ඉසිපතනය පරදා විස්සයි විස්ස සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට!

206

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් දිනෙන් දින නවීකරණය වෙමින් තිබේ. ඒ අනුව කාලයක් තිස්සේ සිට ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරගවලට අමතරව එක්දින සහ විස්සයි විස්ස තරග ද පාසල් මට්ටමින් පැවැත්වීම ආරම්භ වී තිබේ.

ඒ අනුව අද (20) ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර T20 ක්‍රිකට් තරගයක් කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. එහි දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ තර්ස්ටන් විද්‍යාලය ලකුණු 52කින් තරගය පහසුවෙන්ම ජය ගැනීමට සමත් විය.

සුලෝහිත සංග්‍රාමයේ එක්දින තරග ජය නාලන්දාවට

45 වැනි වරටත් ක්‍රියාත්මක වූ සුලෝහිත සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට්……

මෙම තරගයට තර්ස්ටන් කණ්ඩායම පිවිසියේ තම පාරම්පරික ප්‍රතිවාදීන් වන ඉසිපතන විද්‍යාලය 56 වැනි සහෝදරයින්ගේ සටනේ දී පරාජය කිරීමෙන් අනතුරුවයි. මීට අමතරව විද්‍යාල දෙක අතර 39 වැනි වරට ක්‍රියාත්මක වූ එක්දින තරගය ද මෙවර ජය ගත්තේ ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත තර්ස්ටන් විද්‍යාලයයි.

ඒ අනුව අද තරගයටත් ධනාත්මක මානසිකත්වයකින් පිවිසෙන්නට ඔවුන්ට හැකියාව උදාවිය. තරගයේ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාවත් ලබාගත් ඔවුන් තමන්ට නියමිත පන්දුවාර 20ම යොදා ගනිමින් ලකුණු 144ක් කෝල්ට්ස් ලකුණු පුවරුව මත සනිටුහන් කළහ. ඔවුන්ගේ පිතිපෙළේ අවසන් කඩුල්ල බිඳ වැටුණේ ඉසිපතන විද්‍යාලය යැවූ අවසන් පන්දුවේදීයි.

Photos: Thurstan College vs Isipathana College | 12th T20 Encounter

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් හොඳින්ම පිත්ත හැසිර වූ බවන්ත ජයසිංහ අද ලකුණු 43ක් රැස් කළේ තම ආධාරකරුවන් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි. පන්දු 22ක් පමණක් වැයවුණු ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහරක් ද ඇතුළත් විය. ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් තර්ස්ටන් ලකුණු පුවරුව ඉහළ නැංවූ යොහාන් ලියනගේ ලකුණු 41ක් රැස්කර ගත්තේය. ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවූ යසිරු කස්තුරිආරච්චි ලකුණු 30ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 4ක් දවා ගත්තේය. මීට අමතරව ගඟන ලක්තිලක ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්ත ද තර්ස්ටන් විදුහල කිසිම මොහොතක දී ප්‍රහාරය නතර නොකිරීම විශාල ලකුණු ගණනක් රැස්කර ගැනීමේ රහස විය.

23න් පහළ කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් සටන ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොකඩවා දෙවන වතාවටත් සංවිධානය….

මෙම ලකුණු සංඛ්‍යාව පසුපස හඹා ගිය ඉසිපතන විද්‍යාලයට ප්‍රතිවාදීන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 92ක් පමණි. ඒ අනුව අවසන් පන්දුවාරය දක්වා යන උණුසුම් T20 තරගයක් දැකබලා ගැනීමේ අවස්ථාවක් අද කෝල්ට්ස් පිටියට එක්වූ ප්‍රේක්ෂකයින් සමූහයට ලැබුණේ නැත. බිඳ වැටුණු ඉසිපතන ඉනිම වෙනුවෙන් එශාන් ප්‍රනාන්දු ලකුණු 30ක් ලබා ගනිද්දී යොහාන් ලියනගේ කඩුලු 4ක් බිඳ හෙලමින් ප්‍රතිවාදීන් මට්ටු කළේය. කිසිදු විවාදයකින් තොරවම තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ද තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වූ ඔහුයි. මෙය එක් වසරක තරග රටා තුනෙන්ම තර්ස්ටන් විද්‍යාලය ජය ගත් මුල්ම අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්විය.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 20) බවන්ත ජයසිංහ 43*, යොහාන් ලියනගේ 41, ජයවිහාන් මහවිතාන 26, යසිරු කස්තුරිආරච්චි 4/30, ගගන ලංකාතිලක 3/26.

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 92 (පන්දුවාර 18.2) එශාන් ප්‍රනාන්දු 30, යොහාන් ලියනගේ 4/25.

සම්මාන

  • හොඳම පිතිකරු – බවන්ත ජයසිංහ (තර්ස්ටන් විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – යසිරු කස්තුරිආරච්චි (ඉසිපතන විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – කාලික් අමාත් (ඉසිපතන විද්‍යාලය)
  • තරගයේ වීරයා – යොහාන් ලියනගේ (තර්ස්ටන් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<