අහම්බයකින් රග්බි පිටියට පිවිසි “ජීවා”

24

ජීවන්ති තුසිත කුමාරි ගුණරත්නගේ ගම රත්නපුරේ, කුරුවිට ය. පාසල කෑගලු බාලිකාව ය. පාසල් යන අවධියේ ක්‍රීඩාවන් ලෙසින් තෝරාගෙන තිබුණේ පාපන්දු සහ මලල ක්‍රීඩාව ය. නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ රග්බි ක්‍රීඩාවෙන් ය. මේ කෙසේ ගැලපීමක් ද?

හැව්ලොක් දඩබිමේ නිහඬ දඩයක්කරු – රීසා මුබාරක්

තරගය අවසානයට ඇත්තේ තවත් තත්පර කිහිපයක් පමණයි. හැව්ලොක් කණ්ඩායම හා ජයග්‍රහණය අතර ඇත්තේ කෙස්

මව්පිය සෙනෙහස කුඩා කාලයේ ම අහිමි වූ ජීවා, කුරුවිට ගත කළ ජීවිතය අතිදුෂ්කර ය. ඇය හදා වඩා ගත්තේ ඇයගේ පුංචි අම්මා, බාප්පා සහ ලොකු අම්මාත් ය. දෙමාපිය සෙනෙහස, රැකවරණය නොමැති වූවත් ඇය පුංචිගේත්, ලොකු අම්මාගේත් සහ බාප්පාගේත් සෙවනේ හැදී වැඩෙන්නේ ඔවුන්ගේම දරුවෙක් ලෙසිනි.

ඔවුන් වුවද ආර්ථිකයෙන් සවිමත් වූවෝ නොවෙති. නමුත් ජීවාගේ බර ඔවුන් සම සේ විඳ දරා ගනිමින් ඇයව උස් මහත් කළෝය. මේ අතරවාරයේ ය, නේවාසිකාගාරයක් සහිතව ඇයට කෑගලු බාලිකාවේ දොර විවර වන්නේ. එහෙත් කුඩා ජීවා කෙසේ නේවාසිකාගාරයක රඳවා තබන්න ද? ඔවුහු ඔවුනොවුන් විමසූ වාර අනන්තය.

“මම දන්න කාලෙ ඉඳලම හිටියෙ හොස්ටල්වල. පුංචිත්, ලොකු අම්මාත්, බාප්පත් නිතර මං ගැන සොයා බැලුවා. නිවාඩු කාලවල ඔවුන් සමඟ හිටියා. ඒත් මම දන්න කියන කාලෙ ඉඳලම කැමති වුනේ හුදකලාව ඉන්න. ඒ නේවාසිකාගාර ජීවිතය නිසා වෙන්න ඇති. අම්මා තාත්තා මතක් වුනත් මම ඒ ගැන හිතන්න ගියේ නැහැ. මට මව්පිය සෙනෙහස දුන්න පුංචි, ලොකු අම්මා, බාප්පට වුනත් කරදරයක් නොවන විදිහට සිටින්නයි මට ඕන වුනේ. මම මගේ වැඩ තනිව කරගන්න පුරුදු වුනා. සිතන්න පුරුදු වුනා. කෑගලු බාලිකාවෙ දි ක්‍රීඩාවලට යොමු වෙන්නේ හුදකලා බව නැති කරගන්න. ඒක ජීවිතයට හොඳ උත්තේජනයක් වුනා.“ ජීවා පවසන්නී ය.

ජීවා පාසල් කාලයේ දී දක්ෂ මලල ක්‍රීඩිකාවකි. ඇය උස පැනීම, තුන් පිම්ම සහ කඩුලු පැනීම වැනි ඉසව් තෝරාගෙන තිබුණි. ඇය එම ක්‍රීඩාවලින් සමස්ත ලංකා මට්ටමේ තරගවලට පවා සහභාගී වූ බැව් ද පවසන්නී ය. නමුත් ඒ මගින් ලැබූ මතක හිටින ජයග්‍රහණයක් නම් නැත.

“මට ලොකුවට ජයග්‍රහණයක් ලබන්න ඕන කියන හැඟීම ඒ දවස්වල ඉඳලම තිබුණේ නැහැ. මට අවශ්‍ය වුනේ ඒවට සහභාගී වීම. ඇත්තටම මම පාසල් කාලයේ දී ක්‍රීඩාවට යොමු වුනේ හොස්ටල් එක ඇතුලෙ ඉන්නවට වඩා ඒ කාලය කුමකට හෝ දේකට වැය කිරීමේ පරමාර්ථයෙන්. පාඩම් වැඩ වුනත් නිතර ම කරන්න බැරි නිසයි ක්‍රීඩාවට යොමු වුනේ. පස්සෙ පස්සෙ මට තේරුණා, මගේ අනාගතය රැඳී තිබෙන්නෙ ක්‍රීඩාවෙන් කියලා. ඒ නිසා වැඩි කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කළා. ඒ දවස්වලම තමා පාසලේ පාපන්දු ක්‍රීඩාවටත් යොමු වුනේ.” ජීවා ක්‍රීඩාව තම ජීවිතය හා බද්ධ වීම ගැන පවසන්නේ එවැනි කතාවකි.

පාසල් කාලයේ දී මලල ක්‍රීඩාවෙන් මෙන්ම පාපන්දු ක්‍රීඩාවෙන් ද ජීවා අන් ක්‍රීඩිකාවන් අභිබවා හෝ ඔවුන් හා කරට කර තරග මට්ටමේ දක්ෂතා දක්වන්නට වූවාය. ඇයට අවශ්‍ය වූයේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට ය. ඒ නිසා ඇය ඊට බර තබා කටයුතු කරන්නට ද විය. මේ හේතුව ඇය පාසල් පත පොතෙන් මදක් ඈත් කරන්නට ද හේතු වූවත් ඇය මේ දෙකම සම සේ කරගෙන යෑමට ද උත්සාහ කළාය. ඒ අතර වාරයේ ය ජීවාගේ දෛවෝපගත ඉරණම් දිනය එළඹෙන්නේ.

සබරගමුව පළාතේ කාන්තා රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ වැඩමුළුවකට සහභාගී වීමට ජීවාට ද අවස්ථාවක් උදා වන්නීය. ඒ වෙනත් ක්‍රීඩාවන් කරන ළමුන්ට ද ඊට සහභාගී කරවීමට ලැබූ අවස්ථාවක් අනුව ය. පාපන්දුව හුරු ජීවා රග්බි පන්දුව අතට ගන්නට දෙවරක් සිතුවේ නැත.

“ජීවා මට හමුවෙන්නේ ඒ පුහුණු කඳවුරේ දී. ඒ වෙද්දී සබරගමුව පළාතේ බාලිකා රග්බි ක්‍රීඩාව ගොඩක් පාසල්වල පැතිරිලා තිබුණේ. ජීවා පුහුණු කඳවුරට ආවත් ඇය බඳවා ගැනීමේ හැකියාවක් අපට තිබුණේ නැහැ. ඒ අපි අපේක්ෂා කළ වයස් කාණ්ඩයට ඇය ඇතුළත් නොවීම නිසා. නමුත් එදින ළමුන්ගේ සහභාගීත්වය අඩු නිසාත්, ඇය පාපන්දු ක්‍රීඩාවේ නියුතුව සිටි නිසාත් ඇයට ඊට සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඇය ඉතා හොඳින් රග්බි පුහුණුවීම්වල නිරත වෙනවා. අපි කවුරුත් එදා හිතුවේ නැහැ, ඇයට රග්බි ක්‍රීඩාවෙන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා.” එම පුහුණු කඳවුර සංවිධාන කළ සබරගමුව රග්බි සංගමයේ කේ. එස්. පී. කරුණාරත්න මහතා ශ්‍රී ලංකා රග්බි කාන්තා පිලට දායාද කළ ක්‍රීඩිකාවකගේ ප්‍රවිශ්ටය ගැන මතකය අවදි කළේ එලෙසිනි.

ජීවා රග්බි ක්‍රීඩාව පළමු වරට කළේ එදින ය. ඊට පසු ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳෙන තුරු කවමදාවත් රග්බි ක්‍රීඩාවේ යෙදුණේ නැත. ඊට ඇයට අවස්ථාවක් ද ලැබුණේ නැත.

“ඒ මගේ පාසල් ජීවිතයේ අවසන් අවුරුද්ද. මට මගේ හොස්ටල් ජීවිතයේ ද අවසන් අවුරුද්ද. පාසල් කාලයෙන් පස්සේ මාව හොස්ටල් එකේ තියාගන්නේ නැහැ. නැවත මට කුරුවිට යන්න වෙනවා. පුංචිට, ලොකු අම්මට, බාප්පට නැවත වරක් බරක් වෙන්න වෙනවා. පුංචි දවස්වල වගේ නෙමේ දැන් මගේ අවශ්‍යතාවන් වැඩියි. ඒ වුනත් මම දැනගෙන හිටියා ඒ අයට මාව බරක් නොවේ කියලා. නමුත් මට අවශ්‍ය වුනේ ඔවුන්ටත් බරක් නොවී මගේ ජීවිතය ගෙන යන්න. ඒ ගැන හිතෙද්දී මම අසරණයි කියල හිතුණ වාර අනන්තයි. නමුත් මට ජීවිතයේ ඉලක්කයක් තිබුණා. ඒ ක්‍රීඩාවෙන් ඉදිරියට ගොස් මම දන්න දේ තවත් පිරිසකට කියා දෙන්න. කෙටියෙන් කියනවා නම් පුහුණුකාරිනියක් වෙන්න. නමුත් ඒකටත් කාලය අවශ්‍යයි. ඒ ගැන සිතමින් සිටි කාලයක දී තමයි කරූ සර් ගුවන් හමුදාවට බැඳෙන්න කැමති ද කියල මගෙන් ඇහුවේ.” ජීවා පැවසුවා ය.

කඳුළු පිසදා රග්බි පිටියේ පියාසර කළ සීතාවක “ගුවන්” – අරුණ ශාන්ත

පළමු වතාවට ජාතික සංචිතයට පිවිසීම ඕනෑම ක්‍රීඩකයෙකුට ඇති සිහිනයක්. විශේෂයෙන්ම කොළඹින් පිටත, රග්බි ක්‍රීඩා නොකරන පාසලක ක්‍රීඩා

මිනිසුන්ගේ දෛවය ලියැවී තිබෙන්නේ තමන් කැමති ආකාරයට නොවේ. එමෙන්ම තමන් කැමති පිටුවල ද නොවේ. පාසල් ජීවිතයට ආයුබෝවන් කී ජීවා ඊට ටික කාලයකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා රග්බි කණ්ඩායමට බැඳෙන්නී ය. ඒ කේ. එස්. පී. කරුණාරත්න සහ සුරංග අරුණ ශාන්ත යන මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙනි.

එය ජීවාට අලුත් අත්දැකීමක්  නොවුණි. ජීවිතයේ වැඩි කාලයක් හොස්ටල්වල ම කාලය ගත කළ ජීවාට හමුදා ජීවිතය එතරම්ම අරුමයක් නොවුණි. නමුත් පාසල් කාලයේ දී දිනක් පමණක් රග්බි ක්‍රීඩාවේ යෙදුණ ඇය මේ සෙල්ලමට පිවිසියේ තරමක් දෙගිඩියාවෙනි. නමුත් ඇය සතුව පැවති ශක්තිමත් සිත සියලු දුර්වලතාවන් පසෙක ලූවේ ය.

“ගුවන් හමුදාවට බැඳී ඉතාම කෙටි කාලයකින් රග්බි ක්ලබ් 7 ටූනමන්ට් එක තිබුණා. මම පළමු තරගයට සහභාගී වුනේ ගොඩක් බයෙන්. ඒක මගේ ජීවිතයත් රස්සාවත් තීරණය කරන අවස්ථාවක් වුනා. මම එතැන දී ආසර්ථක වුනොත් මට ගුවන් හමුදාවේ තව දුරටත් ඉන්න බැරි වෙනවා. එතකොට මගේ අනාගත ය. මම හිතුවා. නමුත් තරගාවලිය අවසන් වෙද්දී මම ඉතා හොඳ රග්බි ක්‍රීඩිකාවක් බවට පත්ව සිටියා. ඒ විතරක් නෙමේ මම ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයටත් තේරුණා.” මේ දිරිය දියණිය ආඩම්බරයෙන් කියන සත්‍ය කතාව ය.

රග්බි සංචිතයට තේරී පත් වුන ද ඇය 2018 වසරේ හොංකොං බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් නොලැබූවා ය. නමුත් ඒ ගැන ඇය එතරම්ම සිතුවේ නැත. ඇයට ඒ වෙද්දී දිනා ගැනීමට තිබුණේ ජාතික කණ්ඩායමේ ස්ථානයකට පිවිසීම ය.

“මම රග්බි සංචිතයේ හිටියෙ ගොඩක් සතුටින්. මේ දේවල් මම පතාගෙන ආ දේවල් නෙමේ. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි වුනේ නැහැ කියල මට දුකක්, කනගාටුවක් වගේ දේවල් දැනුණේ නැහැ. ඊට වඩා දේවල් මට නැති වෙලා තිබුණා. නමුත් මාව කණ්ඩායමට නැහැ කියල ලැබුණ පණිවිඩයෙන් පස්සෙ මම හිතා ගත්තා ඊළඟ තරග සංචාරයට එක්වෙන තරමේ දක්ෂතා දක්වනවා කියලා. මට ඒක කරන්න හැකි වුනා. එම වසරේම කොරියාවේ පැවති ආසියානු ශූරතාවලියට යන ශ්‍රී ලංකා රග්බි කාන්තා කණ්ඩායමේ ස්ථානයක් මට හිමි වුනා. එතැන් සිට මම ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසින් ඉන්නවා.” ජීවා පවසන්නී ය.

මලල ක්‍රීඩාවෙන් එසේත් නොමැති නම් පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සිහින මැවූ ජීවා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සාමාජිකාවක් වන්නේ එලෙස ය. කුරුවිටින් කෑගල්ලට සේන්දු නොවන්නට ජීවාට එම අවස්ථාව අහිමි වන්නට ද තිබුණි. නමුත් දෛවය වෙනස් කළ නොහැකි ය.

“කරූ සර් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ඔහු තමයි මට මේ පාර කියා දුන්නේ. ඒක නොවරදින මාර්ගයක් වුනා. ඒ වගේම සුරංග සර් ද මේ ගමනට උදව් කළා. මගේ හොස්ටල් ජීවිතේ දී මාව අම්ම කෙනෙක් වගේ මාව බලා ගත්තේ ජීවන්තිකා චන්ද්‍රමාලි මිස්. ඇය මට ගොඩක් උදව් කළා. ඒ වගේම උද්‍යානි බෝවත්ත, චිත්‍රා අමාලි සහ නයනා කුමාරි යන ගුරුවරියනුත් මගේ ගමනට විවිධ ආකාරයෙන් උදව් උපකාර කළා. ඒ සියලු දෙනාට ස්තූති කළ යුතුයි. ඒ වගේ ම නැෂනල් පූල් එකේ පුහුණුවීම් කරවන සුදත් සම්පත් සර් සහ ඩිලාන් සර් ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. ගුවන් හමුදාවේ සියලුම දෙනාවත් පුංචි, ලොකු අම්මා සහ බාප්පා ඇතුළු පවුලේ සියලු දෙනාමත් මගේ ගමනට ආශීර්වාදයක්.” ජීවා පවසන්නී ය.   

ඇය රග්බි ක්‍රීඩාවට පිවිසෙන්නේ අහම්බයකිනි. එහෙත් ඇය එය ජය ගන්නීය. ඇය තරමින් දුක් කරදර විඳි තැනැත්තියක් රග්බි පිටියේ නොමැති තරම් ය. පැමිණි දුක්, කම්කටොළු, බාධක හමුවේ ඇය ලැබූ පන්නරය කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට ආදර්ශයකි.  

“කොච්චර බාධක ආවත් තමන්ට ඉලක්කයකට යන්න අවශ්‍යතාව තියෙනවා නම් ඒ ගැන බලාපොරොත්තු තබා ගන්න ඕන. ඒ බලාපොරොත්තුව ගැන නොකඩවා සිතන්න ඕන. ඊට අවශ්‍ය ආකාරයට සෑම විටකම කටයුතු කරන්න ඕන. එතකොට ඒ ගමන යන්න අපහසු නෑ.” ජීවා පවසන්නී ය. ඒ ඇය ගෙවී ගිය කාලයේ දී සැබෑ ලෙසම මුහුණ දුන් දේ මගින් උගත් දේ ය.

මේ දිරිය දියණියට ThePapare.com සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<