රාජපක්ෂ සහ වර්ණපුර දක්‍ෂතා අතරට

297

ඊයේ (17) පැවැත්වූ බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් සිටි තරගයක් වූ ‘Unilever’ කණ්ඩායම සහ ‘Singer Sri Lanka’ කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරග විනිසුරුවරුන් වූ විදුර ප්‍රසාද් සහ රවීන්ද්‍ර කොට්ටච්චි පිටියේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 38කට සීමා කිරීමට තීරණය කළහ. තරගය පවත්වනු ලැබුවේ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

තිරිමාන්න සහ සාලිය සමන් වෙළඳසේවා පිටියේ දක්ෂතා දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග අතුරින් TeeJay ලංකා කණ්ඩායම, හේලීස් කණ්ඩායම…

පළමුව පන්දුවට පහර දුන් ‘Unilever’කණ්ඩායම තරගයට හොඳ ආරම්භයක් ලබා ගත් අතර එහි දී සචින් ප්‍රනාන්දු ලකුණු 46ක් වාර්තා කර ගනිමින් ඔවුන්ගේ ඉදිරිපෙළ ශක්තිමත් කරන්නට සමත් විය. ඒ අනුව සචින් ලබා දුන් දායකත්වය හරහා 18 වන පන්දුවාරය වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 70ක් වාර්තා කරගන්නට ‘Unilever’ කණ්ඩායම සමත් වූ අතර ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුවාර 20 තුළ ප්‍රබල පිතිහරඹයක් දියත් කළ ඉතිරි පිතිකරුවන් නියමිත පන්දුවාර 38 අවසානයේ කඩුලු 9ක් දැවී කණ්ඩායමේ ලකුණු තත්ත්වය 210ක් දක්වා ඔසවා තබන්නට සමත් විය.

එහි දී හොඳ ඉනිමක් ක්‍රීඩා කළ ගිහාන් ද සොයිසා ලකුණු 63ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර නායක ගයාන් රූපසිංහ ද වේගවත් ලකුණු 22ක් වාර්තා කර ගනිමින් ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කරන්නට සමත් විය.

එහි දී ‘Singer’ කණ්ඩායම වෙනුවෙන් ඉතා දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ විමුක්ති කුලතුංග ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනු ලැබූ අතර කොළඹ රාජකීය විද්‍යාලය මහා ක්‍රිකට් තරග ජයග්‍රහණයක් කරා මෙහෙය වූ නායකයෙක් වන දේවින්ද් පද්මනාදන් ලකුණු 37කට කඩුලු 2ක් දවා ගන්නට සමත් විය.

ඒ අනුව ලකුණු 211ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ‘Singer’ කණ්ඩායම තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය. එහි දී ඉදිරිපෙළ ශක්තිමත් කළ ජේකොබ් සචින් සහ හර්ෂ රාජපක්ෂ ඉනිමේ 25 වන පන්දුවාරය වන විට ඔවුන්ගේ ඉනිම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 122ක් දක්වා රැගෙන යන්නට සමත් වූ අතර ඒ අනුව ඔවුන්ට අවසාන පන්දුවාර 13 තුළ තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 89ක් අවශ්‍යව තිබුණි. සචින් සහ රාජපක්ෂ ඒ වන විට පිළිවෙළින් ලකුණු 30 සහ ලකුණු 57 බැගින් ලබා ගනිමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියහ.

ශ්‍රී ලංකා පරාජයන් රැල්ල නොනැවති ඉදිරියට

ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ තෙවන එක්දින තරගයත් කඩුලු 7කින් ජයග්‍රහණය කළ සංචාරක එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත….

ඒ අනුව ‘Singer’ කණ්ඩායම දැඩි තරගයකින් තොරව තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළත් රසික ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ‘Unilever’ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය විවෘත විය. අවසාන පන්දුවාර 8 තුළ ‘Singer’ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ලකුණු 56ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 5ක් අතැතිව තිබුණි. කෙසේ නමුත් ඒ වන විටත් රාජපක්ෂ ලකුණු 76ක් ලබා ගනිමින් නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ ය.

