මෙන්ඩිස්ගේ නායකත්වයෙන් සංචිතය අරාබියට

1740

සැප්තැම්බර් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත “දහවන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය” සඳහා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතයි.

තරගාවලියේ අතීතය දෙස හැරී බැලුවහොත් මේ වන තෙක් පැවැත්වූ තරගාවලි නවයේම සමස්ත ශූරතාව දිනා ගැනීමට හැකි වූයේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමටයි. ශ්‍රී ලංකාවේ අනුග්‍රාහකත්වය යටතේ 2004 වසරේ දී පැවැත්වූ තරගාවලියේ දී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එහි දී තරිඳු මෙන්ඩිස් සහ ඉරොෂන් ද සිල්වා යන ක්‍රීඩකයින් එම අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලෝක කුසලානයට එක්වීමේ අවස්ථාව මග හැරෙයි!

1996 වසරේ ජගත් එක්දින ලෝක ශූරතාවය ද දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ ලෝක කුසලානය සඳහා …

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස එකොළොස් වන දින මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත් වන අතර එහි දී ඔවුන් විශේෂ පුහුණුවීම් කිහිපයකට ද සහභාගි වීමට නියමිතයි.

ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම උනන්දුවෙන් යුතුව මෙම ශූරතාවය තමන් සතු කර ගැනීමට වෙර දරන අතර ඩුබායි හිදී තමන්ට මුහුණදීමට තිබෙන අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු පසුගිය ජුනි මස සිට ආරම්භ කළේය.

කණ්ඩායම් නවයක් එක් කිරුළක් උදෙසා තරගාවලියේ දී තරග වදින අතර වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව යන කණ්ඩායම් හා මෙවර මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ද මෙහි දී තරග කරනු ඇත.

2017 ලෝක කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඩුබායි හි ‘Insports Club’ පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. තවද 2022 දී ඩර්බන් හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ද ලෝක ගෘහස්ථ ක්‍රීඩා සංසදය උත්සාහ කරන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත් වන්නේ තම දක්ෂතා තුළින් අප කණ්ඩායම කිරුළු පැලැන්දූ ඇන්ඩි සොලොමන්ස්, අමිල රත්නායක වැනි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමඟිනි.

හිටපු ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ නායක අසේල පතිරත්න, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වන ගාමිණී පෙරේරා හා හිරාන් ද මෙල්ගේ සහයෝගීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරගාවලියේ දී කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා සංචිතය.

තරිඳු මෙන්ඩිස් (නායක), කමල් කුරුප්පු (උපනායක), කෝලිත නයනානන්ද, රුවන් චන්ද්‍රකුමාර, නිලන්ත විජේකොන්, ඇන්ඩි සොලොමන්ස්, ඉරොෂන් ද සිල්වා, ක්‍රිශාන්ත පීරිස්, අමිල රත්නායක, රුමේෂ් පෙරේරා, සල්මන් ෆාරිස්, තිවංක දාබරේ, හරේෂ් ද සිල්වා, රනුෂ පෙරේරා, අසේල පතිරත්න (පුහුණුකරු), ගාමිණී පෙරේරා (කළමනාකරු ), හිරාන් ද මෙල් (ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංසදය නියෝජනය කරමින්)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට