මලල ක්‍රීඩා පිටියේ අනාගත පාරමිතාව “පාරමී”

408

ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූයේ පසුගිය 15 වැනිදා ය. මෙම පදක්කම දිනා ගැනීමේ ගෞරවය සහ එහි වටිනාකම කෙතෙක් දැයි මේ වන විට ලෝකය හමුවේ නිරාවරණය වී අවසන් ය. විශේෂයෙන්ම මෙය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම වීම හේතුවෙන් එහි වටිනාකම තවත් ඉහළ ගියේය.

ලක්මාතාවට කීර්තිය ගෙනා දිරිය දරුවන් මාධ්‍යයට දැක්වූ අදහස්

නිමා වූ යොවුන් ඔලිම්පික් උළෙලේ දී මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමී ….

හලාවත, අඹකඳවිල මුහුදු තීරයේ පදිංචි K. M. අන්තෝනි ටියුඩර් ප්‍රනාන්දු සහ රීටා මාග්‍රට් යුවලගේ පවුලේ බඩපිස්සිය ලෙසින් උපත ලබන්නේ පාරමී වසන්ති මාරිස්ටෙලා ය. මුහුද හා ඔට්ටු වෙමින් ධීවර රැකියාවේ නියුතු මේ පවුලට අලුත ආ මේ සිඟිත්තිය ඔවුන් පිළිගත්තේ දේවදුතිකාවක් නිවසට ආ ලෙසිනි. එබැවින්ම ඇයට නම තැබීමේ දී මේ දෙමල්ලන්ගේ වැඩි කැමැත්ත වූයේ “පාරමී“ නාමයට ය. ඒ ඔවුන්ට ඇය පාරමිතාවක්ම වීම නිසා ය. ඔවුන්ගේ පවුලේ තිදෙනෙක් වූ අතර අනෙක් දෙදෙනා වූයේ ක්‍රිශාන්ත පැතුම් සහ නිශාන්ති දිල්හානි ය. ඔවුන් දෙදෙනාට මැදිව පාරමි සාර සුබාවට හුරතල් වෙමින් හැදී වැඩුණු බවය ඇයගේ මව පැවැසුවේ.

“පුතා ක්‍රීඩාවට එතරම් ම සම්බන්ධ වුනේ නැහැ. පාරමි දුව පුංචි දවස්වල ඉඳලම අක්කට ගොඩාක් එකතුයි. අක්කා කරන දේ ම තමයි කරන්න උත්සාහ කළේ. අක්කා දන්න කියන කාලෙ ඉඳලම දුවනවා. ඇයත් සමඟ පාරමී දුවත් දුවන්න ගත්තා. ඒක එයා සෙල්ලමට ගත්ත එකක්. වැල්ලට ගියත් එයා නිකං හිටියේ නැහැ. දුවන එකමයි වැඩේ. එයාට එල්ලයක් තිබුණේ නැහැ, ආසාවට දිව්ව මිසක්. අපිත් ඉතිං ඒකට අකමැත්තක් දැක්වුවේ නැහැ.” මේ පාරමීගේ මව රීටා මාග්‍රට් මහත්මිය පාරමීගේ දිවිල්ලේ ආරම්භය ගැන ThePapare.com සමඟ සිහිපත් කළ අයුරුයි.

පාරමීගේ මේ දිවිල්ල අද රටක් ජය ගත්නේ ලෝකයේ තෙවැනියා බවට පත් වෙමිනි. එය ඇතැමෙක් වාසනාවට ලැබූ ජයක් ලෙසින් ලඝු කළ ද, එය ඊටත් එහා ගිය දක්ෂතාවත් කැපවීමත් සහ නොපසුබස්නා උත්සාහයත් නිසා ලැබූවක් සේ අපි දකිමු. ඊට කදිමට පිළිතුරු දෙන්නේ ඇයගේ පුහුණුකරු ජනිත ජයසිංහ මහතා ය.

“පාරමි මේ ගමන ආවේ ඉතාම වෙහෙස මහන්සි වීමෙන්. එයාට වාසනාව කියන එකත් තියෙන්න ඇති. නමුත් ඊට වඩා එයා මේ ක්‍රීඩාව වෙනුවෙන් කරන කැප වීම තමයි මේ ජයග්‍රහණයට හේතු වූයේ කියන එකයි මගේ විශ්වාසය. පාරමීට තවමත් අවුරුදු 17යි. ඇය මේ අවුරුදු 17 දී ඊටත් වඩා දෙගුණයක වයසක දුක් විඳල ඇති. ඊටත් වඩා ඇය දුර්වල තැනැත්තියක් ලෙසයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඒත් ඒ සියල්ල පාරමීගේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් මත පරාජය වෙනවා. අද පාරමී යම් තැනක ඉන්නවා නම් ඒ එයාගේම ශක්තියෙන් ආ ගමනක් කියලා ඇයට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒකට සාක්ෂිකරුවන් ලෙසි අපි ඉන්නවා.“

පාරමී මූලික අධ්‍යාපනය ලබන්නේ අඹකඳවිල රජයේ විදුහලෙන්. 9 ශ්‍රේණිය දක්වාම ඇය එහි ඉගෙනුම ලබනවා. ඒ වෙද්දී පාරමීගේ අක්කා නිශාන්ති පාසල් යන්නෙ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට. ඇයට එම අවස්ථාව ලැබෙන්නේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් මත. පාරමි තරමින් නොවුනත් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවක්. මේ වෙද්දී ඇය සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබනවා.

කොහොම හරි නිශාන්තිගේ දිවිල්ල තමයි පාරමීට පිහිටන්නේ. ඇය අක්කත් සමඟ හරි හරියට දුවනවා. ඔවුන්ට පුහුණු වීමට කෘතීම ධාවන පථ තිබුණේ නැහැ. වැඩි හරියක්ම ඔවුන්ගේ පුහුණු වීම් සිදු වුනේ තමන්ට ගොඩාක් සමීප වෙරළ තීරයේ. එහෙත් නැත්නම් කලපුව ආසන්නයේ.

“පාරමීව මට හමුවෙන්නේ මුහුදු වෙරළේ දුවද්දී. ඒ නිශාතිත් සමඟ පුහුණුවීම් කටයුතු කරද්දී. පාරමීට බොහොම හොඳ ජවයක් තියෙන ක්‍රීඩිකාවක් ලෙසින් මම දකින්නේ ඒ පළමු හමුවේ දී මයි. ඇය අක්කට කියල දෙන දේ ඉතාම හොඳින් ධාරණය කරගෙන තනිවම කරනවා. මුහුදත් එක්ක, අහසත් එක්ක කතා බහ කරමින් කරන ඒ පුහුණුව නිශාන්තිටත් මටත් සුපුරුදු දෙයක් බවට පත් වුනා. පස්සේ පස්සෙ ඇය අපිත් සමඟ හරි හරියට පුහුණුවීම්වලට සහභාගි වුනා. පාරමී තමයි පස්සෙ කාලෙ අක්කවත් ඇදගෙන පුහුණුවිම්වලට ආවෙ.” ජනිත් ජයසිංහ මහතා නැවත පාරමීගේ අතීතය සිහිපත් කළා.

පාරමීව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමට කපුකම කරන්නෙ නිශාන්ති. ඒ ජනිත් ජයසිංහ මහතා හරහා. “ඇත්තටම ඒ වෙද්දි පාරමී මගේ ගෝලයෙක් වෙලා හිටියේ. නිශාන්ති ඒ යෝජනාව කරනකම්ම මට පාරමීව කුලියාපිටියට අරගෙන වැඩි දුර පුහුණුවක් දිය යුතුයි කියන හැඟීම ආවේ නැහැ.”

මේ අක්කා – නගෝගේ දිවිල්ල පාසල් පිටියට අමතරව ජාතික මට්ටම දක්වා වර්ධනය වෙද්දී අන්තෝනිලාගෙ ආර්ථිකයට දරාගන්න බැරි අවස්ථාවන් ද උදා වුනා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඔවුන් පසු බැස්සෙ නැහැ. තමන්ට හැකි සෑම ආකාරයකින්ම දරුවන්ගේ අධ්‍යාපනයත්, ක්‍රීඩාවත් වෙනුවෙන් ඇන්තනීලගෙ අනෙක් අවශ්‍යතා දෙවැනි තැනට ගියා.

“පාරමී කිසිම දෙයක් බලකරලා ඉල්ලන ළමයෙක් නෙමෙයි. සමහර අවශ්‍යතාවන් අපි දැන ගන්නේ මෙයාලත් එක්ක පුහුණුවීම්වලට සහභාගී වෙන ළමුන්ගෙන්. නැත්නම් සර්ගෙන්. මොන අමාරුකම් තිබුනත් මහත්තයා ණයක් වෙලා හරි ඒ අවශ්‍යතාවන් පිරිමහනවා.” පාරමිගේ මව මාග්‍රට් නැවත පැවසුවා.

ලක්මාතාවට කීර්තිය ගෙනා දිරිය දරුවන් මාධ්‍යයට දැක්වූ අදහස්

නිමා වූ යොවුන් ඔලිම්පික් උළෙලේ දී මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමී ……

පාරමීගේ ගමන කටුක බැව් කවුරුත් දන්නා කරුණක්. ඇය තම තත්ත්වය ලොවට කීමට පැකිළුණේ නැහැ. ලෝකය ඉදිරියේ තම දුප්පත් කම නිරාවරණය වෙද්දී පාරමී තම දක්ෂතාවන් මතින් ජීවිතය ජය ගත්තා. රටට කීර්තිය ගෙන ආවා. පාරමී මේ ඉසව්වේ දී ලෝකයට නිරාවරණය වෙන්නේ ඇයත් පුහුණුකරු ජනිත් ජයසිංහ මහතාත් කරන ලද අරගලයක ප්‍රතිඵලයක් නිසා. ඒ අරගලය නොවන්නට අද අපට කතා කරන්නට පාරමී මාතෘකාවක් නොවීමට ඉඩ තිබුණා.

“පාරමී රුසියාවේ දී පැවති ආසියානු ළමා ක්‍රීඩා උළෙලේ දී මේ ඉසව්වෙන් රිදී පදක්කමත් මීටර් 400 සහාය දිවීමේ ඉසව්වට සහභාගී වෙමින් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා. නමුත් ඊට පස්සෙ කාලෙදි විශාල පසු බෑමකට ලක් වුනා. ඒකට හේතු වෙලා තිබුණේ ඇයගේ ශරීරයේ හිමොග්ලොබීන් ඌණතාවය තිබීම. මේක දුර දිවීමේ ක්‍රීඩිකාවකට දරා ගන්න බැරි දෙයක්. නමුත් ඇය මේ ඉසව්වේ දක්වන දක්ෂතා අනුව එතැනින් වෙනත් ඉසව්වකට මාරු කරන්න මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඇය මලල ක්‍රීඩා පිටියේ රඳවා ගන්න නම් අපිට ඒ වෙනස්කම කරන්න සිදු වුනා.” ජනිත් ජයසිංහ මහතා පැවැසුවා.

පාරමී සහ ඇගේ පුහුණුකරු

ඒ අනුව 2017 වසරේ දී පාරමී මීටර් 400 සහ 100 කඩුලු පැනීමේ ඉසව් ඇය තෝරා ගන්නවා. ඇය එම ඉසව්වලින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 300 තෙවැනි තැනත්, මීටර් 100 ඉසව්වෙන් දෙවැනි තැනත් ලබා ගන්නවා. ඒ වගේම ඇය පාසල් රගර් කණ්ඩායමේ පුහුණුවිම්වලට ද යොමු කරනවා. ඇය රග්බි ක්‍රීඩාවට පිවිස ඉතාම කෙටි කාලයකින් ශ්‍රී ලංකා යොවුන් බාලිකා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ඩුබායි හි පැවති සත් සාමාජික රග්බි තරගාවලිය ද නියෝජනය කරනවා.

මේ වසරේ මුල් කාර්තුවේ පැවති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දී පාරමි නැවත වතාවක් දුර දිවීමේ ඉසව්වන්ට සහභාගී වෙනවා. ඒ අත්හදා බැලීමක් ලෙසයි. එහි දී මිටර් 800ත්, මීටර් 1500ත් ඉසව්වලට සහභාගී වෙන පාරමී එම ඉසව් සාර්ථකව නිමා කරනවා. එම තරගවලින් අනතුරුව ය පාරමි තම සුපුරුදු ඉසව්වට යොමු වෙන්නේ.

“පාරමී මේ සියල්ලටම යොමු කළේ ඇයව යථා තත්ත්වයට පත් කර ගැනීම මූලිකම අරමුණු කර ගනිමින්. මොකද මගේ ඉලක්කය වුනේ පාරමී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ නිපුණයෙක් කරන්න. ඇයත් ඒ වෙනුවෙන් ඉතා කැමැත්තක් දැක්වූවා. මේ ඉසව්වට සහභාගී වීමේ අවශ්‍යතාව නිසාම පාරමී විශාල කැපවීමක් කළා. අපි කාලසටහනක් අනුව ඉතාම අසීරු පුහුණු සැසි විශාල ප්‍රමාණයක් කළා. කෑම බීමෙන් පවා පාලනය වුනා. අවසානයේ ඇය ජය ගත්තා. ඇත්තටම ඇය මේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. එහෙම නොවෙන්න අද මේ ඉසව්වේ පදක්කමක් අපට නැති වෙන්න තිබුණා.” ජනිත් ජයසිංහ මහතා අතීතය සිහිපත් කළා.

Image Courtesy – Kandula Yatawara

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ගැන කතා නොකරන මට්ටමකට වැටී තිබූ අවධියක රටක් අවදි කළේ පාරමී. ආජන්ටිනාවේ දී පසුගිය දා නිමා වූ තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ඇය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කමේ හිමිකාරිත්වය ලබා ගත්තා.

අනෙක් අතට පාරමි දිනා ගත් මෙම පදක්කම වසර ගණනාවකට පසුව මලල ක්‍රීඩාවෙන් මෙරටට ලැබූ පදක්කම ය. එබැවින් එහි අගය තව තවත් ඉහළ යන්නේ ය.  

“ඇත්තටම මේ පදක්කමේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ජනිත් සර්ට. සර් තමයි මාව මේ ඉසව්වට යොමු කළේ. ඒ වගේම මගේ දෙමාපියන්. මේ සියලුම දෙනා එක්ක අපි ගොඩාක් බාධාවලට මුහුණ දුන්නා. ඒ වගේ ම ගොඩාක් පුහුණුවීම් කළා. කැපවීම් කළා. අද ඒ දේවල්වල ප්‍රතිඵලය තියෙනවා. මට ගොඩාක් සතුටුයි ලැබූ මේ ජයග්‍රහණය ගැන.”  පාරමි ThePapare.com සමඟ පැවැසුවා.

පාරමි මේ පදක්කම දිනා දුන්නේ ශ්‍රී ලංකාවට ය. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූයේ ඇය ය. ඇයගේ පුහුණුකරුවා ය. තමන්ට හැකි ආකාරයෙන් උදව් පදව් කළේ දෙමාපියන් ය. හිතවතුන් ය. පාරමීට වගකිව යුතු තැන්වලින් යමක් ලැබුණා නම් ඒ ලැබුණේ සැබැවින් ම එයට ඇය ලැබිය යුතුම බැවිනි. ඊට වෙනත් සුදුස්සෝ නැති බැව් පාරමි ඔප්පු කර තිබූ බැවිනි.

එහෙත් යම් යම් කෙනෙහිලි නැත්තේ ද නොවේ. පාරමී ඒ ගැන  සිතන්නේ නැත. පුහුණුකරු ද, දෙමාපියන් ද පාරමී දුක දිනා ජය ගත් මේ පදක්කමේ අගය ගැන ඕනෑවටත් වඩා දනී. එබැවින් ඔවුන් නිහඬ ම මේ ජයග්‍රහණය සමරති. කතාන්දර කොතෙක්වත් තිබිය හැකියි. එහෙත් දක්ෂතා එසේ නොවේ.

“මට යන්න ගමනක් තියෙනවා. මම ඒ ගමන සර් එක්ක යනවා. මේ වෙනුවෙන් වෙනදටත් වඩා මට මහන්සි වෙන්න වෙයි. මම සූදානම් ඒ වෙනුවෙන් කැප වෙන්න. මට කවුරු නැතත් මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා. සර් ඉන්නවා. මට ආදරය කරන පිරිසක් ඉන්නවා. මම ඔවුන් වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරනවා.” පාරමී පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ය.

ඇයගේ අධිෂ්ඨානය ගැන අපට ඇත්තේ ගෞරවනීය හැඟීමකි. විශ්වාසයකි. මේ උත්සාහය තමන් දිනනවාටත් වඩා රටක් දිනවීමට කරන්නට සූදානම් වන අරගලයකි. එකී අරගලය ජයග්‍රහණය කිරීමට හැකි වේවායි මේ දිරිය දියණියට ThePapare.com හි සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

පාරමී පිළිබඳව ThePapare.com සැකසූ කෙටි වාර්තාමය වීඩියෝව.