ඒ අනුව තරගයේ අවසාන පන්දුවාරය දක්වාම කණ්ඩායම් දෙකම තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර කෙසේ නමුත් තරගයේ අවසාන පන්දුවේ දී ජයග්‍රාහක ඉලක්කය සපුරා ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට ‘Singer’ කණ්ඩායම සමත් විය. එහි දී අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රාජපක්ෂ ලකුණු 122ක් වාර්තා කර ගනු ලැබීය.

තරග සාරාංශය

‘Unilever Sri Lanka’ 210/9 (38): ගිහාන් ද සොයිසා 63, සචින් ප්‍රනාන්දු 46, ගයාන් රූපසිංහ 22, විමුක්ති කුලතුංග 3/17, දේවින්ද් පද්මනාදන් 2/37

‘Singer Sri Lanka’ 211/9 (38): හර්ෂ රාජපක්ෂ 112, රවීන් යාසා 37, ජේකොබ් සචින් 25, රසික ප්‍රසාද් 2/33

‘Singer’ කණ්ඩායමට කඩුලු 1ක ජයක්


‘John Keells’ පරදා ‘HNB’ට ජය  

කොළඹ ‘BRC’ ක්‍රීඩාංගණයේ දී ‘John Keells Holdings’ කණ්ඩායම සහ ‘Hatton National Bank’ කණ්ඩායම අතර පැවති මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 30කට සීමා කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

කෙසේ නමුත් තරගය ආරම්භ කරනු ලැබුවේ දිවා ආහාර විරාමයෙන් ද අනතුරුව ය. අපරාජිත ‘John Keells’ කණ්ඩායම ‘A’ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම තරගයට පිවිසි අතර මෙය ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂා කළහ.

පළමුව පන්දුවට පහර දුන් ‘John Keells’ කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ‘HNB’ පන්දුව යවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර ඒ අනුව පළමු පන්දුවාර 15 තුළ ලකුණු 73කට කඩුලු 3ක් දවා ගන්නට ඔවුන් සමත් විය. එහි දී ‘John Keells’ කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පැමිණීමට සමත් වූයේ මලින්ද මදුරංග පමණක් වන අතර ඔහු ලකුණු 30ක් වාර්තා කර ගනිමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැඟීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පැමිණි සචින්ත ජයතිලක සහ තරිඳු රත්නායක හොඳින් පන්දුවට පහර දෙමින් ‘John Keells’ ලකුණු පුවරුව ලකුණු 197ක් දක්වා ඔසවා තබන්නට සමත් විය.

දඹුල්ලෙන් නුවරට යද්දී දෙපිලේම වෙනස්කම්

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමූ අතර දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත් නිසා….

ඒ අනුව තරමක් අසීරු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ‘HNB’ කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය 11 වන පන්දුවාරය වන විට දවා ගන්නට අක්තාබ් කාදර් සමත් විය. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 65ක් ලෙසයි. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් ‘HNB’ කණ්ඩායමට ඉතිරි පන්දුවාර 19 තුළ ලකුණු 133ක් අවශ්‍යව තිබූ අතර එහි දී දේශාන් ඩයස් අලංකාර පහරවල් කිහිපයක් දියත් කරමින් ඔවුන්ගේ ඉනිම ගොඩනඟන්නට සමත් විය.

පසුව නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කෙසේ නමුත් අවසානයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 59ක් වාර්තා කළ මාධව වර්ණපුර ඩක්වත් ලුවිස් න්‍යාය හරහා ‘HNB’ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නට සමත් විය. ඒ අනුව මෙම පරාජයත් සමඟ ‘B’ කාණ්ඩයේ තරගාවලියේ ‘John Keells’ කණ්ඩායම එතෙක් තබාගෙන සිටි අපරාජිත වාර්තාව බිඳ වැටුණි.

තරග සාරාංශය

‘John Keells Holdings’(B) 197 (30): සචින්ත ජයතිලක 57, තරිඳු රත්නායක 32, මලිඳු මදුරංග 30, විමුක්ති පෙරේරා 3/50, කෝසල කුලසේකර  2/28

‘Hatton National Bank’ 139/3 (23): මාධව වර්ණපුර 59*, දේශාන් ඩයස් 49, අක්තාබ් කාදර් 2/26

‘HNB’ කණ්ඩායමට ලකුණු 2ක ජයක් (D/L Par-score 137)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<