මාලදිවයින සහ නේපාලය විසින් ශ්‍රී ලංකාවත් භූතානයත් පරාජය වේ

498
Maldives crush Sri Lanka

ඉන්දියාවේ සිලිගුරිහිදී ඇරඹි සිව්වන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරඟාවලියේ ප්‍රථම දිනයේදීම තම ප්‍රතිවාදීන් හමුවේ ජය ලබන්නට මාලදිවයින සහ නේපාලය සමත් විය.

පසුගිය ලිපි: සාෆ් (SAFF) ශූරතාවලියේ ශ්‍රී ලංකා නායකත්වය එරන්දිට

ශ්‍රී ලංකාවට එරෙහිව මාලදිවයින

මාලදිවයින් කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකා ෆාදුවා සහීර් වාර්තා කළ ගෝල ත්‍රිත්වයක් සමඟින් ගෝල 5-2ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට ඔවුනට හැකිවිය.

තරඟයේ 24වන මිනිත්තුවේදී ගෝල වාර්තා කිරීම ඇරඹුවේ මේරියම් රිෆා ය. ඉන් මිනිත්තු 3කට පසුව එම පරතරය දෙගුණ කරන්නට ෆාදුවාට හැකිවූයේ ඇයගේ ප්‍රථම ගෝලයත් සමඟිනි.

තරඟයේ ප්‍රථම අර්ධය අවසන් වීමට පෙර එක් ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා එරන්දි ලියනගේ සමත් වූ අතර මහේෂිකා කුමුදිනී ලබාගත් ගෝලයක් හේතුවෙන් ලකුණු තත්වය සම කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය – ශ්‍රී ලංකාව 2-2 මාලදිවයින.

දෙවන අර්ධයේ පීඩනය දරාගැනීම ශ්‍රී ලංකාවට මඳක් අපහසු වූ අතර ෆාදුවා 64 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කළාය. තරඟයේ 80වන මිනිත්තුවේදී තම ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කරගන්නට ෆාදුවා සමත් වීමත් සමඟින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්ව ගිය අතර 88වන මිනිත්තුවේදී මාලදිවයින් කණ්ඩායම වෙනුවෙන් 5 වන ගෝලයත් වාර්තා කිරීමට අමිනාත් ශාමිලා සමත් විය.

මින් වසරකට පෙර ශ්‍රී ලංකාවේදී පැවති සුහද තරඟයකදී ගෝල 3-0ක් ලෙස මාලදිවයින් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙසේ පරාජය වීමට සිදුවීම මවිතය දනවන්නකි.

සම්පුර්ණ කාලය – ශ්‍රී ලංකාව 2-5 මාලදිවයින.

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්.

  • ශ්‍රී ලංකාව: එරන්දි ලියනගේ 43′, මහේෂිකා කුමුදිනී 45’+2.
  • මාලදිවයින: මේරියම් රිෆා 24′, ෆාදුවා සහීරා 27′, 64′ සහ 80′, අමිනාත් ශාමිලා 88′.

නේපාලයට එරෙහිව භූතානය.

ඉන්දියාවේ කාන්චන්ජන්ගා ක්‍රීඩා පිටියේදී මේ වසරේ තරඟාවලියේ තම ගමනට ජවසම්පන්න ආරම්භයක් ගෙන ඒමට නේපාල කණ්ඩායම සමත් වූයේ ගෝල 8-0 ක් ලෙස භූතානයට දැවැන්ත පරාජයක් අත්කරදෙමිනි.

සබිත්රා භන්දාරි, මධ්‍ය ඉදිරිපෙල ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා කරමින් ගෝල ත්‍රිත්වයන් ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර ක්‍රිෂ්ණා කත්‍රි, ශර්මිලා තාපා නේපාලය වෙනුවෙන් එක් ගෝලය බැගින් වාර්තා කළාය.

නේපාල පුහුණුකරු කුමාර් තාපා තරඟය අවසානයේදී සතුටින් ප්‍රකාශ කර සිටියේ ලකුණු තත්වය තමා පවා බලාපොරොත්තු නොවූවක් බවයි.

“පරතරය ඉතා පැහැදිලියි, ඒ නිසා මං සතුටින් ඉන්නේ. භූතානය දුර්වල කණ්ඩායමක් නොවුණත් අද තරඟය ඔවුන්ට වාසියක් වුණේ නෑ. අපේ ඉදිරිපෙල ශක්තිමත් නිසා සුදුසු ප්‍රතිඵල ලැබුණා.” තාපා පැවසුවේය.

මෙමගින් ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත තරඟ වෙනුවෙන් හොඳ පන්නරයක් ලැබුණු බවද ඔහු කියා සිටියේය.

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්.

නේපාලය: සබිත්රා භන්දාරි 5′, 9′, 23′, 35′, 72′ සහ 77’, ශර්මිලා තාපා 25′, ක්‍රිෂ්ණා කත්‍රි 90′.

 තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට