තර්ජිනිගෙන් නව වාර්තාවක් සමඟින් සිංගප්පූරුව පරාජය කරයි

4860

2019 ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ සිව්වැනි තරගය අද (15) සිංගප්පූරුව සමඟින් ලිවර්පූල්හි M&S Bank Arena හිදී නිමාවට පත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිංගප්පූරුව පරාජය කළේ ලකුණු 88-50ක් ලෙසිනි. තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට තර්ජිනී සිවලිංගම් සමත් වූ අතර ඇය වාර්තා කළ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 76කි. 

ලෝක ශූරියෝ හමුවේ දුලංගිගේ දස්කම් කැපී පෙනෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තෙවැනි තරගය අද (14)…

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගි වූ තරගවල දී සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය හා ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමට සිදු වූ අතර එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන වටයේ E කාණ්ඩයට ඇතුළත් වීමට සිදු විය. 

පළමු වටයේ කාණ්ඩවල අවසන් ස්ථාන ලබා ගත් කණ්ඩායම් එලෙස E කාණ්ඩයට ඇතුලත්ව සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟින් සිංගප්පූරුව, සැමෝවා හා ෆීජි කණ්ඩායම් එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වේ. මෙම කාණ්ඩයේ දී කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව තරගාවලියේ 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් සිදුවීමට නියමිතයි. 

තරගය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටන් කළ අතර මිනිත්තු දෙකක් තුල ලකුණු 3-2ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් විය. 

නමුත් ඉන් පසුව තරගයේ සියලු ග්‍රහණය තමන් සතුකර ගැනීමට තර්ජිනී ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පළමු කාර්තුවේ මුල් මිනිත්තු 15 ඔවුන් නිමා කළේ ලකුණු 21-11ක් ලෙස පෙරමුණ ගනිමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කළ සියලු ආරක්ෂක උපක්‍රම අකුරටම ක්‍රියාත්මක වූ අතර අවස්ථාවන් ගණනාවක දී ම සිංගප්පූරු ක්‍රීඩිකාවගෙන් පන්දුව උදුරා ගැනීමට ඔවුන් සමත් වූයේ සිංගප්පූරුව දිගු පන්දු ‍යොමු කිරීම්වලට පෙළඹවමිනි. එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් පහසුවන්ම පන්දුව තර්ජිනී වෙත යොමු කළ අතර ඇය පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරතරයක් ලබා දීමට සමත් විය. (පළමු අර්ධය: ශ්‍රී ලංකාව 45 – 22 සිංගප්පූරුව)

19 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවෙන් 9 උතුරු අයර්ලන්තයට සටනක්

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන “2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන…

ගයාන්ජලී අමරවංශ, නවුචලී රාජපක්ෂ හා දුලංගි වන්නිතිලක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූයේ සිංගප්පූරු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. 

තරගාවලියේ මුල් තරග ආරම්භ කළ හසිතා මෙන්ඩිස් වෙනුවට වන්නිතිලක කැඳවා තිබූ අතර එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට වන්නිතිලක සමත් වූයේ ප්‍රබල පාද චලන මගින් තර්ජිනීගේ ලකුණු ලබා ගැනීමට මනා රුකුලක් ලබා දෙමිනි. තුන්වැනි කාර්තුව අවසන් වූයේ ලකුණු 35ක පරතරයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමිනි. තුන්වැනි කාර්තුව අවසන් වූයේ ලකුණු 71-36 ක් ලෙසිනි. 

සිව්වැනි කාර්තුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට ශ්‍රී ලංකා පුහුණුකාරිය වන තිලකා ජිනදාස මහත්මිය කටයුතු කළ අතර ඒ අනුව දුලංගා ධනංජි, දර්ශිකා අබේවික්‍රම, එලින්තිනී සේතුකාවලර් හා දීපිකා දර්ශනී තරගය වෙත ඇතුළත් කෙරිනි. එම කාර්තුවේ දී යම් තරගයක් දීමට සිංගප්පූරුව සමත්වුවද කාර්තුව නිමා වූයේ ලකුණු 17-14ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. (අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 88 – 50 සිංගප්පූරුව) 

තරගයේ දී තර්ජිනී සිවලිංගම් ලකුණු 76ක් තම නම ඉදිරියේ සටහන් කර ගත් අතර එය එක් ක්‍රීඩිකාවක් මෙවර ලෝක කුසලානයේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. හසිතා මෙන්ඩිස්, දුලංගා ධනංජි හා එලින්තිනී සේතුකාවලර් ලකුණු 12 ක් රැස්කිරීමට සමත් වූයේ උත්සාහයන් 14කිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී ගත් උත්සාහයන් 92ක් තුල දී ලකුණු 88ක් වාර්තා කර තිබුණි. 

 

ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ තරගය සැමෝවා කණ්ඩායම සමඟින් හෙට (16) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට පැවැත්වීමට නියමිතයි. සැමෝවා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරිම්වල 14 වැනි ස්ථානයේ ‍පසුවේ. 

ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයේ තවත් තරග කීපයක් අද පැවැත්විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ දී හොඳ සටනක් දෙයි

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන “2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය” අද (12) ආරම්භ විය. තරගාවලියේ පළමු වටයේ තරග 4ක් …

සිම්බාබ්වේ හා නවසීලන්තය 

සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර තරගයේ අවසන් ලකුණු තත්ත්වය ලකුණු 79-36ක් ලෙස නවසීලන්තයට ජයගෙන එමින් අවසන් විය. 

  • පළමු කාර්තුව: නවසීලන්තය 21 – 10 සිම්බාබ්වේ 
  • දෙවන කාර්තුව: නවසීලන්තය 19 – 08 සිම්බාබ්වේ 
  • තුන්වැනි කාර්තුව: නවසීලන්තය 19 – 08 සිම්බාබ්වේ 
  • සිව්වැනි කාර්තුව: නවසීලන්තය 10 – 20 සිම්බාබ්වේ 

උතුරු අයර්ලන්තය හා මලාවි

තියුණු සටනකින් අනතුරුව උතුරු අයර්ලන්තය පරාජය කිරීමට මලාවි කණ්ඩායම සමත් වූයේ ලකුණු 4ක පරතරයකිනි. අවසන් ලකුණු තත්ත්වය ලකුණු 47-43ක් ලෙස දැක්විය.

  • පළමු කාර්තුව: උතුරු අයර්ලන්තය 9 – 12 මලාවි 
  • දෙවන කාර්තුව: උතුරු අයර්ලන්තය 11 – 10 මලාවි 
  • තුන්වැනි කාර්තුව: උතුරු අයර්ලන්තය 12 – 12 මලාවි 
  • සිව්වැනි කාර්තුව: උතුරු අයර්ලන්තය 11 – 13 මලාවි 

ඕස්ට්‍රේලියාව හා බාබඩෝසය

ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වීමට බාබඩෝසයට සිදු වූ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 91-22ක් ලෙසිනි. 

  • පළමු කාර්තුව: ඕස්ට්‍රේලියාව 23 – 05 බාබඩෝසය
  • දෙවන කාර්තුව: ඕස්ට්‍රේලියාව 23 – 02 බාබඩෝසය
  • තුන්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 25 – 08 බාබඩෝසය
  • සිව්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 20 – 07 බාබඩෝසය

උගන්ඩාව හා ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට උගන්ඩාව සමත්වූයේ ලකුණු 3 ක පරතරයකිනි.

  • පළමු කාර්තුව : උගන්ඩාව 15 – 17 ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ 
  • දෙවන කාර්තුව උගන්ඩාව 15 – 14 ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ 
  • තුන්වන කාර්තුව : උගන්ඩාව 16 – 10 ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ 
  • සිව්වන කාර්තුව : උගන්ඩාව 11 – 13 ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ 

අවසන් ලකුණු තත්ත්වය : උගන්ඩාව 57 – 54 ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ 

දකුණු අප්‍රිකාව හා ස්කොට්ලන්තය

ස්කොට්ලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර මුල් කාර්තු වලදී ස්කොට්ලන්තය එල්ල කල අභියෝගය සාර්ථකව පාලනය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය. 

  • පළමු කාර්තුව : දකුණු අප්‍රිකාව 15 – 10 ස්කොට්ලන්තය
  • දෙවන කාර්තුව : දකුණු අප්‍රිකාව 17 – 10 ස්කොට්ලන්තය
  • තුන්වන කාර්තුව : දකුණු අප්‍රිකාව 17 – 12 ස්කොට්ලන්තය
  • සිව්වන කාර්තුව : දකුණු අප්‍රිකාව 17 – 06 ස්කොට්ලන්තය

අවසන් ලකුණු තත්ත්වය  : දකුණු අප්‍රිකාව 66 – 38 ස්කොට්ලන්තය

ජැමෙයිකාව හා එංගලන්තය 

කාර්තු දෙකකම ලකුණු සමානවූ මෙම තරගයේ එංගලන්තය තියුණු සටනකින් අනතුරුව ජයග්‍රහණය වාර්තා කලේ ලකුණු 48-56 ක් ලෙසිනි. 

  • පළමු කාර්තුව : ජැමෙයිකාව 12 – 14 එංගලන්තය 
  • දෙවන කාර්තුව : ජැමෙයිකාව 14 – 14 එංගලන්තය 
  • තුන්වන කාර්තුව : ජැමෙයිකාව 10 – 16 එංගලන්තය 
  • සිව්වන කාර්තුව : ජැමෙයිකාව 12 – 12 එංගලන්තය 

අවසන් ලකුණු තත්ත්වය : ජැමෙයිකාව 48 – 56 එංගලන්තය

ෆීජි හා සැමෝවා  

සැමෝවා කණ්ඩායම තුන්වන කාර්තුවේදී යම් පසුබෑමකට ලක්වූ අතර එයින් උපරිම ප්‍රයෝජනය ලබාගත් ෆීජි කණ්ඩායම තරගය ජයග්‍රහණය කලේ ලකුණු එකකිනි. 

  • පළමු කාර්තුව : ෆීජි 16 – 18 සැමෝවා 
  • දෙවන කාර්තුව : ෆීජි 14 – 15 සැමෝවා 
  • තුන්වන කාර්තුව : ෆීජි 12 -07 සැමෝවා 
  • සිව්වන කාර්තුව : ෆීජි 12 – 15 සැමෝවා 

අවසන් ලකුණු තත්ත්වය : ෆීජි 54 – 55 සැමෝවා 

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<