ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් ලබන 26 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ටෙස්ට් සංචිතය අද (23) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි. වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර හා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා නැවතත් සංචිතයට කැඳවා තිබීම සුවිශේෂී වේ.

ඉන්දියාවට වැඩි ගෞරව ගෙනදෙමින් පුහුණු තරගය නිමාවෙයි

තරග 3කින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙරාතුව දෙරට අතර පැවති දෙදින පුහුණු තරගය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට අලුතින් පත්කළ දිනේෂ් චන්දිමාල් නියුමෝනියාව නිසාවෙන් රෝගී වී සිටින අතර, ඒ නිසාවෙන් වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මෙම සංචිතය සඳහා පිතිකරුවන් 8 දෙනෙක්, දඟපන්දු යවන්නන් තිදෙනෙකු හා වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු ඇතුළත් කර ඇත.

නිමා වූ සිම්බාබ්වේ එක්දින තරගාවලිය අතරතුර පාදයේ කලව ප්‍රදේශය ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සති කිහිපයක විවේකයකින් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත. ප්‍රදීප් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ ජනවාරි මාසයේ දී පැවති දකුණු අප්‍රිකානු සංචාරයට වන අතර, ඔහුට අමතරව සුරංග ලක්මාල්, ලහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු ද මෙම සංචිතයට වේගපන්දු යවන්නන් ලෙස ඇතුළත් කර තිබේ.

පසුගිය වර්ෂයේ දී පැවැත්වූ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දකුණත් මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා පසුගිය සතියේ අවසන් වූ සිම්බාබ්වේ ටෙස්ට් තරගය සඳහා තේරී පත්වී නොතිබූ අතර, චන්දිමාල්ගේ අසනීප තත්ත්වය නිසාවෙන් නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට ඔහුට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රිකට් මට්ටම තුල කඩුලු 558ක් දවා ගනිමින් දැනට සිටින දක්ෂතම දඟපන්දු යවන්නන් අතරින් අයෙක් වන පුෂ්පකුමාරගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය ලකුණු 19.85ක් වැනි මට්ටමක පවතී. නිමා වූ බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය තුල ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ ද, ඔහුට එම තරගාවලිය තුල දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නොහැකි විය. සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා සංචිතයේ සිටි ලක්ෂාන් සඳකැන් වෙනුවට පුෂ්පකුමාරව මෙම ටෙස්ට් සංචිතය සඳහා ආදේශ කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් , ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් , අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල , දිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්,  ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<