T)

නැමීබියා අභියෝගයට ඉතාලිය සාර්ථකව පිළිතුරු සපයයි

තරගයේ මිනිත්තු 10ක් තුල උත්සාහක දිනුම් තුනක් රැස් කළ ඉතාලිය, නැමීබියාව එල්ල කළ ප්‍රබල අභියෝගය ලකුණු 47-22ක් ලෙස සාර්ථකව මර්දනය කරන්නට සමත් වුනා.

Damian Stevens නැමීබියාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ඉතාලි කණ්ඩායම පුදුම කරමින්. කෙසේ වෙතත් ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූ ඉතාලි කණ්ඩායම තරගය සම්පූර්ණයෙන්ම තමන්ගේ දෙසට හරවන්නට සමත් වුනා.

තරගයේ පස්වැනි මිනිත්තුවේ දී ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක Stevens එම උත්සාහක දිනුම වාර්තා කළ අතර ඊට මිනිත්තු පහකට පසුව නැමීබියා ඉදිරිපෙළ ක්‍රීඩකයින් ස්ක්‍රම් අවස්ථාවක දී කළ අතපසුවීමක් නිසා ඉතාලියට දඬුවමක් උත්සාහක දිනුමක් හිමි වුනා. 

25 වැනි මිනිත්තුවේ දී Luca Morisi නැමීබියා ආරක්ෂක වළල්ල විනිවිද ගිය අතර ෆ්ලයි හාෆ් ක්‍රීඩක Tommaso Allan ඔහුගෙන් පන්දුව ලබා ගෙන පවනට බඳු වේගයෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ඉතාලිය පෙරමුණට රැගෙන එමින්.   

කෙටි කාලයක් තුළ වාර්තා වූ උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් තරගය සම්පූර්ණයෙන්ම ඉතාලිය දෙසට හැර වුනා.

Federico Ruzzaගේ අලංකාර පන්දුව යොමු කිරීමක් Tito Tebaldi ධවල රේඛාවෙන් එපිටට රැගෙන යමින් ඉතාලිය පළමු අර්ධය නිමා කළා. දෙවන අර්ධය ආරම්භයේ දී Tommaso Benvenuti පිටිය හරහා එල්ල කළ පා පහරක් Edoardo Padovani රැකගෙන අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා.Carlo Canna ක්ෂණිකව පන්දුවත් සමඟ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් ඉතාම කෙටි කාලසීමාවක් ඇතුළත ඉතාලිය වෙනුවෙන් උත්සාහක දිනුම් තුනක් සම්පුර්ණ කළා.

සත්කාරකයින්ගෙන් රුසියාවට දරුණු සත්කාරයක්!

ලෝක වාසී සියලු රග්බිලෝලීන්ගේ වසන්තය ආරම්භ කරමින් 2019 රග්බි ලෝක කුසලානය අද (20) ජපානයේ දී අතිඋත්කර්ෂව…………..

JC Greyling නැවත තරගයට පැමිණීමට උත්සාහ කරමින් සිටි නැමීබියාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළත්, ඉතා ඉක්මනින් ඔවුන්ගෙන් තරගය දෝලනය වීමට ඉඩ දුන්නේ නැහැ.  

Jake Polledri, Rolling Maul අවස්ථාවක සිට පන්දුව රැගෙන යමින් ඉතාලිය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර පසුපෙළ පන්දුව හුවමාරු කිරීම් කිහිපයකට පසුව ලැබුණු පන්දුව පිටිය කොණෙන් ලකුණු සඳහා රැගෙන ගිය Matteo Minozzi අවසන් ඉතාලි උත්සාහක දිනුම වාර්තා කළා.

Plato අවසන් මොහොත තෙක් සටන් කළ නැමීබියාව වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කළ අතර ඒ අනුව නැමීබියාව තමන් මෙතෙක් මුහුණ දී ඇති ලෝක කුසලාන තරග 20 ම පරාජය වීම විශේෂත්වයක්. 

අවසන් ලකුණු තත්වය: ඉතාලිය 47 (6T, 1PT, 5C) – 22 (3T, 2C, 1P) නැමීබියාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ඉතාලිය – Tommaso Allan (1T), Tito Tebaldi (1T), Mattia Bellini (1T), Carlo Canna (1T), Jake Polledri (1T), Matteo Minozzi (1T), Tommaso Allan (3C), Carlo Canna (2C)
  • නැමීබියාව – Damian Stevens (1T), JC Greyling (1T), Chad Plato (1T), Cliven Loubser (2C), Cliven Loubser (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<