හැම උදෑසනක්ම මට නත්තල් උදෑසනක් වගේ – ස්මිත්

246

ස්මිත්ගේ ශතක දෙකකින් ආරම්භ වූ මෙවර අළුබඳුන තරගාවලිය බොහෝ දෙනෙක්ට අමතක නොවන එකක් බවට දැනටමත් පත්ව හමාරය. තම නැවත පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් ස්මිත් කියා සිටියේ ඔහු තමන්ගේ දක්ෂතා පිළිබඳව කිසිවිටක අවතක්සේරු නොකළ බවයි.

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පසුගිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වූ අතර එහි පළමු…

ඕස්ට්‍රේලියා එංගලන්ත අළුබඳුන තරගාවලියේ පළමු තරගය ආරම්භයේ දී එංගලන්ත කණ්ඩායම ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර වරෙක ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා සිටියේය. 

නමුත් කිසිවෙක් නොසිතූ පරිදි වසරක තරග තහනමකින් අනතුරුව තම ලකුණු දඩයම ආරම්භ කළ ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු කොඳු නාරටිය තමන් බව තහවුරු කරමින් ලකුණු 144ක් වාර්තා කළේ ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 284 ක් දක්වා ඔසවා තබමිනි. 

එංගලන්ත පළමු ඉනිමේ ලකුණු 387ට පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවන ඉනිමට යෝධ ලකුණු 487ක් ලකුණු පුවරුවට එක් කළේ ස්මිත්ගේ දෙවන ශතකයත් සමඟිනි. මැතිව් වේඩ් ද ලකුණු 110ක් වාර්තා කළ අතර එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 398කි. 

ස්මිත්ගේ හා වේඩ්ගේ උත්සාහයට සාධාරණයක් ඉටු කළ නේතන් ලයන් හා පීටර් සිඩ්ල් එංගලන්ත දෙවන ඉනිමේ කඩුලු සියල්ල බෙදා ගත්තේ එංගලන්තය ලකුණු 146කට සීමා කරමිනි. ඕස්ට්‍රේලියාව මෙම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 251කිනි.

නවසීලන්ත ප්‍රවීණයෙකු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

හිටපු නවසීලන්ත නායකයෙකු සහ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් පූර්ණ ලෙස…

වසරකට පසුව කණ්ඩායමට පැමිණි පළමු තරගයෙන්ම තම ආගමනය අමතක නොවන එකක් කරගැනීමට ස්මිත් සමත් විය. පසුගිය වසරේ දකුණු අප්‍රිකානු සංචාරයක් අතරතුර දී ස්ටීව් ස්මිත්ට, ඩේවිඩ් වෝනර්ට හා කැමරන් බැන්ක්‍රොෆ්ට් හට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වූ අතර ස්මිත් හා වෝනර් හට මාස 12ක තරග තහනමක් පැනවිනි. 

වසරක කාලයකින් අනතුරුව මෙම තරගයේ දී එම ක්‍රීඩකයන් තිදෙනාම නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග නියෝජනය කිරීම ආරම්භ කළ අතර වෝනර් හා ස්මිත් ලෝක කුසලාන තරගාවලියේ දී තම ජාත්‍යන්තර ආගමනය සටහන් කළේය. 

“මම මගේ දක්ෂතා අවතක්සේරු කළේ නෑ” ස්මිත් මාධ්‍ය හමුවේ පවසා සිටියා. 

“මේක හීනයක් වගේ. අළුබඳුන තරගාවලියේ එක් තරගයක ශතක දෙකක් වාර්තා කිරීම, පළමු තරගයේ දී ම එහෙම කරන්න ලැබෙන එක ගොඩක් විශේෂයි. මගේ ක්‍රිකට් දිවියේ කිසිම අවස්ථාවක මට එහෙම කරන්න ලැබුණේ නෑ. කෙතරම් රිද්මයක සිටියත්.”

“මට දැනෙන්නේ හැමදාම නත්තල් උදෑසනක් වගේ. හැමදාම උදේ ක්‍රීඩා කරන්න ලැබෙන එක”

දෙවන ඉනිමේ මැතිව් වේඩ් ද තම දක්ෂතා අතරට පැමිණි අතර මීට පෙර කණ්ඩායමේ කඩුලු රකින්නා වූ ඔහු මෙම තරගයට විශේෂඥ පිතිකරුවෙක් ලෙස එක්ව සිටියේය. 

සුපිරි වේගපන්දු තරුව ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායක වූ ලොව සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඩේල්…

වේඩ් මෙම තරගයේ දී වාර්තා කළ ශතකය ඔහුගේ පළමු අළුබඳුන ශතකය වන අතර දහස් ගණනක් වූ එඩ්බැග්ස්ටන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ස්මිත් හා ඔහු පස්වැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු සංඛ්‍යාව 126කි. 

“ස්මිත් මට කලින් දවසේ උදේ කිව්වා ඔහු කවදාවත් ටෙස්ට් තරගයක ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කරලා නෑ කියලා. ඔහු ඒක කිව්වම මට හිතුණා ඔහු විශේෂ දෙයක් කරාවි කියලා” වේඩ් පවසා සිටියා. 

එංගලන්ත පිතිකරණ පුහුණුකරු ග්‍රැහැම් තෝර්පේ ද ස්මිත්ගේ මෙම දක්ෂතාවය පිළිබඳව අදහස් දක්වා සිටියා. 

“ගොඩක් හේතු නිසා ඒ ඉනිම විශිෂ්ට එකක් කියලා අපිට පිළිගන්න වෙනවා. අපි ඒක අගය කළ යුතුයි.”

එංගලන්ත වේගපන්දු බලඇණියේ විශේෂ අවියක් වූ ජේම්ස් ඇන්ඩර්සන්ට දෙවන ඉනිමේ පන්දු යැවීමට නොහැකි වූයේ ඔහුගේ මාංශ පේෂි ඇදීමක් නිසාවෙනි. සම්පූර්ණ තරගය තුල ජේම්ස් ‍යවා ඇත්තේ පන්දුවාර හතරක් පමණි.

ඇන්ඩර්සන්ගේ මෙම පාදයේ ආබාධය නිසා ඔහුට පසුගිය එංගලන්ත අයර්ලන්ත තරගය ද මඟහැරී ගියේය.

තරගය තුල ස්මිත් රැස්කළ ලකුණු 286 නිසාවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ශතක දෙකක්, තරග ජයග්‍රහණයක් හා තරගයේ වීරයා සම්මානයක් ද සමඟින් තම ආගමනය අමතක නොවන එකක් බවට පත්කර ගැනීමට ස්මිත් සමත් විය. 

එංගලන්ත ඕස්ට්‍රේලියා දෙවන අළුබඳුන තරගය එළඹෙන 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<