අන්තර් විශ්ව විද්‍යාල දැල්පන්දු ශූරතාව ජ’පුරට

372

සබරගමුව විශ්ව විද්‍යාලයේ දී පැවති 2017 අන්තර් විශ්ව විද්‍යාල දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 79-35ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථාන

බොස්ට්වානාහි ගැබොරෝන් නුවර දී පැවැත්වෙන 8 වන යොවුන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ග්‍රෙනාඩා රාජ්‍යය…

වසර 10ක් පුරාවට අඛණ්ඩව ශූරතාවය දිනූ කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් 2014 වසරේ දී ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය මෙවර දිනා ගනු ලැබුවේ අඛණ්ඩව 4 වන වසරටයි. ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවක් මෙන්ම පුහුණුකාරිනියක් ද වන හයසින්ත් විජේසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දස්කම්වල විශාල දියුණුවක් ඇතිවන්නට විය.

මෙම තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැවති තරග මිනිත්තු 20 අර්ධ 2කින් සමන්විත වූ අතර තරගාවලියේ අවසන් මහා තරගය සහ 3 වන ස්ථානය සඳහා පැවති තරගය පැවතියේ මිනිත්තු 30 අර්ධ 2ක් යටතේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පළමු වටයේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 65-08ක් ලෙස පරාජයට පත්කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ දී ද ඔවුන් වයඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 55-07ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරන ලදි.

අවසන් පූර්ව වටයේ තරගයේ දී ඔවුන් කොළඹ විශ්ව විද්‍යාලය සමඟ තරග බිමට පිවිසි අතර එම තරගය ද දැඩි අභියෝගයකින් තොරව ලකුණු 43-21ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී කැලණිය විශ්ව විද්‍යාලය ලකුණු 30-23ක් වශයෙන් පරාජයට පත්කරන්නට යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලය ලකුණු 41-38ක් වශයෙන් පරාජයට පත්කරන්නට කොළඹ විශ්ව විද්‍යාලය සමත් විය. කැලණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමක් තරගාවලි ඉතිහාසයේ අවසන් පූර්ව වටයක් සඳහා මෙවර සුදුසුකම් ලැබුවේ පළමු වරට වන අතර පසුගිය වසරේ අනුශූරයින් බවට පත්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙවර කිසිදු ස්ථානයක් දිනා ගැනීමට අපොහොසත් විය.

කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ මහත්මිය පවසා සිටියේ,

“මෙම වසරේ දී යාපනය විශ්ව විද්‍යාලයේ හොඳ කණ්ඩායමක් සිටියා. ඔවුන් කණ්ඩායමක් වශයෙන් හොඳින් ක්‍රීඩා කළා. කෙසේ නමුත් අපේ කණ්ඩායමට අනෙක් කණ්ඩායම් අභිබවා යන්න පුළුවන් වුණේ අපි අනෙක් කණ්ඩායම් වලට වඩා ලකුණු ලබා නොදී ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් අනුගමනය කරපු නිසා. අපි අපේ දුර්වලතා මඟහරවා ගනිමින් හොඳින් ක්‍රීඩා කරමින් අනෙක් කණ්ඩායම් පරාජයට පත්කළා. මම සතුටට පත්වෙන්නේ ජයග්‍රහණය හෝ තරගවල ලකුණු තත්වය ගැන පමණක් නෙමෙයි. අපේ සැලසුම් ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවීමට පුළුවන් වීම ගැනත් මම සතුටට පත්වෙනවා. මම හිතන්නේ ඒකට ලොකු ගෞරවයක් හිමිවෙන්න ඕනේ කණ්ඩායමේ නායිකා සොනාලිට.”

“සොනාලිගේ නායකත්වය පිළිබඳව මම සතුටට පත්වෙනවා. එමෙන්ම කණ්ඩායමේ උපනායිකා හිමාෂාත් හොඳින් ක්‍රීඩා කළා. ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන විජිනිත් තරගාවලිය පුරාවට දක්‍ෂතා අතර සිටියා. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 4ක්, 5ක් පමණ ඉන්නේ අවසන් වසරේ. නමුත් තුෂාරා, ජනත්‍රී සහ සඳුනි වගේ අපේ පළමු වසරේ ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒකෙන් පැහැදිලියි අපේ අනාගතය සුරක්ෂිතයි වගේම ඉදිරියටත් මේ වගේ සාර්ථක වෙන්න පුළුවන් කියලා.”

කණ්ඩායම

සොනාලි නානායක්කාර (C), හිමාෂා රදලගේ (VC), විජිනි විජේමුණි, ටචිනි ගයාශි, අංජලී පෙරමුණුගම, තිලිණි විජිතසේන, අංජලී බියන්විල, තුෂාරා ජයසේකර, මනීෂා රණසිංහ, ජනත්‍රී හිරන්‍යා, සඳුනි වැළිකල, ඉක්ෂූරී රත්නවීර

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට