වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “C” කාණ්ඩයේ ශූරතාවය හා අනුශූරතාවය සඳහා වන තරග දෙකක් අද (03) දිනයේ දී පැවති අතර ශූරතාවය වෙනුවෙන් පැවති තරගයෙන් ප්‍රසාද ලකුණු 12ක් සමඟ ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සමත්විය. ඒ සමඟින් ලකුණු 09ක් ලබා ගත් කොළඹ ඩොක්යාඩ් කණ්ඩායමට අනුශූරතාවය හිමි විය.

ගුවන් හමුදාව, කොළඹ සහ බ්ලූ ස්ටාර් අවසන් අටට

මේ දිනවල දී පැවැත්වෙන FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෙවත් අවසන් 8..

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ සෙලාන් බැංකුව

ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමේ චතුරංග අතුකෝරාල (15) ප්‍රතිවාදීන්ගෙන් ලබා ගත් පන්දුව කෙළින්ම යොමු කළේ ගෝල රාමු වෙතට වුවත් එම උත්සාහය ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල රකින්නා විසින් සාර්ථකව වළක්වන ලදි.

SLT ක්‍රීඩකයින් ආරම්භයේ දී ම ප්‍රතිවාදීන් වෙත එල්ල කළ පීඩනය දෙගුණ තෙගුණ කරමින් තරගයේ 08 වැනි මිනිත්තුවේ දී එච්. ජී. එස්. ප්‍රියවංශ (06) විසින් ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත්විය.

පළමු අර්ධයේ දී ප්‍රතිවාදීන් දැඩි ලෙස පීඩනයකට ලක්ව සිටි නමුත් එක් මොහොතක සෙලාන් බැංකු ක්‍රීඩක චාමික සොයිසා (16) දකුණු අන්තයෙන් පැමිණ ජනජීව චාමර (13) වෙත යොමු කළ පන්දුව, ඔහු විසින් ගෝල රාමු වෙත යොමු කළේ ගෝලයක සිහිනය සැබෑ කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි. නමුත් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු එය සාර්ථකව වළක්වන ලදි.

ඉන් පසු යළිත් ක්‍රියාත්මක වූ SLT කණ්ඩායමේ කේ. ජී. ඉමේෂ් මදුෂංක (10) විසින් තරගයේ 16 මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් ලකුණු පරතරය 2 – 0ක් ලෙස ඉහළ නංවා ගත්තේය.

තරගයේ වැඩි වේලාවක් පන්දුව සෙලාන් බැංකු ගෝල සීමාවේ රඳවා ගැනීමට සමත් වූ නමුත්  නොසිතූ මොහොතක සෙලාන් බැංකු ක්‍රීඩක ප්‍රභාත් සුදර්ශන (10) විසින් ගෝලයක් වාර්තා කරමින් ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණක් එකතු කිරීමට‍ සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකා ටෙලිකොම් 02  01 සෙලාන් බැංකුව

දෙවන අර්ධයේ දී වැඩි වේලාවක් පන්දුව පිටිය මැද ප්‍රදේශයේ සිට දෙපිළ අතර හුවමාරු වූ අතර එක් මොහොතක දී සෙලාන් බැංකු කණ්ඩා‍යමේ සුබෝධ ශ්‍රීයාරත්න (20) වම් අන්තයෙන් පිටිය මැද සිටි මොහොමඩ් ඉක්‍රරම් (06) වෙත පන්දුව යොමු කළේ එය ගෝල රාමුව තුළට යොමු වේ යැයි බලාපොරොත්තුව ඇතිවයි. නමුත් ඔහුගේ පාදයෙන් එය ගිලිහී ගිය අතර එහි දී ඔවුන්ට කෝණ අවස්ථාවක් හිමි වුවත් එය ද සාර්ථක නොවීය.

මෙවැනි අභාග්‍යසම්පන්න අවස්ථ‍ා ගණනාවක්ම සෙලාන් බැංකු ක්‍රීඩකයින්ගෙන් දෙවන අර්ධයේ දී දැක ගැනීමට හැකි වූ අතර තරගයේ 40 වන මිනිත්තුවේ දී SLT ක්‍රීඩක කේ. ජී. ඉමේෂ් මදුෂංක (10) අගනා ගෝලයක් වාර්තා කරමින් ලකුණු පරතරය 3ක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය.

ඒත් සමඟම කලබල වූ සෙලාන් බැංකු ක්‍රීඩකයින්ගේ අපේක්ෂාව වූයේ තවත් ගෝලයක් වාර්තා කරමින් පරතරය අඩු කර ගැනීමයි. ඔවුන්ට පැති පහර අවස්ථා කිහිපයක් හිමි වුවත් ඒවා අසාර්ථක විය.

සම්පූර්ණ ලකුණු: ශ්‍රී ලංකා ටෙලිකොම් 03 – 01 සෙලාන් බැංකුව

ගෝල ලාභීන්

  • ශ්‍රී ලංකා ටෙලිකොම් – එච්. ජී. එස්. ප්‍රියවංශ 08’, කේ. ජී. ඉමේෂ් මදුෂංක 16’ හා 40’
  • සෙලාන් බැංකුව – ප්‍රභාත් සුදර්ශන 20’

සම්පත් බැංකු කණ්ඩායම සහ කොළඹ ඩොක්යාඩ් කණ්ඩායම

සම්පත් බැංකු ක්‍රීඩක සුරාජ් හෙට්ටිආරච්චිගේ (01) පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු 6 ගත වන විටම සම්පත් බැංකු ක්‍රීඩක අවිඳු අධිකාරී (10) දකුණු අන්තයෙන් එල්ල කළ වේගවත් පහර ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් වළක්වනු ලැබීය.

ඊට ප්‍රතිචාර ලෙස කොළඹ ඩොක්යාඩ් කණ්ඩායමේ ඊ. එල්. ආර්. සිල්වා (09) විසින් වම් අන්තයෙන් එල්ල කළ පන්දුව ගෝල රාමුවේ අනෙක් කෙළවරින් පිටියෙන් ඉවතට යොමු වූ අතර ඔවුන්ට පැති පහර අවස්ථාවක් හිමි වුවත් එය ද අසාර්ථක විය.

නැවතත් කොළඹ ඩොක්යාඩ් ක්‍රීඩක ඊ. එල්. ආර්. සිල්වා (09) විසින් ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් පන්දුව දකුණින් පැමිණි ජේ. ‍කේ. එස්. පී. පෙරේරා (05) වෙත යොමු කළත් ඔහුට එය ‍ගෝල රාමුව තුළට යොමු කිරීමට ප්‍රතිවාදී ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

පිට පිටම සම්පත් බැංකු කණ්ඩායම වෙත පැති පහර අවස්ථා කිහිපයක් හිමි වූවත් ඒවා අසාර්ථක විය.

තරගයේ පළමු අර්ධය නිමා වීමට මිනිත්තු 2ක් තිබිය දී කොළඹ ඩොක්යාඩ් කණ්ඩායමේ එම්. එම්. එම්. මුර්ෂිඩ් (07) යොමු කළ පන්දුව ලබා ගත් ඩබ්ලිව්. වී. බී. ප්‍රනාන්දු (10) ඉතාමත්ම පහසුවෙන් ප්‍රතිවාදී ගෝල රකින්නා නොමඟ යවමින් ගෝල රාමුව තුළට පන්දුව යොමු කොට තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කළේය.

පළමු අර්ධය: කොළඹ ඩොක්යාඩ් 01 – 00 සම්පත් බැංකුව

දෙවන අර්ධය ආරම්භ වූයේ කොළඹ ඩොක්යාඩ් ක්‍රීඩක ඩබ්ලිව්. එම්. ආර්. කේ. වීරසිංහගේ (04) පාදයෙනි. ඒ මොහොතේම ඔවුන්ට නිදහස් පහරක් සඳහා අවස්ථාව උදා විය. එහෙත් එය අසාර්ථකයි.

සම්පත් බැංකු ක්‍රීඩක අවිඳු අධිකාරී (10) විසින් දකුණු කෙළවරින් පන්දුව එල්ල කළත් එය වැළැක්වීමට ප්‍රතිවාදී ගෝල රකින්නා හට හැකි විය.

නැවත වරක් ක්‍රියාත්මක වූ කොළඹ ඩොක්යාඩ් ක්‍රීඩක දිලුම් ආරිවංශ (06) පිටියේ මැද ප්‍රදේශයේ දී පන්දුව ප්‍රතිවාදීන්ගෙන් මුදවා ගෙන ගෝල රාමුවට දෙසට එල්ල කළත් පන්දුව ගෝල රාමුවට ඉහළින් යොමු වූයේ බල‍ාපොරොත්තු නොවු ආකාරයෙනි.

ඉන් නොනැවතී නැවතත් පන්දු ලබා ගත් කොළඹ ඩොක්යාඩ් ක්‍රීඩක චානක නුගපොල (11) විසින් එම්. එම්. එම්. මුර්ෂිඩ් (07) වෙත යොමු කළ පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරින් ගෝල රාමුව තුළට යොමු කළේ තරගයේ 41 වන මිනිත්තුවේ දී යි.

ඒ ගෝලයත් සමඟම පරතරය ලකුණු 2කින් වැඩි කර ගැනීමට කොළඹ ඩොක්යාඩ් කණ්ඩායම සමත් වූ අතර තරගය නිමා වීමට පෙර සම්පත් බැංකු කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් හිමි වුවත් එය ආසාර්ථක විය.

සම්පූර්ණ ලකුණු: කොළඹ ඩොක්යාඩ් 02 – 00 සම්පත් බැංකුව

ගෝල ලාභීන්

  • කොළඹ ඩොක්යාඩ් කණ්ඩායම – ඩබ්ලිව්. වී. බී. ප්‍රනාන්දු 28’ , එම්. එම්. එම්. මුර්ෂිඩ් 41’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට