මිනී මෝර ප්‍රහාරයෙන් අනූනමයෙන් ගැලවුණු දා

1299

සර්ෆින් ක්‍රීඩාව අප දකින තරම් සැප, නිදහස් සහ ගලායන සුළු ක්‍රීඩාවක් නොවේ. ලොව පුරා ජනප්‍රිය විනෝදාත්මක ක්‍රීඩාවක් වන එය කෙරෙන්නේ අද්භූත සාගරය මැද වන බැවින් එය අප නොදකින අනතුරු රැසක් සඟවාගත් ක්‍රීඩාවකි.

මික් ෆැනින්ග්, ඕස්ට්‍රේලියානු සර්ෆින් තරුවකි. 2007, 2009 සහ 2013 යන වර්ෂවල සර්ෆින් ලෝක ශූරතාවය ද දිනා ගත්තේ ඔහුයි. 2001 වසරේ සිට වෘත්තීය වශයෙන් ලෝක මට්ටමේ තරගවලට සහභාගී වී තිබුනත් ෆැනින්ග් හට අමතකම නොවන සර්ෆින් අත්දැකීම විඳින්නට ලැබුණේ 2015 වර්ෂයේ දකුණු අප්‍රිකාවේදීයි.

දකුණු අප්‍රිකාවේ J-Bay විවෘත සර්ෆින් තරගාවලිය අතරතුර දී මික් ෆැනින්ග් මුහුදු ජලය මත සිටියේය. සහෝදර ක්‍රීඩක ජූලියන් විල්සන් ඒ වන විට සිටියේ මඳක් ඈතිනි. එහෙත් ෆැනින්ග් හට පසෙකින් සුදු පැහැති යමක් පිහිනනු දකින්නට ලැබුණි. එය “ධවල මෝරෙකු” නැතහොත් Great white shark බව හඳුනා ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගත නොවීය.                                      ධවල මෝරෙක්

එය විහිළුවක් නොවේ. ධවල මෝරුන්ට වඩා දරුණු ආකාරයෙන් මිනිසෙකුව සපාකන්නට හැකි සතුන් මෙලොව ඇත්තේ ගණනින් අඩු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් මීටර 4-5ත් අතර ප්‍රමාණයක ශරීරයකින් යුක්ත වන ඔවුන් කිලෝ ග්‍රෑම් 2200කට වැඩි බරකින් යුක්තය. ගොදුරක් දුටු විට එය හොඳින් කොටුකරගන්නා ඔවුන් ගොදුරෙහි හැපෙමින් වරින් වර සපාකෑම් සිදුකරයි. ඔවුන්ගේ දත් සහ හකු අතිශයින්ම ශක්තිමත් ය.

මික් ෆැනින්ග් ඉක්මන් ප්‍රතිචාර දක්වමින් මෝරාට අතින් පහරක් එල්ල කොට, සර්ෆින් පුවරුව තමාත් මෝරාත් මැදට ගැනීමට උත්සාහ කළේය. එවිට සර්ෆින් පුවරුව සහ ෆැනින්ග් බැඳී තිබූ රැහැන මෝරා විසින් සපාකන ලදි. පසුව විශාල රැල්ලක් පැමිණ ෆැනින්ග්ව දර්ශනයෙන් ඉවත් කළේය.

ෆැනින්ග් නැවතත් වෙරළ ඉමට පිහිනා එන්නට පටන්ගත්තේ ඒ මොහොතේදීයි. ජූලියන් විල්සන්ද ඔහුට එක්වෙමින් ඔහු වෙතට පැමිණියේය. මෙය සජීව ලෝක තරග ඉසව්වක් අතරතුර දී සිදු වූ නිසා රූපවාහිනී විකාශය තුළින් සුවහසක් රසිකයන් හමුවේ මැවුණු දර්ශනය භයානක එකක් විය. ෆැනින්ග්ගේ මව ලීස් ෆැනින්ග් ද සජීව ලෙස මෙය නරඹමින් සිටියාය.

මට මුලින්ම දැනුණා මගේ පපුව පලාගෙන යන්නා වගේ. මං දකිමින් හිටපු දේ විශ්වාස කරගන්නවත් බැරුව මම ගල්ගැහුනා. පස්සේ රැල්ලක් ඇවිත් ඔහුව නොපෙනී ගිය වෙලාවේ මං හිතුවේ ඔහු ඉවරයි කියලා.” ඇය කියයි.                                       ලීස් ෆැනින්ග්

ඔහු හරිම ශක්තිමත් මිනිහෙක්. පණිවිඩය තමයි සටන කවදාවත් අත්හරින්න එපා කියන එක.” ලීස් ෆැනින්ග් 60 minutes නම් වැඩසටහනට කීවාය.

සිද්ධිය දුටු පිරිස ෆැනින්ග් සහ විල්සන්ගේ සහායට පැමිණියේය. බෝට්ටුවක ආධාරයෙන් මෝරාව බියගන්වා පලවාහරින්නට ඔවුන් සමත් විය. තරගය අත්හැර දැමුණු අතර ත්‍යාග මුදල් දෙදෙනා අතර බෙදා දෙන ලදී.

සිද්ධිය ගැන තමන්ගේ අත්දැකීම විස්තර කරමින් ෆැනින්ග් පවසන්නේ,

මම අනික් පැත්තට පීනන වෙලාවේ මං හිතුවා ඌ මගේ පිටිපස්සෙන් ආවොත් මට ඒක පේන්නෙවත් නෑ. මම අනික් පැත්තට හැරුණා. මට ඌව පෙනුනොත් මට වැඩි වෙලාවක් ඇති බව මං තේරුම්ගත්තා.” යනුවෙන්.

මට ඌත් එක්ක සටන් කරන්න වුණා නම් මම ඒක වුනත් කරන්න තිබුණා.” ෆැනින්ග් ඒ මොහොත ගැන පවසන්නේ ඔහුට තෝරාගන්නට වැඩි තෝරාගැනීම් ප්‍රමාණයක් රහිත වූ නිසා “එක්කෝ මෝරා-එක්කෝ මම” යන්න වුවද තෝරාගැනීමට තමන් සූදානම්ව සිටි බවයි.    

මෙතරම් දරුණු අනතුරකින් ගැලවුණු පසුවත් මික් ෆැනින්ග් සාගරයට ඇති ආදරය අත්හැර නැත. තවමත් විනෝදයට සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ෆැනින්ග් සාගරය මත ඇති ජල කඳට වඩා තවත් අනතුරු ඇති බව තේරුම් ගෙන ඇත.                           මික් ෆැනින්ග්

ජීවිතාරක්ෂකයා මට ඒ අනතුර ගැන කිව්වේ නැහැ.” ෆැනින්ග් සිනාසෙයි. සර්ෆින් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයන්ට අනතුරු හඟවන්නේ මුහුදු රළ හා සම්බන්ධ අනතුරු ගැන ය.

හැමවෙලේම නොයෙක් දේවල් සිදුවෙනවා. ඔබ ඒවාට ප්‍රතිචාර දක්වන ක්‍රමය තමයි වැදගත්. ඔබ මොන වගේ කෙනෙක් ද කියලා නිර්වචනය කරන්නේ එවායිනුයි.” ඕනෑම ක්‍රීඩාවක යෙදෙන හෝ නොයෙදෙන ඕනෑම කෙනෙකුට මික් ෆැනින්ග් නම් සිත්සවිය ඇති ක්‍රීඩකයාගෙන් ගතහැකි පණිවුඩය නම් එයයි.

සිද්ධියෙහි වීඩියෝව

>> ක්‍රීඩා පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න – මුල් පිටුවට <<