නෑසුවෙමි නුදුටුවෙමි

621

2018 නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අප කෙදිනකවත් නෑසු නුදුටු සිදුවීම් අප හමුවේ තැබුවකි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය කෙතරම් වලපල්ලට ගොස් ඇති බව ද, ශ්‍රී ලංකා කණ්ඩායම (ඉදිරියේ දී ලොව ප්‍රමුඛ කණ්ඩායමක් වන්නට නම්) පීඩනය හමුවේ පන්දු යැවීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව ද, “ජයග්‍රහණය විඳදරාගන්නට” සෑම ක්‍රීඩා කණ්ඩායමක්ම හුරුවිය යුතු බව ද, ඉන්දියානු “තෙවන පෙළ” කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් වුව ජාත්‍යන්තරය තුළ ඉහළ මට්ටමක පවතින බව ද නිදහස් කුසලානයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උගත් දෑය.

මීට අමතරව ආසියාවට පොදු සතුරෙකු හමුවූ ක්‍රිකට් තරගාවලියක් ලෙස මෙය හැඳින්විය හැකිය. කලක් පුරාවට ඉන්දියාව සමඟින් ආරෝවක් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක හදවත් ජයගන්නට ඉන්දියානුවන් සමත් වූයේ ද මෙම තරගාවලියේ දීයි. තරගයෙන් තරගයට අප දුටු සුවිශේෂී සිදුවීම් කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

’97 නිදහස් කුසලානයේ සොඳුරු මතකයන්

නිදහස් කුසලානය… මෙය කනට හුරු නාමයකි. කාටද? යන එන අතරමගදී පොකට් රේඩියෝව.

පළමු විස්සයි විස්ස ජයග්‍රහණය

තිසර පෙරේරා තරග ජයෙන් පසුව ප්‍රතිවාදීන්ට සුබ පතමින්

තරගාවලිය ඇරඹෙද්දී ශ්‍රී ලංකාවේ පරම සතුරන් වූයේ ඉන්දියානුවන් බව කීවහොත් කිසිවෙකු මා හා අමනාප නොවනු ඇත. දැනට තත්වය නම්, ඉන්දියාවට එරෙහිව වචනයකින් හෝ රිදවන්නට ශ්‍රී ලාංකිකයන් සූදානම් නොමැති බවයි. ඊට හේතු පසුවට කතාබහ කරමු.

එහෙත් 2017 අගෝස්තු මාසයේ සිට ගතවූ මාස 7ක කාලයේ දී ඉන්දියාව හමුවේ ක්‍රීඩා කළ සීමිත ඕවර (එක්දින/ විස්සයි විස්ස) තරග 8න් ශ්‍රී ලංකාව ජයගත් දෙවැනි තරගය බවට නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පත්විය. ඉන්දියානුවන් විසින් පැවරුණු ලකුණු 175ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවෙමින් හඹා යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ කුසල් පෙරේරාගේ ගිනිකෙළි සංදර්ශනයකින් පසුවයි.

කුසල්ගේ කුසල් බලවත් වේ

කුසල් ජනිත් පෙරේරාගේ බොහෝ ඉරියව් සනත්ට සමානය

පළමු තරගයේ දී ඔහු පන්දු 37ක දී රැස්කළ ලකුණු ප්‍රමාණය 66කි. මීළඟ තරගයේ දී පන්දු 48ක දී ලකුණු 74ක් වාර්තා කරන්නට කුසල් සමත් විය. පසුව ස්ථිරවම ජයගත යුතුව තිබූ 6 වැනි තරගයේ දී අපහසු අඩියක සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ලකුණු 61ක් වාර්තා කළේ පන්දු 40ක දීයි. එහි දී බොහෝ විට අපට සනත් ජයසූරියව සිහිවිය. ඒ කුසල්ගේ පහරවල්වල බර හේතුවෙනි. ඔහු සිටින, දිවයන, පහරදෙන බොහෝ ඉරියව් සනත්ට සමානය. කුසල් පෙරේරා තරගාවලිය පුරා ලකුණු 204ක් රැස්කළේ 51.00ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. ප්‍රහාරාත්මක වේගය 158.13කි.

සුන්දර, තරුණ ගැටයා

දුස්රා පන්දු හෝ කැරම් පන්දු යනු ඔබගේ ප්‍රධානතම ආයුධ නොවිය යුතුය

වයස අවුරුදු 18ක තරුණ ගැටයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් වෙත පුදකිරීමේ දී ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් දක්වා තිබූ විශ්වාසය සහ ක්‍රමවේදය විශ්මිතය. ඉන්දියානු කණ්ඩායමේ ප්‍රමුඛතම දඟපන්දු යවන්නන් දෙදෙනෙකුම රහිතව (රවී අශ්වින්, රවී ජඩේජා) පළමු පන්දුවාර 6 ඇතුළත ප්‍රතිවාදීන්ට පන්දු යැවීමේ අභියෝගය වොෂින්ටන් සුන්දර් හට හිමිවූ අතර ඔහු එය කිසිවෙකුත් නොසිතූ ආකාරයෙන් ජයගත්තේය.

ඔහු තරගාවලිය අවසන් කළේ තරග 5ක දී පන්දුවාර 20ක් යවා ලකුණු 114ක් ලබා දී කඩුලු 8ක් ලබාගනිමින් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වෙමිනි. කිසිදු “අමුතු පන්දුවකින්” තොරව, හරි ආකාරයට පිට දඟපන්දු යැවීමෙන් පමණක් සාර්ථක වන්නට ඔහු සමත් වුනේ “පිට දඟපන්දුකරණය” යනු නිසි ආකාරයට කිරීමෙන් සාර්ථක විය හැකි බව යළිත් පසක් කරමිනි. දුස්රා පන්දු හෝ කැරම් පන්දු යනු ඔබගේ ප්‍රධානතම ආයුධය නොවිය යුතුය.

214 ඉදිරියේ නයි නැටුම්?

නයි නැටුම් රඟදක්වද්දී ජයග්‍රහණයේ ඔපය හපයක් වී ගියේය.

බංගලාදේශයට එරෙහිව පැවති ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා ප්‍රදර්ශනය වූවකි. එහෙත් එය ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ නැත. සුපුරුදු පරිදි පීඩනය මැද ශ්‍රී ලංකා පන්දු යවන්නන් දියාරු වී ගියේය.

චන්දික හතුරුසිංහ බංගලාදේශය හැරගොස් ශ්‍රී ලංකා පුහුණුකාරීත්වය භාරගැනීමෙන් පසු බංගලාදේශය සෑමවිටම ශ්‍රී ලංකාව හමුවේ ක්‍රීඩා කරන්නේ ආවේගශීලීව ය. 214ක ඉලක්කය හඹායමින් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් පා ඉන්න දෙසින් ලකුණු රැස්කරද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ට ඒ සඳහා දැඩි සහයක් ලබා දුන්නේය. 

පන්දු 5ක් සාර්ථකව යවා 6වැනි පන්දුවේ දී ඒ සියල්ල අසාර්ථක කරගැනීම මෙහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් දුටු දුර්වලතාවයයි. බංගලාදේශය තරගය ජයගත් ආකාරය පැසසිය යුතු නමුත් ජයග්‍රහණය විඳදරාගැනීමේ ගුණය තවමත් ඔවුන්ට පිහිටා නැති අයුරක් දිස්විය. තරගය අවසන් කළ මුෂ්ෆිකර් රහීම් තිසර පෙරේරා හමුවේ නයි නැටුම් රඟදක්වද්දී ජයග්‍රහණයේ ඔපය හපයක් වී ගියේය. තරගයක ජයග්‍රහණය සතුටින් සමරනවාට වඩා ආවේගය ප්‍රබල වූ අතර එය හතුරුසිංහ වෙනුවෙන් සිදු කළ බව බංගලාදේශ ක්‍රීඩකයන් කීවේය.

පාලනය කරගත නොහැකි වූ උෂ්ණය

මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවාගත් අමිල අපෝන්සු නයි නැටුමට ප්‍රතිචාර දැක්වූයේ නළාවක් පිඹින ආකාරයෙනි.

තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ තරගය ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවැනි තරගයයි. අවසන් තරගයට පියමැනීමට නම් මෙය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අත්‍යාවශ්‍ය විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 41ක් ලබා අසීරු තත්වයක සිටිය දී කුසල් පෙරේරා අනර්ඝ ඉනිමකින් ශ්‍රී ලංකා ඉනිම ගොඩගත්තේ තිසර පෙරේරාගේ සහයත් සමඟිනි.

පළමු තරගයෙන් පාඩමක් ඉගෙන ගත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් යම් ආකාරයකට සාර්ථකව පන්දු යැවූව ද ලකුණු සිරකිරීම අතින් ඔවුන් සාර්ථක වූයේ නැත. මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවාගත් අමිල අපෝන්සු නයි නැටුමට ප්‍රතිචාර දැක්වූයේ නළාවක් පිඹින ආකාරයෙනි.

අවසන් පන්දුවාරය තෙක් තරගය උණුසුම්ව ඇදීගිය අතරේ උණුසුම් සිද්ධි කිහිපයක්ම පිටිය මැද සිදුවිය. අවසන් පන්දුවාරයේ දී ලකුණු 12ක් පසුපසින් සිටි බංගලාදේශ ක්‍රීඩකයන් වෙත පිට පිට බවුන්සර් පන්දු දෙකක් යවමින්, දුවද්දී දවා ගැනීමක් ද සාර්ථක කරගන්නට ඉසුරු උදාන සමත් විය. උණුසුම පිටාර ගැලුවේ ඒ මොහොතේ දීයි.

ෂකීබ් අල් හසන් පිටිය තුළ සිටින බංගලාදේශ පිතිකරුවන්ට පිටතට එන්නැයි කෑගසන්නට විය

පළමු බවුන්සර් පන්දුව විනිසුරු අතින් සංඥා නොවීම නිසා පිටියෙන් පිටත සිටි බංගලාදේශ පිතිකරුවන් කලහකාරී වන්නට විය. කණ්ඩායම පමණක් නොව පුහුණුකරු ද අත් පා විසිකරමින් හැසිරෙනු දැකිය හැකිවූ අතර තරගාවලියේ පළමු තරගයට සහභාගී වී දැවී ගොස් සිටි ෂකීබ් අල් හසන් පිටිය තුළ සිටින බංගලාදේශ පිතිකරුවන්ට පිටතට එන්නැයි කෑගසන්නට විය.

එතැන දී ජලය එහා මෙහා ගෙනයන්නන් බංගලාදේශ ක්‍රීඩකයන්ට පණිවිඩ රැගෙන යන අතර වචන හුවමාරු කිහිපයක්ම සිදු වූයේ ශ්‍රී ලංකා සහ බංගලාදේශ ක්‍රීඩකයන් අතරයි.

එය අලුත් සටනක ඇරඹුමක් විය
අතිරේක ක්‍රීඩක නුරුල් හසන් විසින් තිසර පෙරේරාට දබරැඟිල්ල උලුක් විය

එහෙත් කෙසේ හෝ නැවත තරගය පැවැත්වූ අතර හයේ පහරක් සමඟින් තරගය ජය ගන්නට බංගලාදේශ නායක මහමුද් උල්ලා සමත් විය. නැවතත් බංගලාදේශයේ ජයග්‍රහණයේ සතුට ආවේගයක් බවට පත්වූයේ ඉන් පසුවයි.

ජයග්‍රහණයේ සතුට ආවේගයක් බවට පත්වූයේ ඉන් පසුවයි

පිටිය මැදට විත් ප්‍රේක්ෂකයන් අරමුණු කොට නයි නැටුම් දැක්වූ බංගලාදේශ “පොඩි කොල්ලන්” මහත්වරුන්ගේ ක්‍රීඩාව තුට්ටුවකට මායිම් නොකරමින් ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වචන දෙසන්නට ද විය. දබරැඟිලි එල්ල කරමින් සිදු කළ එවැනි වාග් ප්‍රහාරයන් ඇතැම් විට කුසල් මෙන්ඩිස් වැනි තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ද දරාගත නොහැකි විය. ආර්. ප්‍රේමදාස පිටිය එකම යුධ පිටියක් ලෙසින් දිස්විය.

අවාසනාවන්තම තත්වය නම් බංගලාදේශ ක්‍රීඩාගාරයේ වීදුරු ද්වාරය ඔවුන් විසින් කුඩුපට්ටම් කර ඇති පුවත පසුදින සැලවීමයි. එවන් ක්‍රිකට් පුවත් අප කිසිදිනෙක අසා තිබුණේ නැත. දහසක් කම්කටොළු මැද ලෝක කුසලානයක් දිනාගත් 1996 ශ්‍රී ලංකා කණ්ඩායම පවා එවන් විකට රැඟුම් නොදැක්වුවේය. මේ තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි.

@Indianexpress.com – ක්‍රිකට් ක්‍රීඩකයන් එතරම් බාලයන් විය යුතු නැත.

කෙසේ වෙතත් තරගාවලිය එතැනින් අවසන් නොවීය. අවසන් මහා තරගයට ඉන්දියාවත් බංගලාදේශයත් සුදුසුකම් ලබාගත් අතර ඉතිහාසයේ කිසිදිනෙක නුදුටූ විරූ පරිදි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඉන්දියාව පිටුපසින් රොද බඳින්නට විය.

තරගය අවසානයේ පළමු වරට අතිරේක ක්‍රීඩකයෙකු (නුරුල් හසන්) හට ICCය හරහා දඩ නියම විය. ෂකීබ් ද දඩ කෑවේය. එය ප්‍රමාණවත් ද නොවේ දැයි සැකයක් ඇතත් අවසන් තරගය අප අභිමුවෙහි තිබිණි.

ඉන්දියාවේ කොටසක් වූ ශ්‍රී ලංකාව

මාර්තු 18 වැනිදා රාත්‍රියේ ප්‍රේමදාස ක්‍රීඩාංගණය දිස්වූයේ කල්කටා නගරයේ ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණය මෙනි. ඉන්දියානුවන් පිටුපස ජාතීන් දෙකක් විය. ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ඉන්දියානු ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ධජයක් සමඟින් තරගය නරඹනු අපි දුටුවෙමු. “මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්!” ඔවුන් කියන්නේ යැයි අපි සිතුවෙමු.

බංගලාදේශය පළමුවෙන් පන්දුවට පහර දෙන විට ඉන්දියානුවන් හොඳින් පන්දු යවමින් සිටියේය. බංගලාදේශ පිතිකරුවන්ගෙන් සබ්බීර් රහමාන් පමණක් සාර්ථක වූයේ පන්දු 50ක් තුළ ලකුණු 77ක් වාර්තා කරමිනි. ඔවුන් ඉන්දියාවට ලබා දුන් ඉලක්කය 167කි. 

ප්‍රේමදාස ක්‍රීඩාංගණය දිස්වූයේ කල්කටා නගරයේ ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණය මෙනි

ඉන්දියානු පිතිකරුවන් කෙමෙන් තරගය සිදුකරගෙන යන අතර බංගලාදේශය ඔවුන් සමඟත් මානසික ක්‍රීඩාවේ යෙදෙන්නට විය. පන්දු යැවීමේ දී කළ වෙනස්කම් සහ පන්දු ඕවර වේගය උවමනාවෙන්ම වෙනස් වනු ද දැකිය හැකි විය.

ලකුණු වේගය මඳක් බාල වී නිලකුණු පන්දු ප්‍රමාණය ද ඉහළ යද්දී, ඉන්දියානු පුහුණුකරු විසින් ආධුනික ක්‍රීඩක විජේ ශංකර්ව පිටියට එව්වේ ඉක්මන් ලකුණු කිහිපයක් ලබා ගැනීමේ අදහසිනි. එහෙත් ඔහුගේ අත්දැකීම් මඳකම නිසා ඔහු පිටිය මැද සිරකරුවෙකු විය. ඔහුගේ පීඩනය මනීෂ් පාන්ඩේ හට ද දැනුණු අතර ඔහු ද දැවී ගියේ 5 වැනි ඉන්දියානු කඩුල්ල ලෙසයි.

DK විශ්මය

අවසන් පන්දුවාර දෙකෙහි දී ඉන්දියානුවන්ට හිමිව තිබූ ඉලක්කය ලකුණු සංඛ්‍යාව 34කි. ඒ ඉන්දියානු කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි නැත. විරාත් කෝලි නැත.

කඩුලු 5ක් දැවී තිබිය දී පිටියට පිවිසි දිනේෂ් කාර්තික් කුමක් කරාවි දැයි සියලු දෙනා දෑස් දල්වා බලා සිටියේය. ප්‍රේමදාස පිටිය කුඩා එකක් ද නොවේ, පන්දු වාරයකට ලබාගත යුතු ලකුණු ප්‍රමාණය ද කුඩා එකක් නොවේ. එහෙත් දිනේෂ් කාර්තික් පමණක් කුඩා ය.

icc-cricket.com-  DK කුඩා ක්‍රීඩකයෙකි

එහෙත් අත්දැකීම් සහ හැකියාව එකට එක්වන වර්ණවත් මොහොත උදාවූයේ ඉන් පසුවයි. 19 වැනි පන්දු වාරය යවමින් සිටි රූබල් හුසේන් යැවූ පළමු පන්දුවටම 6 පහරක් එල්ල කරමින් තමන්ගේ සටන නිම නොවූ බව දැනුම් දුන් දිනේෂ් කාර්තික්, 4, 6, 0, 2, 4ක් වශයෙන් පන්දුවාරය අවසන් කළේය.

අවසන් පන්දුවාරය හිමි වූයේ සෞම්‍ය සර්කාර් හටයි. පිතිකරණයේ යෙදී සිටියේ අත්දැකීම් මඳ ශංකර් ය. පළමු පන්දුව වයිඩ් පන්දුවකි. දෙවැන්නට ඔහුට පහරක් එල්ල කළ නොහැකි විය. දිනේෂ් කාර්තික්ගේ IPL අත්දැකීම් සහ ජාත්‍යන්තර අත්දැකීම් කරළියට එන්නේ ඒ මොහොතේ දීයි.

@twimg.com – කාර්තික්, රටවල් දෙකකට ජයග්‍රහණ ගෙන ආවේය

ශංකර්ට එක් ලකුණක් ලබා ගන්නටැයි කියූ කාර්තික්, පසුව තවත් එක් ලකුණක් කරා දිවගියේය. මීළඟ පන්දුව තර්ඩ් මෑන් හරහා හතරේ සීමාව තරණය කරද්දී ඉන්දියාවට පන්දු 2ක් තුළ ලකුණු 5ක් අවශ්‍ය විය. ශංකර් දැවී ගියේ මේ අතරයි. එහෙත් උඩපන්දුව ගුවනේ පාවෙමින් තිබිය දී පැති මාරුකරගත් කාර්තික් අවසන් පන්දුවට සූදානම්ව සිටියේ නිසොල්මන් මනසක් සහිතවයි.

අවසන් පන්දුව එල්ල වූයේ පිට ඉන්නට ඈතිනි. එහෙත් එය එක්ස්ට්‍රා කවර් හරහා හයේ සීමාව වෙත එල්ල කළ කාර්තික්, රටවල් දෙකකට ජයග්‍රහණ ගෙන ආවේය. එය බංගලාදේශයට මරු පහරක් ද, ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් හට උත්තේජනයක් ද වූයේ අමිහිරි මතක අමතක වන මිහිරක් ගෙන එමිනි.

ඔබට?

2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ ඒ අයුරිනි. ඕනෑවට වඩා ඉදිමෙන්නන්, අත්දැකීම් නොලබා පරාජයට පත්වන්නන් සහ ශක්තිමත් හිත් ඇත්තන් යන තෙවර්ගයම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හමුවේ කැපී පෙන්වමින්, නෑසු නුදුටු බොහෝ දේ අපට අහන්නට දකින්නට සැලැස්වූ තරගාවලියක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඔබේ සිතෙහි රැඳුණු 2018 නිදහස් කුසලාන මතකය කුමක්ද?

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<