කුසල් මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මහේලගේ විරෝධය

1245
Jayawardene critical of Mendis

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් ඇතුළත් නොකිරීමේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන සිය ‘Twitter’ ගිණුම හරහා ඔහුගේ කලකිරීම ප්‍රකාශ කර ඇත.

සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර පසුගිය 02 වනදා ඔහු පලකළ ට්විටර් පණිවිඩයක් හරහා ඔහු ප්‍රකාශ කර සිටියේ,

“කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව තේරුම් ගන්න බැහැ. ඔහු ක්‍රීඩා කළේ නැතත් ඔහු ඉන්දියාවේ සිටිය යුතුයි. තරුණ ක්‍රීඩකයෝ ඉගෙන ගන්නේ එහෙමයි.”  

මෙම වසරේ මුල භාගයේ දී පැවති ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 176ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව බොහෝ දෙනා අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පිතිකරණ තරුව ඔහුව වනු ඇති බවටයි. එමෙන්ම ඔහුගේ එම ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තරගාවලියේ තීරණාත්මක සාධකය වූ බවට බොහෝ දෙනාගේ පැසසූමට ලක්වූ අතර අනතුරුව එවිට අංක 1 ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට ලක් කරමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරග තුන..

එතැන් පටන් ඔහු ටෙස්ට් තරග 16කදී ලකුණු 1102ක් රැස්කර ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 34.43ක් ලෙස සටහන් වී ඇත. කෙසේ නමුත් තරග ගණනාවක දීම ලකුණු අතරට පැමිණීමට මෙන්ඩිස් අපොහොසත් වීම නිසා ඔහුව එක්දින හා පන්දුවාර 20 කණ්ඩායම්වලින් ද මෑතක දී ඉවත් කෙරුණු අතර ඒ අනුව ඔහු ටෙස්ට් පිටියේ විශේෂඥ පිතිකරුවෙක් වනු ඇති බවට අනුමාන කෙරිණ.

කෙසේ නමුත් පසුගිය දා අවසන් වූ පාකිස්තානය සමඟ පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ඉනිම් 4 තුළ ඔහු ලබාගැනීමට සමත් වූයේ පිළිවෙළින් ලකුණු 10, 18, 01 සහ 29ක් පමණි. ඒ අනුව ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැදගත් ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසයේ දී ය. ඒ ඉන්දියානු කණ්ඩායම සමඟ SSC ක්‍රීඩාංගණයේ දී පැවති 2වන ටෙස්ට් තරගයේ දීය. එහි දී ඔහු ලකුණු 110ක් වාර්තා කරගැනීමට සමත් වූ අතර එම ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදකාරී අවස්ථාවක සිටිය දී වාර්තා වීම විශේෂත්වයකි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයකින් බේරීමට  ක්‍රීඩා කරන අවස්ථාවක දී ඔහු දිමුත් කරුණාරත්න සමඟ එක්ව ලකුණු 191ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.

මේ පිළිබඳව ද ඉස්මතු කරමින් මහේල වැඩිදුරටත් පවසා සිටියේ එම ඉනිම වාර්තා වී එතරම් වැඩි දවසක් නොවන බවත් එසේම ඔහුව මෙවර සංචිතය සඳහා ඇතුළත් කර නැත්තේ ඔහු එම ඉනිම වාර්තා කරගත් ප්‍රතිවාදී කණ්ඩායම සමඟම තරගාවලියට බවත් ය.

ඒ අනුව මෙන්ඩිස්ගේ ස්ථානය බොහෝ දුරට ලහිරු තිරිමාන්න හට හිමිවීමට අවස්ථාව ඇති අතර ඔහු පසුගිය අවුරුදු 2ක කාලය තුළ ටෙස්ට් තරග 4ක් පමණක් ක්‍රීඩා කරමින් 13.42ක සාමාන්‍යයක් යටතේ ලබාගෙන ඇත්තේ ලකුණු 94ක් පමණි.      

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <