ජාතික කණ්ඩායමේ වගකීම නැවතත් මුතුතන්ත්‍රිට

179
Muthuthanthri

එළඹෙන 2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන සුදර්ශන මුතුතන්ත්‍රී හට ලබා දී ඇත.

ත්‍රිත්ව විද්‍යාලය අපරාජිතව ශූරතාවය දිනයි

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා පාසල් රග්බි තරගාවලියේ දෙවන හා අවසන් දිනය වූ ඊයේ (20) දිනය නිමාවට…

ජාතික තලය තුළ ක්‍රීඩා කරන දක්‍ෂතම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන 26 හැවිරිදි මුතුතන්ත්‍රි ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමට නායකත්වය ලබාදෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඔහු ෆසීල් මරීජා වෙනුවට 2015 වසරේ දී පැවති ආසියානු සත් සාමාජික තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන ලදි.

ඔහු 2009 හා 2010 වසරවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර පසුව 2012 වසර වන විට ඔහු ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමට තේරී පත්වේ. පාසල් කාලයේ සිටම ඔහුගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගන්නට සමත් විය.

ජාතික කණ්ඩායමට පැමිණි පසු හොඳින් දක්‍ෂතා දක්වමින් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගන්නා මුතුතන්ත්‍රි මේ වන විට කණ්ඩායම තුළ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් අතරින් කෙනෙකි. කෙසේ නමුත් ඔහුට පසුගිය වසරේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ආබාධයක් නිසා මඟහැරුණු නමුත් මෙවර සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට ඔහු සූදානමෙන් සිටී.

2015 වසරේ දී තරගාවලියේ දී ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව පසුගිය වසරේ ආසියානු සත් සාමාජික තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ධනුෂ්ක රංජන් වෙනුවට මෙවර තරගාවලියේ නායකත්වය දැරීමට මුතුතන්ත්‍රි තෝරාගෙන ඇති අතර ඒ අනුව මෙම තරගාවලියේ දී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ බාර දූර රාජකාරිය පැවරී ඇත, තරගාවලියේ පළමු අදියර සැප්තැම්බර් මස 01 හා 02 දෙදින හොං කොං හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් මෙන්ම තරුණ ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත වන අතර ඔවුන් තරගාවලියේ පළමු අදියරේ දී අනෙක් කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් ලබා දීමට හැකි කණ්ඩායමක් වනු ඇති බව නොඅනුමානය.

තරගාවලිය සඳහා සහාභාගී වන අවසන් සංචිතය තවමත් තීරණය අවසාන වශයෙන් තීරණය කර නොමැත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට