පාපන්දුවේ රූපය කාමුක වීද?

5821

සජීව පාපන්දු තරග විකාශයක දී රූමත් තරුණියන් දැක ගැනීමට ලැබීම නොසතුටට කරුණක් යැයි කිසිදු ප්‍රේක්ෂකයෙකු නොසිතනු ඇත. ප්‍රේක්ෂිකාවකට වුව කාන්තාවකගේ රූමත් බව ඇගයීමට තහනමක් නැත. එහෙත් සරාගී රූප සමීප වීමත් සමඟින් ක්‍රීඩාව කෙරෙහි කේන්ද්‍රගත වන මනස යම් විසිරීමකට ලක්වනවා දැයි පැනයක් පවතියි.

දැනට වාර්තා වන පරිදි ලෝක පාපන්දු සම්මේලනයේ විවිධාංගීකරණ ප්‍රධානී ෆෙඩ්රිකෝ ඇඩියේචි The Independent වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ‘සරාගී කාන්තාවන් සමීප රූපවලට ලක්කරමින් පාපන්දු ක්‍රීඩාවට කාමුක ස්වරූපයක් ඇතුළත් කිරීමට තැත්දරන කැමරා ශිල්පීන්ව මැඩලන්නට තමාට අවශ්‍යව ඇති බව’යි.

රුසියාවේ දී පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පුරාවට තමන් ඒ සම්බන්ධව විපරමින් පසුවූ බව ද ඔහු පවසා තිබේ. මෙය ලෝක පාපන්දු සම්මේලනයේ තීරණයක් දැයි විමසීමේ දී ඔහු පවසා ඇත්තේ “මෙය අනිවාර්යයෙන්ම අප ඉදිරියේ දී ක්‍රියාවට නැංවිය යුත්තක්” යනුවෙනි. එහි අදහස වන්නේ තවමත් මෙය මූලික සිතුවිල්ලක් බවයි.

@foottheball.com – කොලොම්බියානු පාපන්දු ප්‍රේක්ෂිකාවන් පිරිසක්

පාපන්දු උණුසුම කෙමෙන් වර්ධනය වීමත් සමඟින් ශ්‍රී ලංකාවේ පවා අති විශාල පිරිසක් පාපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවෙන් පසුවෙයි. පාපන්දු සජීව විකාශයන් නැරඹීමේ වර්ධනය සඳහා ප්‍රේක්ෂකාගාරයේ දර්ශන දැඩි ලෙස ඉවහල් වී ඇති බව නොඅනුමානයි. “sex” යන වචනය ගූගල් ඔස්සේ ලියනය කොට සොයන්නන්ගේ ප්‍රමාණය අතින් පළමුවැනි ස්ථානයේ පසුවන්නේ ද ශ්‍රී ලංකාව බැවින්, පාපන්දු උනන්දුව සහ සරාගී කාන්තා දර්ශන අතර ඇති සම්බන්ධයට මෙරැටියන් ද කොටස්කරුවන් වන බැව් අනුමාන කළ හැකිය. පාපන්දු ක්‍රීඩාව ගැන අවංක ඇල්මකින් පාපන්දුව හා සිටින ශ්‍රී ලාංකිකයන් ගණන පැහැදිලිවම අඩුය. නැතහොත් සමහරුන්ට පාපන්දු සිහිවන්නේ ලෝක කුසලානය එන විට පමණි.

“පැහැදිලි සාක්ෂි මතුපිටට පැමිණීමේ දී අපි කාරණාවෙන් කාරණාව පදනම් කරගෙන පරික්ෂා කරමින් ඉන්නවා. ස්වාධීන විකාශකයන් එක්ක අපි එය කළා. නිල විකාශකයන් එක්කත් අපි එය සිදුකරලයි තියෙන්නේ.” කාමුකත්වය පාලනය සම්බන්ධව ඇඩියේචි මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ලෝක පාපන්දු සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ පියාරා පවාර් මහතා ද අදහස් දක්වමින් පවසා ඇත්තේ තරග වාර්තාකරණයේ දී සිපගැනීම්වලට සහ අනවශ්‍ය අතපතගෑම් වලට ලක්වන මාධ්‍යවේදිනියන් ගැන ද පැමිණිලි 30කට වඩා ලැබී ඇති බවයි. එවන් සිද්ධීන් ද පාපන්දු ක්‍රීඩාව තුළ සුලභය. පහත වීඩියෝව එවැන්නකි.

ඒවා නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි වුවත් එසේ කරන සියල්ලන්ම විකෘති මනසක් සහිතවුන් බැව් සටහන් කිරීම අසාධාරණ ය. සමහරක් විට එදා දවසේ සිටින විනෝදකාමී මානසික මට්ටමත් සමඟින් ප්‍රේක්ෂකයන් විනෝදයක් හැටියට ද මෙවැනි දෑ සිදු කරනවා විය හැකිය. එහෙත් කාන්තාව ඊට විරුද්ධත්වය පාන්නේ නම් විනෝදයට හෝ සිපගැනීම් සහ අතපතගෑම් සිදුනොවිය යුතුය.

අනෙක් කරුණ වන්නේ ‘පිරිමි’ මාධ්‍යවේදියෙකු හට ‘කාන්තා’ ප්‍රේක්ෂිකාවන් විසින් මෙවැන්නක් සිදු කළේ නම් ලෝකයම නිහඬ වන බවය. ලිංගික සමානාත්මතාවය ගැන අප පුළුල් විචාරයකට පැමිණීම අත්‍යාවශ්‍ය බැව් පමණක් එබැවින් මෙහි සටහන් කළ හැකිය.

@d2v9y0dukr6mq2.cloudfront.net – කාමුකත්වය පෙරට නොදා, සමානව ක්‍රීඩාශීලීත්වය පෙරට පෙරට ගෙනෙමු

ක්‍රීඩාවක් ලෙස අප පාපන්දු හා එක්ව සිටින්නේ එහි තරගකාරීත්වය සහ දර්ශනීය බව නිසා පමණක්ම බව පැවසුවහොත් එය පට්ටපල් බොරුවකි. එහෙත් ක්‍රීඩාවෙන් පිටත කරුණු ක්‍රීඩාවට බලපෑම් කරන මට්ටමට ළඟා වීම නම් බලධාරීන්ගේ සැලකිල්ලට අනිවාර්යයෙන්ම ලක්විය යුතුය. කෙසේ වෙතත් පාපන්දු රසිකත්වය නිසා ද රූමත් කාන්තා දර්ශන සහ සැණකෙළි ස්වරූපයේ දර්ශන රූගත කරන කැමරා ශිල්පීන් ද නැත්තේම නැතිවා විය යුතුය. ප්‍රේක්ෂකයන් වශයෙන් අප ද රූප දැකීමේ ආශාවෙන් පෙලෙන්නන් බව මිලියන 20ක කාන්තා සහ පිරිමි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙහි සඳහන් කළ හැකිය.

“එහෙත් සරාගය නොව, ආදරය ප්‍රවර්ධනය කරමු”

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<