සෑම වසරකම පාහේ නැඟී එන රග්බි ක්‍රීඩකයින්  සඳහා මනා තෝතැන්නක් වන්නේ පාසල් රග්බි ලීග් තරගාවලිය යි. එහි දී සමහර ක්‍රීඩකයින් වීරයින් බවට පත්වුනත්, තමන්ගේ නාමය රග්බි පිටිය තුළ ස්ථාපිත කර ගැනීමට සමත් වුවත් ඉන් බොහෝ දෙනෙක් කාලයත් සමඟ ඈත්ව යන්නේ ඉන් අතළොස්සක් පමණක් වෘත්තීය රග්බි පිටියට තේරී පත්වන බැවිනි.

කටාර් ජාතික කණ්ඩායම වසර 12ක් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් සමඟ සංසන්දනය කිරීමේ දී ජාතික කණ්ඩායමේ හෝ පළමුපෙළ ක්‍රීඩා සමාජවල නැගෙනහිර පළාතේ ක්‍රීඩකයින්ගේ දායකත්වය සාපේක්ෂව අඩු මට්ටමක පවතී…

කෙසේ නමුත් 20 වන වියේ පසුවන ලහිරු හේරත්ගේ කතාව සාමාන්‍ය තත්වයට වඩා හාත්පසින්ම වෙනස් වූ එකකි. ඔහු ඉතා පහළ තත්වයකින් ආරම්භ කළ ගමන අද ඔහුව වීරයෙකුගේ තත්වයට කැඳවාගෙන ගොස් ඇත.

A young Lahiru Herath (R) in action for CWW Kannangara in the Carlton Super Sevens

සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් ලබන පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වන ලහිරු හට ඔහුගේ දක්ෂතාවන් විදහා දැක්වීමට මේ ලැබී ඇත්තේ ඉතා වටිනා අවස්ථාවකි.

2016 වසරේ තරග වාරයේ දී සිය පාසල වන සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු හට වසරක් ඇතුළත දී ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලැබෙනු ඇතැයි ඔහු සිතන්නට වත් නැත.

පසුගිය වසරේ දී ඔහුගේ දක්‍ෂතා ඉතා ඉහළ තත්වයක පැවතුණි. ඒ අනුව තම පාසල් කණ්ඩායම නියෝජනය කිරීම අවසන් වූ වහාම 2016/17 ‘Dialog’ ක්‍රීඩා සමාජ රග්බි තරග වාරයට පෙර ඔහුට නාවික හමුදා ක්‍රීඩා සමාජයත් සමඟ එක්වන ලෙස කොන්ත්‍රාත්තුවක් ඉදිරිපත් විය.

පසුගිය ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ දී නාවික හමුදා කණ්ඩායම ක්‍රීඩා කළ එක් තරගයක් හෝ නරඹන්නට ඔබට අවස්ථාවක් ලැබුණේ නම් ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන තරුණ, ජවසම්පන්න ක්‍රීඩකයෙක් ප්‍රතිවාදීන් හට ප්‍රබල තර්ජනයක් එල්ල කරන අයුරු අනිවාර්යයෙන්ම ඔබේ නෙත ගැටෙන්නට ඇත.

ලී කීගල් සහ චානක චන්දිමාල් වැනි ක්‍රීඩකයින් සමඟ එකට ක්‍රීඩා කරමින්, ඔවුන්ගේ දක්‍ෂතාවලට සමාන දස්කම් දක්වන්නට සමත් වූ ලහිරු හේරත් ඔහු ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතයට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇති බව සැමට ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

ක්‍රීඩා සමාජ තරග වාරයේ දී ඔහු දැක්වූ ඉහළ දක්‍ෂතා නිසා ඔහුට ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට වරම් ලැබුණු අතර එහි දී ඔහු ‘KBSL Dragons’ කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ඒ අනුව ඔහු පසුව වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ජාතික කණ්ඩායමේ ද ස්ථානයක් වෙන්කර ගැනීමට සමත් විය.

මෙවන් පහසු ආකාරයකට පාසල් රග්බි ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජ පද්ධතිය වෙත පිවිසීමට වරම් ලබන්නේ ඉතා කලාතුරකිනි. මීට පෙර ඔමල්ක ගුණරත්න, කෙවින් ඩික්සන් සහ සුපුන් දිල්ෂාන් වැනි ක්‍රීඩකයින් ද ඒ ආකාරයට පහසුවෙන් ක්‍රීඩා සමාජ පද්ධතිය වෙත පිවිසීමට වරම් ලැබූ අතර එම ලැයිස්තුවට එක්වූ නවතම ක්‍රීඩකයා වන්නේ ලහිරු හේරත් ය.

Lahiru is expected to play a key role in Sri Lanka Under 20's title retention

“ජාතික කණ්ඩායමට තේරී පත්වීමට ලැබීම මට ලොකු ගෞරවයක්. හැමවෙලේම මට අවශ්‍ය වුනේ මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මීට අවුරුදු පහකට, හයකට පමණ කලිනුත් මට ඒකට සිහිනයක් තිබුණා. ඉතින් අද ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා.”

“මේ වෙනුවෙන් මට උදව් කරපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මගේ පාසල, සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය ඉදිරියටත් ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩකයින් බිහි කරයි කියලා. ඒ වගේම ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලියේ දී කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කරලා, පසුගිය වසරේ ජයග්‍රහණය කළ ශූරතාවය මෙවරත් ආරක්ෂා කර ගන්න උත්සාහ කරනවා.”

ඒ අනුව පසුගිය වසරේ දී දිනාගත් ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හොං කොං හිදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ආසියානු රග්බි තරගාවලියට නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය යටතේ සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලහිරු හේරත්ට ලැබී ඇත.

ඔහු ක්‍රීඩාවට දක්වන ආදරය ඔහුට මේ තරම් දුරක් පැමිණීමට බෙහෙවින් ඉවහල් වී ඇති අතර ඔහුගේ පාසලේ පුහුණුකාරවරයා පවසන්නේ ලහිරුගේ සාර්ථකත්වයට ඉවහල් වී ඇත්තේ ඔහු තුළ තිබෙන කැපවීම බවයි.

“ඔහු හැමදාම පුහුණුවීම්වලට වේලාවට පැමිණෙනවා. ඒ වගේම ඔහු හැමදාම යන්නේ අන්තිමට. ඔහු රග්බි ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු අපිට විශාල ගෞරවයක්. ඒ වගේම ඔහු සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමක් නියෝජනය කරන පළමු ක්‍රීඩකයා බවට පත්වීම පාසලටත් ලොකු ආඩම්බරයක්.”

The Kannangara boy who dreamed big. Farthest from the left

විශාල සිහින දකින ලහිරු හේරත්ගේ මෙම කතාන්දරය ශ්‍රී ලංකාවේ සිටින සෑම ක්‍රීඩකයෙකුටම ඉතා හොඳ ආදර්ශයකි. තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට, තමන් සතුව ඇත්තේ මොනවා ද? තමා පැමිණෙන්නේ කොයි වගේ තත්වයක සිට ද? වැනි කරුණු කිසිවක් අදාළ නොවන බව ඔහු සනාථ කර අවසන් ය. ඔහු වයස අවුරුදු 15 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට සිහින දැක්කේය. ඒ අනුව ඉන් වසර 6කට පසුව අද වන විට දිවයිනේ සිටින ඉතා දක්‍ෂ රග්බි ක්‍රීඩකයෙක් බවට පත්ව සිටින ඔහු ජාත්‍යන්තර තරගාවලියක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටත් සූදානමින් ය.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න