පූනේ පිළ පරදන්නට රොබින් උතප්පාගෙන් ගිණිකෙළි

291
Robin Uthappa
Robin Uthappa of the Kolkata Knight Riders plays a shot during match 30 of the Vivo 2017 Indian Premier League between the Rising Pune Supergiants and the Kolkata Knight Riders held at the MCA Pune International Cricket Stadium in Pune, India on the 26th April 2017Photo by Vipin Pawar- IPL - Sportzpics

රොබින් උතප්පා ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත්, ගෞතම් ගම්බීර්ගෙන් ලැබුණු නොමද සහයෝගයත් නිසා රයිසින් පූනේ පිළ පරදවමින් ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් අංක එකට පැමිණීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ අනුව තරග 8කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 6ක් ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් පිළට දැන් හිමිව තිබෙන්නේ දෙවැනි ස්ථානයයි.

බෙන් ස්ටෝක්ස්ගේ පන්දු යැවීම නිසා මුම්බායි ජය ගමන නිමාවෙයි

පිට පිටම තරග 6ක් ජයගෙන සිටි මෙවර අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් පිළ පරදවා ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය පිටුපස සිටි මහ පොදු සාධකය බවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ඊයේ තරගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

යහමින් ලකුණු ඇති බව පෙනෙන්නට තිබූ පූනේ තණතීරුවේ ලැබෙන ඕනෑම දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේ බලාපොරොත්තුවෙන් කල්කටා ක්‍රීඩකයෝ මුලින් පන්දු යැවීමට තීරණය කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ පූනේ පිතිකරුවන් තම පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 182කි. ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 65ක අඩිතාලමක් දමා දෙන්නට සමත් වූහ. දකුණත් පිතිකරු අජින්ක්‍යා රහානේ ඊයේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේය. මීට අමතරව තවමත් ජාත්‍යන්තර වරම් දිනා නැති නවක ක්‍රීඩක රාහුල් ත්‍රිපතිගේ පිත්තෙන් ලකුණු 38ල් පූනේ කණ්ඩායමට එකතු විය.

අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් මැදපෙළ සමඟ සබඳතා ගොඩ නගමින් නොදැවී ලකුණු 51ක් රැස්කර ගත්තේය. හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට වැයවුණු පන්දු ගණන 37කි. ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු වේගය වැඩි කරදුන් එම්.එස්. දෝනි පන්දු 11කින් ලකුණු 23ක් රැස්කළ අතර ඩැනියෙල් ක්‍රිස්ටියන් පන්දු 6කින් ලකුණු 16ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් කලින් තරගයේ වීරයා බවට පත්වූ බෙන් ස්ටෝක්ස් වෙනුවට පූනේ කණ්ඩායමට කැඳවූ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆැෆ් ඩූ ප්ලෙසිස්ට එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමට ඊයේ අවස්ථාව උදා නොවීය. පන්දු යැවීමේ දී චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් කඩුලු 2ක් බිඳ හෙලූ අතර යාදෙව්, නරෙයින් සහ චව්ලා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණු කල්කටා පිතිකරුවන්ට ලකුණු වේගය රඳවා ගැනීම සහ කඩුලු ආරක්ෂා කර ගැනීම යන ගැටලු දෙකකට එක විට මැදි වන්නට සිදුවිය. නමුත් ඊට සාර්ථකව පිළිතුරු සෙවූ ඔවුන් පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ ජය කණුව පසුකර යාමට සමත් විය. ඒ සඳහා වැයවුනේ කල්කටා පිළේ කඩුලු 3ක් පමණි.

ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිසි සුනිල් නරෙයින් ඊයේ ඉක්මනින් ලකුණු 16ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය. ඒ වන විට කල්කටා පිළ රැස් කරගෙන සිටියේ ලකුණු 20ක් පමණි. එතැන් පටන් පිටියේ එක්වුණු නායක ගෞතම් ගම්බීර් සහ රොබින් උතප්පා ලකුණු 158ක සුපිරි සබඳතාවයක් පිහිටුවමින් කල්කටා ජයග්‍රහණය තහවුරු කළහ. ඒ සොඳුරු අවසානයක් පිළිබඳ සිහින දකිමින් සිටි පූනේ කණ්ඩායමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බොඳකර දමමිනි.

කෙසේ වෙතත් කල්කටා ක්‍රීඩකයින්ට මෙතරම් පහසුවෙන් ලකුණු 183ක් හඹා යෑමට පූනේ පන්දු රකින්නන් දැක්වූ අසාර්ථකත්වය ද මනා පිටුවහලක් බවට පත්විය. විශේෂයෙන්ම ලකුණු 12දී උඩපන්දුවක් ලබා දුන් රොබින් උතප්පා අවසානයේ ලකුණු 87ක් රැස් කරමින් පූනේ කණ්ඩායමට විශාලම හිසරදය බවට පත්විය. තම අයි.පී.එල් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් තම ඉනිම තුලට අන්තර්ගත කළේය. උතප්පාගේ මෙම ප්‍රවේගකාරී ඉනිම සඳහා වැයවූයේ පන්දු 47ක් පමණි.

ඊයේ ලකුණු 62ක් රැස්කළ ගෞතම් ගම්බීර් ද ලකුණු 32දී තමන්ව දවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය. නමුත් එය පැහැර හැරීම නිසා අවසානයේ පූනේ ක්‍රීඩකයින්ට දරුණු ඉරණමකට මුහුණ පෑමට සිදුවිය. තම මංගල අයි.පී.එල් අත්දැකීම විඳගත් කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ නොදැවී ලකුණු 6ක් රැස්කර ගනිමින් කල්කටා නයිට් රයිඩර්ස් පිළ ජයග්‍රහණය කරා කැටුව ගියේය. තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් දියත් කළ රොබින් උතප්පාට හිමිවිය.

කෙසේ වෙතත් මේ වන විට තරග 8කට සහභාගි වී ඉන් තරග 4ක් ජයගෙන ඇති රයිසින් පූනේ කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු සටහනේ අංක 4 ස්ථානයේ පසුවෙයි. ඔවුන්ට ඉහළින් තෙවැනි සහ දෙවැනි ස්ථානයේ හයිද්‍රාබාද් සහ මුම්බායි කණ්ඩායම් ස්ථානගතවී ඇත. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ලයන්ස් අතර තරගය අද රාත්‍රී 8ට ඇරඹීමට නියමිතව ඇත.

රයිසින් පූනේ සුපර්ජයන්ට් – කඩුලු 5ක් දැවී ලකුණු 182 (පන්දුවාර 20): ස්ටීවන් ස්මිත් 51*, අජින්ක්‍යා රහානේ 46, රාහුල් ත්‍රිපති 38, එම්.එස්. දෝනි 23, ඩැනියෙල් ක්‍රිස්ටියන් 16, කුල්දීප් යාදෙව් 2/31, උමේෂ් යාදෙව් 1/28,

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 184 (පන්දුවාර 18.1): රොබින් උතප්පා 87, ගෞතම් ගම්බීර් 62, සුනිල් නරෙයින් 16, ඩැරන් බ්‍රාවෝ 6*, ජාදෙව් උනද්කට් 1/26, ඩැනියෙල් ක්‍රිස්ටියන් 1/31.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට