මෙවරත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය තුල විශිෂ්ට දස්කම් ප්‍රකට කරමින් මහනුවර කණ්ඩායමට පමණක් දෙවැනිව තරගාවලිය අවසන් කල කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ලීග් තරගාවලියේ අවසන් තරගය ද ජයග්‍රහණයකින් ම කෙලවර කරන්නට සමත් විය. ඒ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී සත්කාරක නාවිකයන් ලකුණු 36 – 28ක් ලෙස පරාජය කරමිනුයි.

අවසන් මොහොතේ දඬුවම් පහරින් CR කණ්ඩායමට ජය

ආබාධ හේතුවෙන් අහිමි වූ කාලය වෙනුවෙන් ලබා දෙන අතිරේක මිනිත්තු කිහිපයේ අවසන් මොහොතේ නලින් කුමාර මීටර් 45ක පමණ දුරක සිට වාර්තා කල විශිෂ්ට දඬුවම් පහර හේතුවෙන්…

පසුගිය සති අන්තයේ දී ශූරතා සිහිනය මහනුවර කණ්ඩායම හමුවේ බිඳ දමා ගත් හැව්ලොක් කණ්ඩායම මෙම තරගයට පිවිසුනේ අනුශූරතාව තම කණ්ඩායමට අහිමිව යාමට ඇත්තේ නොගිනිය හැකි තරම් කුඩා ඉඩ ප්‍රස්තාවක් පමණක් වන බව සිහි තබාගෙනයි. (නාවික හමුදාවට අනුශූරතාව ලබා ගනීමට නම් මෙම තරගය ලකුණු 90කටත් වඩා වැඩි පරතරයක් සහිතව ජයග්‍රහණය කල යුතුව තිබුණි.). කෙසේ වෙතත් මේ සියලු ගණනය කිරීම් පසෙකට ඇද දැමූ හැව්ලොක් ක්‍රීඩකයින් තරගය ජය ගනිමින් අනුශූරතා කුසලානය කොළඹට රැගෙන යන්නට සමත් විය.

ක්‍රීඩාවට උචිත කාලගුණ තත්ත්වයක් යටතේ තරගය ආරම්භ වී මිනිත්තු 2ක් ගත වන්නටත් මත්තෙන් හැව්ලොක් අර්ධය තුල ලැබුණු දඬුවම් පහරක් ඉක්මනින් ලබා ගත් රිචී ධර්මපාල පන්දුව රැගෙන ඉදිරියට ගොස් එය ස්ටෙෆාන් ග්‍රෙගරි හට භාර දුන්නේ තරගයේ පළමු උත්සාහක දිනුමට මග විවර කරමිනුයි. තිලින වීරසිංහ සාර්ථක ප්‍රවර්ථනයක් ද එල්ල කරන ලදී. (නාවික හමුදාව 07 – 00 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම තරග ආරම්භයේ දී මදක් නිද්‍රාශීලී තරග රටාවක් පෙන්නුම් කලද, කෙමෙන් සුපුරුදු රිද්මයට පැමිණි ඔවුන් තරගයේ 21 වන මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. එහි අයිතිය හිමිවුණේ හිරන්ත පෙරේරා හටයි. කෙසේවෙතත් ඔහු විසින්ම එල්ල කල ප්‍රවර්තනය අසාර්ථක විය. (නාවික හමුදාව 07 – 05 හැව්ලොක්)

ඉන් අනතුරුව මිනිත්තු 10ක පමණ කාල සීමාවක් තරගයේ පාලනය පැවතුනේ හැව්ලොක් කණ්ඩායම සතුවයි. එහි අග්‍ර ඵලය ලෙස උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ඔවුන් සමත් වුවද එය සිදු වුනේ කණ්ඩායම් දෙකේම අතපසුවීම් රැසකින් පසුව වීම විශේෂත්වයක්.

සුදම් සූරියආරච්චි හැව්ලොක් ගෝල සීමාව ආසන්නයට රැගෙන ආ පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට භාර දීමාට උත්සාහ කිරීමේදී එය හිමිවුණේ නාවික හමුදා ක්‍රීඩක‍යෙකුටයි. කෙසේ වෙතත් ඔහුගේ පන්දු හුවමාරුව හැව්ලොක් ක්‍රීඩකයෙකු වෙත සිදු කිරීම හේතුවෙන් නිශෝන් පෙරේරා හට ලකුණු ලබා ගැනීමටත් හිරන්ත පෙරේරාට එය ප්‍රවර්තනය කරන්නටත් අවස්ථාව හිමි වුනේ පළමු වරට තරගයේ ලකුණු වාසිය හැව්ලොක් කණ්ඩායම වෙත ගෙන එමිනුයි. (නාවික හමුදාව 07 – 12 හැව්ලොක්)

නාවික හමුදාවට නැවතත් තරගයේ වාසිය හිමි කර ගැනීමට අවස්ථාව හිමිවුණේ හැව්ලොක් කණ්ඩායමේ නීති විරෝධී ක්‍රියා හේතුවෙනුයි. හව්ලොක් අන්තය තුල ලැබුණු දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් තිලින වීරසිංහ එක් ලකුණක වාසියක් නාවිකයන්ට ලබා දුන්නද පළමු අර්ධය අවසන් වීමට පෙර අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කළ කෙවින් ඩික්සන් විවේක කාලය වන විට තරගයේ වාසිය හැව්ලොක් කණ්ඩායම සතුව පවතින බව තහවුරු කර ගන්නා ලදී.

පළමු අර්ධය: නාවික හමුදාව 13 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දීත් පළමු අර්ධයේ මෙන්ම නාවිකයන් පිටියට පැමිණියේ සිය සම්පූර්ණ ශක්තිය ප්‍රදර්ශණය කිරීමේ සූදානමකිනුයි. කෙසේ වෙතත් ශක්තිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ට ස්වර්ණමය අවස්ථාවක් අහිමි විය. ඒ ප්‍රතිවාදී ආරක්ෂක පෙළ බිඳ දමමින් ඉදිරියට ආදී ආ නෙවංක ප්‍රසාද් උත්සාහක දිනුම් රේඛාව පසු කලද පන්දුව ගෝල කණු අසලම පතිත කිරීමට උත්සාහ දැරීමේදී ඔහුගේ පාද සීමා රේඛාවෙන් (Dead Line) එපිටට ඇද දමන්නට හැව්ලොක් ක්‍රීඩකයෙකු සමත් වීම හේතුවෙනුයි. එම නිසා එම උත්සාහක දිනුම අවලංගු වී යන ලදී. කෙසේ වෙතත් මද වේලාවකට පසු  තිලින වීරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්ථනය අසාර්ථක වුවත් නාවිකයන්ට යලි තරගයේ පෙරමුණ ගැනීමට එය ප්‍රමාණවත් විය. (නාවික හමුදාව  18 – 17 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායමට මෙම පීඩනය දරා ගැනීමට නොහැකි වන බවක් දිස්වුනේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් නිරෝෂන් ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් ලබා දී මිනිත්තු 10කට පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟයි. තරග ආරම්භයේ සිට අවස්ථා කිහිපයකදීම දඬුවම් පහර 3ක් පමණ අසාර්ථක වුවත් මෙම අවස්ථාව නිවැරදිව එල්ල කල තිලිණ වීරසිංහ නාවිකයන්ගේ ලකුණු වාසිය තවත් වර්ධනය කරන්නට සමත් විය. (නාවික හමුදාව  21 – 17 හැව්ලොක්)

ආරම්භයේ සිටම වරින් වර දෙපසට දෝලනය වූ මෙම තරගයේ වාසිය යලිත් වරක් හැව්ලොක් කණ්ඩායමට හිමිවුණේ ක්‍රීඩකයන් 14 දෙනෙක් සමඟ පමණක් වුවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නිශෝන් පෙරේරා සමත් වීමත් සමඟයි. ඉන් නොනැවතුණු නිශෝන් තවත් වරක් ගෝල සීමාව ඉක්මවා පන්දුව රැගෙන යමින් මෙම තරගයේදී තම උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට සමත් විය. හැව්ලොක් කණ්ඩායමට ලකුණු 8ක වාසියක් සැපයීමෙන් පසු චමිත් මධුශංක හට කහ කාඩ්පතක් හිමිවුණේ නාවික හමුදා කණ්ඩායම තවත් අසරණ කරමිනුයි. (නාවික හමුදාව  21 – 29 හැව්ලොක්)

මෙවර ක්‍රීඩකයන් 14 දෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට සිදුවූ නාවික හමුදාවද උත්සාහක දිනුමක් සමඟින් හැව්ලොක් කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. පිටිය මධ්‍යයේ සිට කසුන් ද සිල්වා රැගෙන ගිය පන්දුව ගෝල සීමාව අසලදී ගයාන් වික්‍රමරත්න වෙත භාර දුන් අතර ඔහු වාර්තා කල උත්සාහක දිනුම ප්‍රවර්තනය කළේ චානක චන්දිමාල් විසින්. මේ අනුව හැව්ලොක් කණ්ඩායමේ ලකුණු වාසිය 1 ලකුණකට සීමා විය. (නාවික හමුදාව  28 – 29 හැව්ලොක්)

ඉන් අනතුරුව තරගයේ අවසන් මිනිත්තු දෙක දක්වාම කරට කර සටනක් පැවතුනේ කණ්ඩායම් දෙකේම ශක්තිය ප්‍රදර්ශනය කරමිනුයි. නමුත් 79 වන මිනිත්තුවේදී අගනා උත්සාහක දිනුමක් සමඟින් තරගයේ ජය හැව්ලොක් කණ්ඩායම වෙත හිමිවන බව තහවුරු කරන්නට සෙනාල් ද සිල්වා සමත් විය. අවසන් ලකුණු පුවරුවේ හැව්ලොක් කණ්ඩායමට ලකුණු 8ක ජයක් සටහන් ව තිබුනද, තරගයේ තියුණු බව එම ලකුණු පරතරය තුලින් කිසිසේත්ම පිළිබිඹු නොවන්නේ ආරම්භයේ සිට අවසානය දක්වාම නිශ්චිත ජයග්‍රාහකයෙක් තෝරා ගැනීම ඉතා අපහසු කාර්යයක් වී තිබුණු නිසාවෙනුයි.

අවසන් ලකුණු තත්ත්වය: නාවික හමුදාව 28 – 36 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapapare.com තරගයේ වීරයා: දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

හැව්ලොක් –

  • උත්සාහක දිනුම්  නිශෝන් පෙරේරා (3), හිරන්ත පෙරේරා (1), කෙවින් ඩික්සන් (1), සෙනාල් ද සිල්වා (1)
  • ප්‍රවර්තන: හිරන්ත පෙරේරා (3)

නාවික හමුදාව –

  • උත්සාහක දිනුම්: තිලිණ වීරසිංහ (1), ස්ටෙෆාන් ග්‍රෙගරි (1), ගයාන් වික්‍රමරත්න (1)
  • ප්‍රවර්ථන : තිලිණ වීරසිංහ (1), චානක චන්දිමාල් (1)
  • දඬුවම් පහර : තිලිණ වීරසිංහ (3)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට