ධනංජයගේ ශතකය ඵල රහිත වෙද්දී වර්ණපුරගෙන් සටන්කාමී ඉනිමක්!

2029

ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ක්‍රීඩා තරු සහ දේශීය ක්‍රිකට් පිටියේ පෙරළිකාරයින් උරෙනුර ගැටෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තවත් තරග 4ක් අද (16) දිනයේ ක්‍රියාත්මක විය.

පසුගිය දිනවල දී නොකඩවා ඇද හැලුණු වර්ෂාව පහව යාමත් සමඟ එම තරග සියල්ලම කිසිදු බාධාවකින් තොරව පවත්වන්නට ද අද අවස්ථාව උදා විය. එහි දී ජයග්‍රහණය වාර්තා කර ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට්, ඩිමෝ, සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව යන කණ්ඩායම් සතරයි.

අද දිනයේ ධනංජය ද සිල්වා, මාධව වර්ණපුර යන පිතිකරුවන් පිත්තෙන් වැඩි සුරු විරුකම් පාද්දී, නමගිය පන්දු යවන්නන් කිහිප දෙනෙකුම තම කණ්ඩායම්වලට ජය ලබා දීම සඳහා දැඩි වෙහෙසක් ගත්හ.

අයහපත් කාලගුණයෙන් තරග සියල්ලට බාධා

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (13) ක්‍රියාත්මක වූ අතර, අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැවැත්වූ තරග සියල්ලම අතහැර දැමීමට සිදු විය. අද දිනය තුළ නිමන්ද මදුසංක MAS Silueta…

LB ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගම් දෙකක් අතර මෙම තරගය පැවැත්වුනේ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දීයි. එහි දී සුපිරි හඹා යාමක නිරත වූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වූහ. කෙසේ වෙතත් පරාජිත LB ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා දැක්වූ තුන් ඉරියව් දක්ෂතා වඩාත් හොඳින් කැපී පෙණුනි.

කාසියේ වාසිය දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ආරාධනයෙන් LB ෆිනෑන්ස් පිළ ලකුණු රැස් කිරීම සඳහා පිටියට පිවිසි අතර තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 267ක් රැස්කර ගැනීමට ඔවුන් සමත් වූහ.

එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දකුණත් පිතිකරු ධනංජය සිල්වා තම කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ ලකුණු 118ක් රැස්කර ගත්තේය. ඔහුට සහය ලබා දුන් සහන් ආරච්චිගේ ලකුණු 45යි. කෙසේ වෙතත් LB ෆිනෑන්ස් ඉනිම තම කණ්ඩායමට ළඟා විය හැකි ලකුණු සංඛ්‍යාවකට නතර කළ ලහිරු ගමගේ ලකුණු 52කට කඩුලු 4ක් දවාලීය.

LB ෆිනෑන්ස් සමාගමෙන් හිමි වූ ඉලක්කය සාර්ථකව හඹාගිය කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් පන්දුවාර 45යි පන්දු 3ක් තුල දී ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් විය. ඒ කඩුලු 5ක් පමණක් දැවී තිබිය දීයි. වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වී සිටියත් තම අත්දැකීම් තවමත් දේශීය පිටියේ නවකයින් හා බෙදා ගන්නා ජෙහාන් මුබාරක් අද නොදැවී ලකුණු 84ක් රැස්කර ගත්තේය. අනෙක් අන්තයේ සිට සාර්ථක වූ එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග ලකුණු 48යි. පන්දුවෙන් ද දස්කම් පෑ ධනංජය ද සිල්වා කඩුලු 2ක් ද දවාගත් නමුත් මේ කිසිවක් කොමර්ෂල් ක්‍රෙඩිට් පිළේ ජය සොරා ගැනීමට ප්‍රමාණවත් නොවීය.

LB ෆිනෑන්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 267 (පන්දුවාර 50): ධනංජය ද සිල්වා 118, සහන් ආරච්චිගේ 45, ලහිරු ගමගේ 4/52, සජිත් පතිරණ 2/42, මලින්ද පුෂ්පකුමාර 2/57.

කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 5ක් දැවී ලකුණු 268 (පන්දුවාර 45.3): ජෙහාන් මුබාරක් 84*, උපුල් තරංග 48, ලහිරු මදුසංක 46*, ඩිල්ශාන් මුණවීර 21, ඉසුරු උදාන 2/35, ධනංජය ද සිල්වා 2/37.


ඩිමෝ සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර තරගය

පන්දුවාර 46ක තරගයක් ලෙස පැවැත්වුණු මෙම තරගය ජය ගත්තේ ඩිමෝ කණ්ඩායමයි. ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ වෙළඳසේවා තරගාවලියේ තවමත් ජයග්‍රාහී රිද්මය සොයා ගැනීමට අසමත්වී සිටින කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමයි. තරගය සරේ විලේජ් පිටියේ දී ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය දිනාගත් කැන්රිච් ෆිනෑන්ස් නායකයා මුලින් පන්දුවට පහර දීම සඳහා ඩිමෝ කණ්ඩායමට ආරාධනා කළේය. එම අභියෝගය භාර ගනිමින් සාර්ථක පිතිකරණයක යෙදුණු ඩිමෝ පිතිකරුවන් කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 251කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පුලිණ තරංග ලකුණු 59ක් රැස් කරද්දී ජේසන් පෙරේරා තම අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් දැවී ගියේය. පන්දු යැවීමේ දී වර්තමානයේ ඉහළ දක්ෂතා අතර සිටින අකිල ධනංජයට කඩුලු 3ක් හිමි විය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ දැරූ කැන්රිච් ෆිනෑන්ස් පිතිකරුවන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 214ක් පමණි. ඒ අනුව ඩිමෝ පිළට ලකුණු 37ක ජයක් හිමි විය. කැන්රිච් කණ්ඩායම වෙනුවෙන් යොහාන් මෙන්ඩිස් සහ රොෂාන් ලක්සිරි ලකුණු 50 බැගින් වාර්තා කර ගත්ත ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඩිමෝ කණ්ඩායම ජය මාවත පෙන්වූ ශම්මු අශාන් කඩුලු 3ක් ද, රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් ද බිඳ හෙලූහ.

ඩිමෝ – කඩුලු 8ක් දැවී ලකුණු 251 (පන්දුවාර 46): පුලිණ තරංග 59, ජේසන් පෙරේරා 49, හෂාන් දුමිඳු 28, ශම්මු අශාන් 20, අකිල ධනංජය 3/62, රොෂාන් අනුරුද්ධ 2/55.

කැන්රිච් ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 46): යොහාන් මෙන්ඩිස් 50, ‍රොෂාන් ලක්සිරි 50, පැතුම් නිස්සංක 24, රමේෂ් මෙන්ඩිස් 2/36, ශම්මු අශාන් 3/31.


සම්පත් බැංකුව සහ හේලීස් සමාගම අතර තරගය

මොරටු පුරවරයට ක්‍රිකට් අසිරිය කැඳවාගෙන එමින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ ජයග්‍රහණය හිමි කර ගත්තේ සම්පත් බැංකු කණ්ඩායමයි. මේ වන විට තරගාවලියේ ජය පිට ජය ලබා ගන්නා පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින සම්පත් බැංකුව අද තරගය ජය ගත්තේ කඩුලු 5කිනි. එහි දී ප්‍රතිවාදී හේලීස් සමාගම ඔවුන්ට කිසිදු අභියෝගයක් නොවීය.

සම්පත් බැංකුව කාසියේ වාසිය දිනා ගනිමින් පන්දු යැවීම තෝරාගත් අතර ඊට ප්‍රතිචාර දැක්වූ හේලීස් සමාගමේ ඉනිම පන්දුවාර 50 අවසානයේ ලකුණු 202කට සීමා විය. ඒ කඩුලු 9ක් දැවී තිබිය දීයි.

හේලීස් ඉනිම වෙනුවෙන් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ රැස් කර නොගත් අතර වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්වූයේ මධුරංග සොයිසා (36) සහ හර්ෂ විතාන (30)යි. පන්දු යැවීමේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

මෙම සුළු ලකුණු සංඛ්‍යාව හඹා ගිය සම්පත් බැංකු පිළ පන්දුවාර 40 සම්පූර්ණ වීමටත් මත්තෙන් ජයග්‍රහණයේ සීමා ඉර පසුකර යෑමට සමත් විය. එහි දී සම්පත් බැංකු ඉනිමේ පෙරමුණේ රාළ බවට පත්වූ දකුණත් පිතිකරු කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 82ක් රැස්කර ගත්තේය. මීට අමතරව ප්‍රිමෝශ් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 28 බැගින් රැස් කළහ. හේලීස් සමාගම වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වුවද සම්පත් බැංකුව අද දිනයේ දස්කම් අතින් හේලීස් සමාගමට වඩා ගව් ගණනක් ඈතින් පසුවිය.

හේලීස් සමාගම – කඩුලු 9ක් දැවී ලකුණු 202 (පන්දුවාර 50): මධුරංග සොයිසා 36, හර්ෂ විතාන 30, ඇන්ඩි සොලමන්ස් 28, සජිත් දිසානායක 27, ජීවන් මෙන්ඩිස් 3/33, ප්‍රභාත් ජයසූරිය 3/43, තරිඳු කෞෂාල් 2/38.

සම්පත් බැංකුව – කඩුලු 5ක් දැවී ලකුණු 205 (පන්දුවාර 39.2): කෞෂාල් සිල්වා 82*, ප්‍රිමෝශ් පෙරේරා 28, අවිශ්ක ප්‍රනාන්දු 28, සමීන් කඳනාරච්චි 29, ලසිත් ඇඹුල්දෙනිය 2/30.


හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් සමාගම අතර තරගය

ප්‍රතිවාදී ජෝන් කීල්ස් කණ්ඩායම පරදවා හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ලකුණු 19කින් ජයගත් මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ MCA පිටියේ දීයි. එහි දී පන්දුවාර 50 අවසානයේ හැටන් නැෂනල් බැංකුවට විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමට නොහැකි වුවත්, ඔවුන්ගේ පන්දු යවන්නන් එය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ජය තහවුරු කර ගත්හ.

කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් කණ්ඩායම ලකුණු හඹා යාමට තීරණය කළ නිසා මුල් ඉනිම ක්‍රීඩා කිරීමට සිදු වූයේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමටයි. එහි දී යම් තරමක පීඩනයකට හසුවුනු HNB ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 226කට සීමා විය. එහි දී කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණියත් අද දිනයේ මාධව වර්ණපුර ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා HNB පිළට ජයග්‍රහණය කරා යාමට තරම් ප්‍රමාණවත් ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට හැකි විය.

මාධවගේ පිත්තෙන් අද නොදැවී ලකුණු 92ක් වාර්තා වෙද්දී ඔහු සමඟ දැවැන්ත සබඳතාවයකට මුලපිරූ මලිත් කුරේ නොදැවී අර්ධ ශතකයක් රැස් කර ගත්තේය. HNB පිළ වෙනුවෙන් සාර්ථක වූ අනෙක් එකම පිතිකරු බවට පත්වූ මින්හාජ් ජලීල් ලකුණු 56යි.

මෙම ලකුණු සංඛ්‍යාව හඹාගොස් ජය තහවුරු කර ගැනීමට මාන බැලූ ජෝන් කීල්ස් ඉනිම ලකුණු 207කට නවතා දමන්නට අද HNB පන්දු යවන්නන්ට හැකියාව උදා විය. ඒ පන්දුවාර 48ක් තුල දීයි. ජෝන් කීල්ස් ඉනිම වෙනුවෙන් කිසිම පිතිකරුවෙකුට දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වෙද්දී රොෂේන් සිල්වා සහ සඳුන් වීරක්කොඩි පිළිවෙළින් ලකුණු 35 සහ 33 බැගින් ලබා ගනිමින් ඉලක්කය හඹා යාමට උත්සාහ දැරූහ. පන්දු යැවීමේ දී HNB පිළේ බලාපොරොත්තු බොඳ නොකළ සජීව වීරකෝන් කඩුලු 3ක් සහ මලිත් කුරේ කඩුලු 2ක් බිඳ හෙලූහ.

හැටන් නැෂනල් බැංකුව – කඩුලු 5ක් දැවී ලකුණු 226 (පන්දුවාර 50): මාධව වර්ණපුර 92*, මින්හාජ් ජලීල් 56, මලිත් කුරේ 50*.

ජෝන් කීල්ස් සමාගම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 48): රොෂේන් සිල්වා 35, සඳුන් වීරක්කොඩි 33, දිමුත් කරුණාරත්න 31, භානුක රාජපක්ෂ 30, සජීව වීරකෝන් 3/40, මලිත් කුරේ 2/33.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට