තිරිමාන්න සහ කපුගෙදරව තේරීම ලැබ්රෝයි සාධාරණීකරණය කරයි

රෙක්ස් ක්ලෙමන්ටයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට වාර්තා කරයි.

3879
Labrooy defends

ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ නව සභාපති ධූරයට පත් ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වැඩකටයුතු විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම නිසා ඔහු කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ මෙන්ම පුහුණුකරු නික් පොතාස් මහතාගේ ද දැඩි ප්‍රසාදයට ලක්විය. නව තේරීම් කමිටුව වෙත පැවරුණු පළමු වගකීම වූයේ පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියයි.

එහි දී ඔවුන් සිය කටයුතුවලට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට සමත් වූයේ වසර 7ක් පුරාවට තරගාවලි 9කට මුහුණ දෙමින් පාකිස්තාන කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලියක් පරාජයට පත් නොවෙමින් තබා තිබූ වාර්තාව කෙළවර කරමිනි.

ශ්‍රී ලංකාව ඉදිරියට; පාකිස්තානය පස්සට

ඊයේ (10) අවසන් වූ ශ්‍රී ලංකා – පාකිස්තානු ටෙස්ට් තරගාවලියට පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…

කෙසේ නමුත් ලහිරු තිරිමාන්න ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වයට පත්කිරීම සහ චාමර කපුගෙදර තවදුරටත් එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව තේරීම් කමිටුවට විවිධ දෝෂාරෝපණ එල්ල විය. ThePapare.com සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී සිය තීරණ සාධාරණීකරණය කරමින් ලැබ්රෝයි මහතා පවසා සිටියේ;

“70 ගණන්වල අවසන් භාගයේ ඉදන් අපේ ක්‍රිකට් සාර්ථක වුනේ අපිට එකමුතුව වැඩ කරපු නායකයින් සහ උපනායකයින් ගොඩ දෙනෙක් සිටිය නිසා. ඉතින් අපි ඒකම නැවතත් ඇති කරන්න උත්සාහ කළ යුතුයි. තිරිමාන්නට ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය දෙන්න එක හේතුවක් තමයි ඒක. අපි බලන්නේ ඉදිරි වසර 4-5ක කාලය තුළ කණ්ඩායමේ නායකයන් වෙන්නේ කවුද සහ ඔවුන් එකට වැඩ කිරීම සම්බන්ධයෙන්.”

“අපි විශ්වාස කරනවා තිරිමාන්න කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක් කියලා. ඔහු අවසන් එක්දින තරග දෙකේදීත් හොඳින් ලකුණු අතර සිටියා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඔහු ටෙස්ට් තරගවලදීත් හොඳින් දක්‍ෂතා අතරට පැමිණෙයි කියලා. චන්දිමාල්ගේ නායකත්වය යටතේ උපනායකයා ලෙස ඔවුන් දෙදෙනාට හොඳින් කටයුතු කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ඒ සුසංයෝගය දීර්ඝ කාලීන පදනමක් මත ගොඩනගන්න.”

ලැබ්රෝයි මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මතභේදයට තුඩු දී ඇති තවත් මාතෘකාවක් වන්නේ දිගින් දිගටම චාමර කපුගෙදර කණ්ඩායමට ඇතුළත් කිරීමයි. එක්දින තරග 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇතත් ඔහු මේ වනතුරුත් ශතකයක් ලබා ගන්නට සමත් වී නොමැති අතර තරගයක් ජයග්‍රහණය කිරීමට ද ඔහු ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව ඇත්තේ ඉතා කලාතුරකිනි.

කපුගෙදරගේ එක්දින ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වන 21 සහ ගෘහස්ථ එක්දින තරගවල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වන 28, ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට අපහාසයකි. ඔහුව අවසන් ගෘහස්ථ තරග වාරයේ දී SSC ක්‍රීඩා සමාජය විසින් ද ක්‍රීඩා කරනු නොලැබීය. කෙදිනක හෝ MH370 ගුවන් යානයේ අභිරහස විසඳීමට හැකිවනු ඇත. නමුත් තම ක්‍රීඩා සමාජයේවත් ස්ථානයක් නොමැති ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට ඇතුළත් වූයේ කෙසේද? යන ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට හැකි වනු ඇත්දැයි යන්න සැක සහිතය.

“වරින් වර සංචිතයට ඇතුළත් කරමින් ඉවත් කරපු තවත් ක්‍රීඩකයෙක් තමයි කපුගෙදර. ඔහුට ගොඩක් අවස්ථාවන් ලබා දුන්නත් ඒවා ලබා දුන්නේ අඛණ්ඩව නෙමෙයි. ඔහුව යොදාගෙන තිබුණේ කණ්ඩායමේ හිඩැසක් ඇතිවුණාම ඒක පුරවන්න. අපි සතුව කුසල් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න යන ක්‍රීඩකයිනුත් සිටිනවා. ඒ නිසා ඔවුන් 100%ක් සුවය ලැබුවම කණ්ඩායමේ තේරීම කොහොම වෙයිද කියන එකට හොඳ තරගයක් තියෙයි. මැදපෙළ ක්‍රීඩා කරන මේ සියලුම ක්‍රීඩකයින්ට කණ්ඩායමට ඇතුළත් වෙන්න එකිනෙකා අතර තරග කරන්න වෙනවා.”

ලැබ්රෝයි මහතා ප්‍රකාශ කළේය.

ලොව පුරා ක්‍රිකට් පිස්සෝ ට්විටර් වලින් සිංහයින්ට කිව්ව දේවල්

ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 9-0ක් ලෙස අත්විඳි දැවැන්ත පරාජයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්.

තේරීම් කමිටුව ලබාගත් තවත් එක් තීරණයක් වන්නේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අංක හතර ස්ථානය වෙත මාරු කිරීමයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ලැබ්රෝයි මහතා ප්‍රකාශ කර සිටියේ;

“අපිට හිතෙන විදිහට ඔහුගෙන් උපරිම සේවයක් ලබා ගන්න පුළුවන් අංක හතර ස්ථානයේ. අපි මැතිව්ස් සහ ගුණරත්නව කණ්ඩායමට ඇතුළත් කරන ස්ථාන ගැනත් හිතන්න ඕනේ.”

ලැබ්රෝයි මහතා තවදුරටත් දිමුත් කරුණාරත්න එක්දින සංචිතයට ඇතුළත් නොකිරීම පිළිබඳව ද අදහස් දැක්වීය. 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ ද සාමාජිකයෙක් වූ දිමුත් සිය ආබාධයෙන් සුවය ලබා ගැනීමෙන් අනතුරුව සීමිත පන්දුවාර තරග සඳහා කණ්ඩායමට ඇතුළත් කර නොමැත. මෙම වසරේ පුරාවට ඔහු ටෙස්ට් තරගවල දී ඉතා ඉහළ දක්‍ෂතා අතර සිටි අතර ඒ අනුව ඔහු මෙම වසර තුළදී මේ වන විට ටෙස්ට් ලකුණු 900කට අධික සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත්ව ඇත. මෙම වසරේ දී ඔහුට වැඩියෙන් ටෙස්ට් ලකුණු ලබා ගැනීමට සමත්ව ඇත්තේ ඩීන් එල්ගා සහ හෂීම් අම්ලා යන ක්‍රීඩකයින් දෙපළ පමණි.

“ඔහුට එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කරන්නත් හොඳ හැකියාවක් තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපිට අවශ්‍යයි ද ඔහුව එක්දින කණ්ඩායමට ඇතුළත් කරන එක? නැත්නම් ඔහු ඉහළ දක්‍ෂතා අතර සිටින ටෙස්ට් තරග දිගටම ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව ලබා දීලා එහි ඉහළ සාර්ථකත්වයක් ලබාගන්න ඔහුට අවස්ථාවක් ලබා දෙනවා ද? කියන එක. අපිට එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය සඳහා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටිනවා. ඒ නිසා අපිට හදිස්සියේ ඔහුව එක්දින තරග සඳහා ඇතුළත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍යයි ඔහු ටෙස්ට් තරගවල දී තවදුරටත් දියුණු වෙන එක. හරි වේලාව ආවම අපි ඒ ගැනත් හිතලා බලනවා.”

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව දැඩි මාර්ගෝපදේශ නිකුත් කිරීම හේතුවෙන් තේරීම් කමිටුව ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ද දැඩිව සලකා බලන බව ලැබ්රෝයි මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“අපි ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය දැඩිව සැලකිල්ලට ගන්නවා. ක්‍රීඩා අමාත්‍යවරයා ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව මාර්ගෝපදේශ හඳුන්වා දීලා තියෙන්නේ. ඊට අනුව ක්‍රීඩකයින් අවම තත්වයන් යටතේ ‘yo-yo’ පරීක්ෂණයක් සමත් විය යුතුයි වගේම සම හැලීයාම ද නියමිත සීමාවකට අඩුවෙන් තිබිය යුතුයි. ඇන්ජෙලෝව කණ්ඩායමට ඉක්මණින් ඇතුළත් නොකරන්න එක හේතුවක් තමයි ඒක. ඉදිරියේ දී දීර්ඝ ඉන්දීය සංචාරයකුත් තියෙන නිසා අපිට අවශ්‍යයි ඔහු 100%ක් සුවය ලබන එක. එම සංචාරය සඳහා දැන් ආබාධවලට ලක්වෙලා ඉන්න ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සුවය ලැබීම අපට අවශ්‍යයි.”

විවිධ හේතූන් මත මෙම වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා තරමක් අසීරු වසරක් විය. කෙසේ නමුත් ලැබ්රෝයි මහතා ප්‍රකාශ කර සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කණ්ඩායම දැක්වූ දක්‍ෂතා පිළිබඳව ඔහු ඉතාමත් සතුටට පත්වන බවයි.

“ක්‍රීඩකයින් පිළිබඳව ඉතාමත් සතුටුයි. ඔවුන් ජයග්‍රහණයක් ලබාගන්න අවශ්‍යතාවයකින් සිටියේ. මෙහෙදී තියෙන පීඩනයෙන් බැහැරව පිටත ක්‍රීඩා කරන්න ලැබුණ එක ඔවුන්ට උදව්වක් වුනා. ඔවුන් සැලැස්මක් ඇතිව හොඳින් ක්‍රීඩා කරලා තරගාවලිය ජයග්‍රහණය කළා. මම විශ්වාස කරනවා ඔවුන්ට එම ජයග්‍රහණයෙන් ලැබුණු උත්තේජනය එතන ඉදන් ඉදිරියටත් රැගෙන යන්න පුළුවන් වෙයි කියලා.”

“කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යන්න කලින් අපි නායකයාට සහ උපනායකයාට කතා කරලා පැහැදිලි කරලා දුන්නා අපි අඛණ්ඩ බවක් බලාපොරොත්තු වෙනවා කියලා.”

“අපි ඔවුන්ට කිව්වේ අපි ක්‍රීඩකයෙක් හඳුනා ගත්තම ඔවුන්ව වරින් වර ඉවත් කරලා, නැවත ඇතුළත් කරනවා වෙනුවට අපි ඔවුන්ට දිගටම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දීලා ඔවුන්ගේ විශ්වාසය ගොඩනංවනවා කියන එක. ඒ අනුව ක්‍රීඩකයින් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කරන්න තේරුණොත් ඔවුන්ට ඉනිමක් හෝ දෙකක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීලා පසුව ඒ වෙනුවට වෙනත් කෙනෙක් ආදේශ කරවනවා වෙනුවට අපි ඔවුන්ට සාධාරණ අවස්ථාවක් ලබා දෙමින් ඔවුන්ගේ දක්‍ෂතා පෙන්නන්න හැකිතාක් කාලය ලබා දෙනවා. අපිට ක්‍රීඩකයින්ට ඒ සහතිකය ලබා දෙන්න පුළුවන්.”

ICCයේ කලාපීය තරග තීරකයෙක් වශයෙන් කටයුතු කළ ලැබ්රෝයි මහතා ප්‍රකාශ කර සිටියේ මීට පෙර සිව්වරක් තේරීම් කමිටුවේ සභාපති ධූරය ලබා දීමට ආරාධනා කළත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ නමුත් මෙය අභියෝගාත්මක කර්තව්‍යයක් බැවින් ඔහු එම අවස්ථාව මෙවර බාර ගැනීමට තීරණය කර ඇත.

“මීට පෙර හතර පාරක් මට තේරීම් කමිටුවට ආරාධනා කළා. නමුත් ඒ වෙනකොට ඒ වගකීම බාරගෙන කරන්න සූදානමෙන් ගොඩ දෙනෙක් සිටිය නිසා මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. නමුත් මෙවර මට හිතුනා මට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යමක් ලබා දෙන්න අවශ්‍ය නම් මේක තමයි ඒකට හොඳම අවස්ථාව කියලා. මට හිතුනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජයග්‍රාහී මාවතට යොමු කරන්න උදව් කරන්න උත්සාහයක් ගන්න.”          

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<