බෝල්ට් නැති අඩුව මකන්නට සමර්විල්

නවසීලන්තයේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2019/20 

95

දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක විල් සමර්විල් ඕස්ට්‍රේලියාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ දෙවන ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ගේ ආදේශය ලෙසයි. 

කිවියන් දණ ගස්වමින් කැන්ගරුවන්ට තවත් ටෙස්ට් තරගාවලි ජයක්!

සමස්ථ ක්‍රිකට් ලෝකයටම අභියෝග කරමින් තමන් “පහසුවෙන් පරාජය කළ නොහැකි” අද්විතීය කණ්ඩායමක් බව…

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අද (29) දින නිමාව දුටු දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 247 ක දැවැන්ත පරාජයකට උරුමකම් කීමට නවසීලන්තයට සිදුවිය. එම තරගය අතරතුර නවසීලන්තය සතු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන ට්‍රෙන්ට් බෝල්ට්ගේ දකුණු අතෙහි අස්ථි බිඳීමක් සිදුවීම නිසා දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව බෝල්ට් හට අහිමි වී ඇත. එම නිසා විල් සමර්විල් නවසීලන්ත සංචිතයට වහාම කැඳවීමට ඔවුන් තීරණය කර ඇත.

වයස අවුරුදු 35 ක් වන විල් සමර්විල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේ  පසුගිය වසර අවසානයේ දී පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දීය. එහිදී ඔහු කඩුලු 7 ක් දවා ගනිමින් නවසීලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක් හිමිකර දීමට සවියක් විය. 

අනතුරුව පසුගිය අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියේ දීද සිය තුන් ඉරියව් දස්කම් පෙන්වූ සමර්විල්, දවාගත් කඩුලු 7 ට අමතරව පිතිකරණයෙන් ද සැලකිය යුතු දස්කම් දක්වමින් ලකුණු අතරට පිවිසියේ ලකුණු 49 ක් රැස්කර ගැනීමට සමත් වෙමිනි. එම තරගාවලිය 1-1 ක් ලෙස සම කරගැනීමට  නවසීලන්තය සමත් වූ අතර ඒ සඳහා සමර්විල් ද කැපී පෙනෙන දායකත්වයක් දක්වන ලදි. 

අවාසනාවන්ත ලෙස නවසීලන්ත ටෙස්ට් සංචිතය තුළ සිටි වේගපන්දු යවන්නෙකු අහිමි වීම නිසාවෙන් එයට ආදේශකයක් ලෙස දඟපන්දු යවන්නෙකු කැඳවීම, දෙරට අතර අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙන සිඩ්නි තණතීරුව දඟපන්දු යවන්නට හිතකර වීමට වැඩි ඉඩක් ඇති බවට ඉඟි පළ කරන සාධකයකි. කෙසේ නමුත් සමර්විල් නවසීලන්ත ටෙස්ට් සංචිතයට පැමිණීමත් සමඟම ඔවුන්ගේ සංචිතය තුළ සිටින දඟපන්දු යවන්නන් ගණන තුන දක්වා ඉහළ යන අතර මිචෙල් සැන්ට්නර් සහ ටොඩ් ඇස්ට්ල් සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නන් දෙදෙනා යි. 

“ඕස්ට්‍රේලියාවේ තිබෙන දඟපන්දු යවන්නන්ට හිතකරම තණතීරුව වන්නේ සිඩ්නි තණතීරුව යි. එකේ ආයිත් කිසිම සැකයක් නැහැ. අපේ සංචිතය තුළ දැනට ඉන්න දඟපන්දු යවන්නන් දෙදෙනාට වඩා වෙනස් ආකාරයක දෙයක් සමර්විල් එම තණතීරුව මත දී කරයි කියලා මට පුහුණුකරු ලෙස ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ඔහු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි වලදී සිඩ්නි ක්‍රිකට් පිටියේ ගොඩාක් තරග සෙල්ලම් කරලා තිබෙනවා. මොකද ඔහු නියෝජනය කරපු නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩා පිටිය වෙන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රිඩාංගණය යි.”  යැයි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ගැරී ස්ටෙඩ් මහතා පැවැසීය. 

ආනන්ද – නාලන්ද නවසීලන්ත සුලෝහිත සංග්‍රාමයට දින තීන්දුයි

නවසීලන්තයේ පැවැත්වෙන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජනවාරි 19 වන ඉරිදා දිනයේ දී ටකපුනා ක්‍රිකට්…

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගාවලියක් වන මෙම තරගාවලිය මේ වනවිට ඕස්ට්‍රේලියාව තරග 2-0 ක් ලෙස ජයග්‍රහණය කර තිබෙන අතර දෙරට අතර අවසන් ටෙස්ට් තරගය ජනවාරි 03 වැනිදා සිඩ්නි හිදී ආරම්භ වීමට නියමිතව ඇත. 

දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තතු දැනගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<